මේ දිනවල දෙරණ රූපවාහිනී නාලිකාව තුළින් ඉමහත් ප්‍රේක්ෂක ආකරෂණයක් දිනා ගනිමින් විකාශය වන “දෙවෙනි ඉනිම” ටෙලි නාට්‍යය තුළින් සමාජයට විනාශයක් සිදු වන බවට දැනට දින කිහිපයකට පෙර බ්ලොග් අවකාශය තුළත් සමාජ මාධ්‍ය අවකාශය තුළත් සංවාදාත්මක තත්ත්වයක් ඇතිවිය. එම සංවාදය සඳහා බ්ලොග්කරුවෙකු වශයෙන් මා ද මැදිහත් වෙමින් “දෙරණේ දෙවෙනි ඉනිමෙන් විනාශයක් වන බව කියූ ලිපියට පිළිතුරක්” නැමැති මැයෙන් ලිපියක් ලියා පළ කළ අතර ඒ ඔස්සේ එම ටෙලි නාට්‍යය සම්බන්ධයෙන් මාගේ අදහස මා ඉදිරිපත් කළේය.
කෙසේ වුවත් මෙම සටහන තබන්නේ එම ටෙලි නාට්‍යය සම්බන්ධයෙන් බ්ලොග්කරුවන් වන අප අතර ඇති අදහස් වල පරස්පරතාව හෝ ඒවා එම ටෙලි නාට්‍යයට පක්ෂව හෝ විපක්ෂව ඉදිරිපත් වූ ඒවා ද යන්න පිළිබඳව විමසා බැලීමට නොවේ. එනම් මෙම සටහන තැබීමේ අරමුණ වන්නේ පොදුවේ බ්ලොග්කරුවන් වශයෙන් අප විසින් මතු කළ එම සංවාදාත්මක තත්ත්වය සම්බන්ධයෙන් එම ටෙලි නාට්‍යයේ තිරපිටපත් රචක සමන් එදිරිමුණී විසින් පළකර තිබූ ඔහුගේ තරමක් ආවේගශීලී වූ අදහසට පිළිතුරක් සැපයීමය.
ඒ අනුව සමන් එදිරිමුණී ඔහුගේ ෆේස්බුක් ගිණුමේ ඒ සම්බන්ධයෙන් වන ප්‍රකාශයක් පළ කර තිබුණි. එම ප්‍රකාශය එක් වෙබ් අඩවියක් විසින් උපුටා දක්වා තිබුණේ “ලංකාවෙම හිට් වුණු දෙවනි ඉණිමට එක එක කතා කී අයට පිටපත ලියන සමන් ඉදිරිමුණිගෙන් රිදෙන්න උත්තරයක්” යනුවෙනි. එම ප්‍රකාශය කියවීමේ දී මා හට හැඟී ගියේ ලංකාවම දන්නා නිර්මාණකරුවෙකු වුවත් එම සටහන තුළ ඔහු විසින් ඉදිරිපත් කර ඇති අදහස් නිර්මාණකරුවෙකුගේ භූමිකාවට නොගැළපෙන බවයි. එසේම ඇතැම් අදහස් ද්වේශ සහගතව ඉදිරිපත් කර ඇති බව ද දක්නට ලැබුණු අතර බ්ලොග් හා සමාජ මාධ්‍ය අවකාශය තුළ ඇතිවූ මෙවැනි සංවාදයකට නිර්මාණකරුවෙකු වශයෙන් ඔහු විසින් එවැනි ආවේගශීලී පිළිතුරක් සැපයීම සුදුසු නොවන බව මම තරයේ විශ්වාස කරමි. එබැවින් ඔහුට මෙවැනි පිළිතුරක් සියලු බ්ලොග්කරුවන් වෙනුවෙන් ලබාදෙමි.
සමන් එදිරිමුණී ඔහුගේ ප්‍රකාශය ආරම්භ කරන්නේම දෙවෙනි ඉනිමෙන් විනාශයක් වන බව කියූ තැනැත්තන් මඩ ගසන්නන් ලෙස හඳුන්වමිනි.
