0

බොක්ස් එකකට ගිහින් පෙම්වතුන් යුවලක් හැසිරුණු විදිහ ගැන හෙළිදරව්වක්

බොක්ස් වලට යෑම රහසේ වුවත් පෙම්වතුන් අතර සුලභව දැකිය හැකි ක්‍රියාවකි. ඒ අඩු මුදලකට නිදහසේ පෙම් සුව විඳීමට චිත්‍රපට ශාලාවක බොක්ස් එකක් තරම් සුදුසු වෙනත් ස්ථානයක් නොමැති බැවිනි. එසේම බොහෝ චිත්‍රපට ශාලා පවත්වාගෙන යනු ලබන්නේම බොක්ස් වලට ගොස් ප්‍රේම කරන පෙම්වතුන්ගෙන් ලැබෙන ආදායමෙනි. ඒ අනුව තබන මෙම සටහන එසේ බොක්ස් එකකට ගිය පෙම්වතුන් යුවලකගේ හැසිරීම පිළිබඳ සිදු කරන හෙළිදරව්වකි.

මෙම හෙළිදරව් කිරීම අප හමුවේ තබන්නේ චාලක රණසූරිය විසිනි. ඔහු තරුණ නාට්‍යකරුවෙකි. එමෙන්ම දක්ෂ නාට්‍ය පිටපත් රචකයෙකි. වේදිකා නාට්‍ය තුළින් මෙන්ම රූපවාහිනී වැඩසටහන් තුළින් ද චාලක සිය ලේඛන කෞෂල්‍යයෙන් සලකුණක් තබා තිබේ. ඒ ඔහුගේ නිර්මාණාත්මක හාස්‍යෝත්පාදන රචනාවන් ඔස්සේ  මෙන්ම ගැඹුරු ජීවන දර්ශනයක් ප්‍රේක්ෂකයා වෙත රැගෙන යන නිර්මාණාත්මක භාවිතය තුළිනි. එසේ නිර්මාණාත්මක රචනය තුළින් කලා කෙළි මඬලේ විවිධ අත්හදාබැලීම් ද සිදු කරන මොහු සිය “බොක්ස්” නැමැති කෙටි නාට්‍යය තුළින් ද කථාබහට ලක්වූවෙකි. එබැවින් මෙම සටහන ඔහුගේ එම සම්මානනීය “බොක්ස්” නාට්‍යය ඇතුළු තවත් කතා නමින් සොඳුරු මොහොතක් එළඹෙන අගොස්තු 20 වන දින අත්විඳීමට උදාවන අවස්ථාව පිළිබඳ තබන සටහනකි.

චාලකගේ මෙම “බොක්ස්” නාට්‍යය මට මුලින්ම නැරඹීමට අවස්ථාව උදාවන්නේ මා සරසවියේ පළමු වසරේ හෝ දෙවන වසරේ විද්‍යාර්ථියෙක් වී සිටින අවධියේ දීය. එහෙත් එකල මා චාලක පුද්ගලිකව දැන නොසිටි අතර මා චාලක පුද්ගලිකව හඳුනාගන්නේ ඉන් කලකට පසු මාගේ හිතවත් රංගන ශිල්පියෙකුගේ මාර්ගයෙනි. එසේම චාලකව හ‍ඳුනා ගැනීමට පෙර ඔහුගේ “මාරක ළිඳේ සවාරියක්” නැමැති වේදිකා නාට්‍යය තුළින් ද චාලක පිළිබඳ යම් කියවීමක් මා තුළ පැවතියත් ඔහු පිළිබඳ මාගේ අවබෝධය වඩාත් පුළුල් වූයේ මිතුරෙකු වශයෙන් ඔහුව හඳුනාගැනීමට ලැබීමෙන් පසුවය.

චාලක සිය නිර්මාණ තුළ බොහෝ දුරට භාවිත කිරීමට උත්සාහ කරන්නේ නූතන සමාජ සන්දර්භය තුළ පුද්ගලයා විසින් අත්විඳින සමාජ අර්බුදයන්ය. ඒවා නිර්මාණාත්මක ප්‍රකාශන වශයෙන් වේදිකාව තුළින් මෙන්ම සිය රූපවාහිනී පිටපත් රචනා ඔස්සේ ද ප්‍රේක්ෂකයා හමුවේ තබන චාලක කාලීන සමාජය පිළිබඳ තමා තුළ වන විවේචනය ප්‍රේක්ෂකයා හමුවේ ප්‍රතිසංවාදයට බඳුන් කරයි. ඒ ඔස්සේ එම තත්ත්ව සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයාගේ විඥානයට ආමන්ත්‍රණය කිරීම තුළ කලා නිර්මාණයක් තුළින් සිදුවිය යුතු සමාජ සංශෝධන කාර්යය සඳහා පෙළඹවීමක් ඇති කිරීමට චාලක කටයුතු කරන බව මාගේ නිරීක්ෂණයයි.

එසේම චාලක සිය නිර්මාණ ඔස්සේ ප්‍රේක්ෂකයා තුළ හාස්‍යය ජනිත කළ ද එම හාස්‍යය තුළ අතිශය ගැඹුරු සමාජ සංසිද්ධියක් නිරූපණය කරන බව ද දැකිය හැකිය. එය එක් අතකින් වර්තමානයේ අධි රංගනයන් තුළින් ඉස්මතු කරන හාස්‍යයට වඩා අර්ථාන්විත භාවිතයක් වන්නේ හාස්‍යය ඉස්මතු කිරීමත් සමඟ යම් සමාජ අර්බුදයක් පිළිබඳව ද ප්‍රේක්ෂක මනස අවදි කරන බැවිනි. එබැවින් මාගේ නිගමනය අනුව නම් චාලක නව පරපුරේ සිටින වඩාත් කැපී පෙනෙන නිර්මාණකරුවෙකි.

ඒ අනුව එළඹෙන අගෝස්තු 20 වන දින සවස 2.30 ට නාඩා ආයතනයේ දී පැවැත්වෙන චාලක රණසූරියගේ “බොක්ස් සහ තවත් කතා” නැමැති සොඳුරු මොහොතට අනිවාර්යයෙන්ම පැමිණෙන ලෙස ඔබට ඇරයුම් කරමි. එදිනට ‍බොක්ස් වල හිරවී ඇති අපගේ ජීවිත දෙස නව මානයකින් බැලීමට අවස්ථාව උදාවනු නියතය.

මෙම ලිපිය පිළිබඳ ඔබගේ අදහස් පහතින් සටහන් කරන්න.
ඔබ මෙහි පළ කරන අදහස් මම ඉතා අගය කොට සලකමි.
මාගේ නවතම ලිපි පිළිබඳ දැන ගැනීමට මාගේ Facebook පිටුවට Like කරන්න. නැතහොත් ඔබගේ E-mail ලිපිනය Subscribe කරන්න.

ආශ්‍රිත ලිපි
එන්න… ලබන 20 වනදා බොක්ස් එකකට යමු!

 2,314 total views,  1 views today

Comments

comments