“මා දායක වන නිර්මාණ සමාජයේ දැඩි කතා බහකට ලක් වන සෑම විටකම විචාර අදහස් යැයි කියාගනිමින් මඩ ගහන පිරිසක් ඉන්නවා. ඔවුන්ට නින්දෙන් ඇහැරිලා වගේ විචාර ලියන්න මතක් වෙන්නෙ අපේ වැඩක් පත්තු වුණාම තමයි. ටෙලි නාට්‍ය ඉහල තලයට උස්සන්න එයාලාට ඕන වෙන්නෙ අපි ඒක ඉස්සුවාම තමයි”
සමන් එදිරිමුණිගේ මෙම ප්රවේශයම ඔහුගේ සමස්ත ප්‍රකාශය සම්බන්ධයෙන් අදහසක් ලබා ගැනීමට ප්රමාණවත්ය. එනම් ඔහු ප්‍රකාශ කරන පරිදි වැඩක් පත්තු වුණාම විචාර නමින් මඩ ගැසීමට ඇතමුන් උත්සාහ කරන බවට ඔහු කරන චෝදනාව තුළ නිර්මාණයකට එල්ල වන මල් වගේම ගල් මුල් ද මැදිහත් සිතින් විඳදරා ගැනීමට ඔහුට ඇති නොහැකියාව පෙන්නුම් කරයි. එය නිර්මාණකරුවෙකු තුළින් අපේක්ෂා නොකළ හැකි තත්ත්වයකි. එනම් තමන්ගේ නිර්මාණ සෑම එකක්ම ෂා මරු යැයි කියමින් රසිකයන් විසින් පිළිගන්නා විට නිර්මාණකරුවා සතුටු වනවා මෙන්ම මේ වැඩේ නම් සවුත්තුයි යැයි කියා කිසිවෙකු හෝ පවසන්නේ නම් එය දරා ගැනීමට හැකි මානසිකත්වයක් ද නිර්මාණකරුවෙකු තුළ පැවතීම වැදගත්ය. එහෙත් සමන් ප්‍රකාශ කරන අදහස් වලින් ඉස්මතු වන්නේ ඔහුට එම ශක්තිය නොමැති බව වන අතර ඔහු සැමවිටම ඔහුගේ නිර්මාණ අගය කරන පිරිස සමඟ පමණක් කරට අත දා ගැනීමට ක්‍රියා කරන බව පෙනේ.
සමන් ඔහුගේ ප්‍රකාශය තුළ සිදු කරන තවත් අන්තවාදී ප්‍රකාශයක් පහත පරිදි උපුටා දැක්විය හැකිය.
“විවේචනය කරන්න ඕන තරං දේවල් තියෙනවා. මගේ නාට්‍ය හැරුණාම ලංකාවේ තවත් නාට්‍ය තිස් හතලින් ගානක් යනවා. ඇයි මේ දෙවෙනි ඉනිමම ඉලක්ක කරන්නෙ. දැනෙන්නෙ නැද්ද අවුලක්. මිනිස්සු ඒ ගැන මොනව හිතයිද කියලා හිතෙන්නෙ නැද්ද මිනිස්සු ආදරේ කරන නිර්මාණයකට අභූත විදිහට දෝශාරෝපනය කරන්න. තියෙන දොසක් නම් කමක් නෑ. මම දන්නවා දෙවෙනි ඉනිමේ මම ලියන මනුස්සකමේ මහත”
එනම් සමන් තමන්ගේ දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යය ඇරුණම විවේචනය කිරීම සඳහා වෙනත් ටෙලි නාට්‍ය නැද්ද යන්න විමසා සිටියි. එසේම වැරැද්දක් තියෙනවා නම් කිව්වත් කමක් නෑ යනුවෙන් පවසන්නේ මාගේ නිර්මාණයේ කිසිම වැරැද්දක් නැතැයි කියා නිර්මාණකරුවා විසින් ඔහුටම සුදු හුණු ගා ගැනීමකි. එය තමන්ගේ නිර්මාණයක් ජනප්‍රිය වූ පමණන් එය ජනප්‍රිය වූයේ කිසිදු වරදක් නැති නිසා කියා සිතීම එනම් නිර්මාණයක් ජනප්‍රිය වූ පමණින් එහි කිසිදු දෝශයක් නැතැයි පූර්ව නිගමනයකට එළඹීම ද අතිශය වැරදි සහගත ක්‍රියාවක් බව මාගේ හැඟීමයි.
එමෙන්ම තමාගේ නිර්මාණය විවේචනයට ලක්කළ පුද්ගලයින්ට ඔහු අභියෝග කර සිටින්නේ ජනප්‍රිය ටෙලි නාට්‍යයක් ලියා පෙන්නන ලෙසය.
“මම පොරොන්දු වෙනවා ඔය මම ලියන නිර්මාණ විවේඡනය කරන සහෝදර සහෝදරියන්ට. එන්න ඔබට මම ටෙලි නාට්‍යක් ලියන්න අවස්ථාවක් ලබා දෙන්නම්. මේක අනිවාර්ය අවස්ථාවක්. ඔබ හොද දෙයක් ලිව්වොත් අනිවාර්ය වශයෙන්ම ඒ නාලිකා ඒවා භාර ගනියි. මිනිස්සු වැළදගන්න නිර්මාණයක් කලොත් ඒවා ටෙලියක් වෙයි. තැන තැන කියවලා වැඩක් නෑ සහෝදර වරුනි.”
“අරම කරන්න, මෙහෙම කරන්න, තාත්තවික මදි, සභ්‍ය මදි, රහ මදී , අවුල් වගේ කිය කිය නාහෙන් අඩන්න එපා. අවස්තාවක් දෙන්නම්. වැඩක් කරලා පෙන්නන්න. ගේමට නෙමෙයි. අම්මපා සතුටුයි අපිත් එක්ක එකට වැඩ කරන්න එකෙක් දෙන්නෙක් එනවට. තැන තැන කයිය ගහන අයියලාට අක්කලාට දන්න කෙනෙක් මේක යොමු කරන්න. මං එන්න කිව්වයි කියන්න. මොකද ඉරිසියාවට බෑ රුසියාවේ මල් පිපෙන එක නවත්වන්න. ඔට්ටු දාලා ලියනවා තව එකක් අංක 1 වෙන්න. එන්නෙයි කියන්න පුළුවන් කෙනෙක් අභියෝගය භාර ගන්න.”
සමන්ගේ මෙම ප්‍රකාශ තුළින් ඔහු අපට ආරාධනා කර සිටින්නේ ටෙලි නාට්‍යයක් ලියා පෙන්නන ලෙසයි. එම ප්‍රකාශය ද එක් අතකින් හාස්‍ය දනවන සුළු ප්‍රකාශයකි. නිදසුනක් ඇසුරෙන් පවසන්නේ නම් චිත්‍රපටයක් පිළිබඳ විවේචනයක් ඉදිරිපත් කළ පමණින් ඒ පුද්ගලයාට චිත්‍රපටයක් හදා පෙන්වන්නැයි අභියෝග කිරීම කවර නම් විහිළුවක් ද? එනම් විචාරකයින් හෝ විවේචකයින් විය යුත්තේද චිත්‍රපට නිර්මාණකරුවන්මය. එහෙත් එය ප්‍රායෝගිකව එසේ නොවේ. තවද සමන් සිය නිර්මාණය පිළිබඳ විවිධ පුද්ගලයින් විසින් දක්වන අදහස් අරම කරන්නැයි මෙහෙම කරන්නැයි කියන නාහෙන් ඇඬීමක් යැයි ද පවසයි. එසේ පවසන පුද්ගලයින්ට ඔහු අභියෝග කර සිටින්නේ වැඩක් කර පෙන්වන ලෙසය. මට අනුව නම් මෙම අභියෝගය ඉදිරිපත් කිරීම තුළම සමන් සිය පරිණතභාවයේ තරම රසිකයින් හමුවේ පෙන්නුම් කර සිටියි.
එබැවින් සමන්ගේ මෙම ප්‍රකාශ පිළිබඳව පැවසිය යුතු වන්නේ මෙවැනි අදහස් දැක්වීමක් තුළින් ඔහු ප්‍රකට කර සිටින ඔහුගේ මානසිකත්වය නිර්මාණකරුවෙක් වශයෙන් ඔහුට සුදුසු තත්ත්වයක් නොවන බවය. මන්ද යත් නිර්මාණකරුවා රසිකයින් වෙතින් ඉදිරිපත් වන අදහස් සම්බන්ධයෙන් බැලිය යුත්තේ ඔහු කටයුතු කරන ආකාරයට තමන් පිළිබඳ පූර්ව නිගමනවලට එළඹීමෙන් ඉතා පටු මානසිකත්වයකින් යුතුව නොව ඉතා විවෘත මානසිකත්වයකිනි. නිර්මාණකරුවෙකුට ප්‍රේක්ෂක ආකර්ෂණය ලැබීම නිර්මාණකරණයට ශක්තියක් වුවත් එය පළිහක් බවට පත්කර ගනිමින් මෙසේ හැසිරීම කිසිසේත් සුදුසු නැත. එසේම මෙවැනි විවේචන බ්ලොග් හා සමාජ මාධ්‍ය අවකාශය තුළ ඇති වූ පළමු අවස්ථාව ද මෙය නොවන බැවින් බ්ලොග්කරුවන්ට සහ සමාජ මාධ්‍ය අවකාශයට යම් සමාජ බලපෑමක් ඇති කළ හැකි බව සමන් වැනි නිර්මාණකරුවන් අවබෝධ කර ගැනීමට කටයුතු කිරීම ද වැදගත්ය. ඒ අනුව සමන් එදිරිමුණිට අවසාන වශයෙන් මෙවැන්නක් පවසමි. ඔබ පොරක් බව මම ද පිළිගනිමි. එහෙත් ප්‍රේක්ෂක ජනප්‍රියත්වය අතකොළුවක් බවට පත්කර ගනිමින් එම පොර මානසිකත්වයෙන් මෙවැනි ප්‍රකාශ සිදු කිරීම උඩ බලාගෙන කෙළ ගැසීමක් හා සමානය. මන්ද යත් ඔබට සිය නිර්මාණ පිළිබඳ අදහස් පළ කිරීමට මෙන්ම එම නිර්මාණ පිළිබඳ අදහස් පළ කිරීමට රසිකයින් වශයෙන් අපට ද අයිතියක් ඇති බැවිනි.
මෙම ලිපිය අවසන් කිරීමට ද සමන්ගේ ප්‍රකාශයක් උපුටා දක්වමි. අපේ රටේ තව එක් නිර්මාණකරුවෙකු හෝ සමන් මේ හිතන ආකාරයට සිතනවා නම් අපේ රටේ ප්‍රේක්ෂකයින්ට දෙවියන්ගේම පිහිටය.
“සද්දෙ වහලා හිටියාම එනවා කරේ යන්න. එච්චරට ෂුවර් මට. මොකද එන එකා එන්නෙ මට ගහන්න.”
මෙම ලිපිය පිළිබඳ ඔබගේ අදහස් පහතින් සටහන් කරන්න.
ඔබ මෙහි පළ කරන අදහස් මම ඉතා අගය කොට සලකමි.
මාගේ නවතම ලිපි පිළිබඳ දැන ගැනීමට මාගේ Facebook පිටුවට Like කරන්න. නැතහොත් ඔබගේ E-mail ලිපිනය Subscribe කරන්න.
1,654 total views, 1 views today
විනය ගරුක ලෙස විවේචනය කිරීමට තරම් වත් දැනුමක් නැති පිරිසක් දෙවෙනි ඉනිම නාට්‍යය නැරඹීමම දුකට කරුණකි. ඉන් අපට වැටහුනේ එක ජාතියේ කුරුල්ලෝ එක ඇත්තේ වසනා බවය.
http://thambapanniyeapi.lk/2017/08/06/reply-letter-to-deweni-inima-crew-and-viewers/