පහුගිය දවසක පෙම්වතියත් එක්ක බැද්දගාන තෙත්බිම් උද්‍යානයට යන්න අවස්ථාවක් ලැබුණා. සතියට දවස් පහක් හයක් ගොඩනැගිලි ඇතුළට කොටුවෙලා ගෙවන ජීවිතයෙන් මොහොතකට හරි ඈත් වෙලා නිදහසේ හුස්මක් ගන්න ඒකෙන් පුළුවන් වුණත් ඒ ගමන ගිහින් ආපහු එනකොට ඇති වුණේ යද්දි තිබුණට වඩා වෙනස්ම හැඟීමක්. ඒ කියන්නෙ නාගරික ජීවිතයෙන් මිදිලා පැයක් දෙකක් හරි ස්වභාවික පරිසරයත් එක්ක ගත කරන්න කියලා හිතාගෙන ගිහින් ආවත් ඇත්තටම ඒ පරිසරයෙන් වින්දෙ සෑබෑවටම ස්වභාවික පරිසරයකින් ලැබෙන සතුටක්ද කියලා හිතුණා. ඉතින් ඒ සිතුවිල්ලත් එක්ක තමා මේ සටහන තියන්න හිතුණෙ.
“බැද්දගාන තෙත්බිම් උද්‍යානය” කියලා නම් කරලා තියෙන ඒ උද්‍යානය නරඹන්න තියෙන්නෙ ස්වභාවික තුරුලතා මැදින් හදලා තියෙන කෘතිම පාරවල් දිගේ. ඒ පාරවල් දිගේ ඇවිදගෙන යනකොට වනාන්තරයක් මැදින් ඇවිදිනවා වගේ දැනුණත් ඒ ගැන හිතනකොට මට නම් දැනුණෙ අපි මේ යන්නෙ, ඒ කියන්නෙ මිනිස්සු විදිහට අපි ඒ කරන්නෙ අපිට අයිති නැති දෙයක් නේද කියලා. ඒක තවදුරටත් පැහැදිලි කරනවා නම් මෙන්න මෙහෙම විස්තර කරන්න පුළුවන්.
ඒ කියන්නෙ ස්වභාවිකව තිබුණ පරිසර පද්ධතියකට මිනිසා මැදිහත් වෙලා මිනිස්සුන්ගෙ විවේකය ගෙවන්න පුළුවන් තැනක් බවට ඒ පරිසර පද්ධතිය පත් කරනවා කියන්නෙ එතන සිද්ධ වෙන්නෙ වචනයෙන් කියන්න බැරි තරමේ විනාශයක්. ඒකට ඕනෑ තරම් සාක්ෂිත් මං ඒ ගියපු ගමනෙදි දැක ගන්න ලැබුණා. ඒ විදිහට මං දැකපු එක දෙයක් තමා ස්වභාවික ජල මාර්ගවලට බෝතල් බැහැර කරලා තිබීම. ඒ දේත් එක්ක ස්වභාවික ජල මාර්ගවලට ලොකු බලපෑමක් සිදු කරලා තිබුණා. ඒ නිසා “තෙත්බිම් උද්‍යානය” කියලා ලොකුවට නාම පුවරුවල සදහන් කරලා තිබුණත් ඒ නම් කිරීමත් එක්ක ඒ ස්වභාවික පරිසරයට සිදු කරලා තියෙන්නෙ ආපහු පරම්පරා ගණනාවකින්වත් නිවැරදි කරන්න බැරි තරමේ වැරැද්දක් කියලයි මං නම් විශ්වාස කරන්නෙ.
මේ විදිහට විවේකය ගත කරන්න කියලා දේශපාලනික වගේම විවිධ අරමුණු ඇතුව මේ විදිහට වෙනස් කරන ස්වභාවික පරිසර පද්ධති තුළින් මානසික හා කායික සහනයක් ලැබෙනවා කියලා හිතන එකත් මට අනුව නම් විහිළුවක්. මොකද යම් කිසි පරිසර පද්ධතියකට මිනිසා මැදිහත් වීමත් එක්ක එතෙක් ඒ පරිසරය ස්වභාවිකව උරුම කර ගෙන සිටි දේවල් තවදුරටත් ඒ පරිසරය තුළ ඒ විදිහටම තියෙයි කියලා බලාපොරොත්තු වීම අර්ථ විරහිතයි කියන යථාර්ථය සියලු දෙනාම තේරුම් ගතයුතු වන නිසා. ඒත් මේ යථාර්ථය තේරුම් ගැනීම වෙනුවට බහුතරයක් දෙනා කරන්නෙ නාම පුවරුවකින් නාමිකව ස්වභාවික පරිසරයක් බවට නම් කරලා තියෙන තැනකට ඇවිත් ෂා මෙතන නම් මාරයිනෙ, මරු ෂෝක් තැන කියලා තමන් ඇන්දුණ ඇන්දිල්ල තමන් දන්න තව කිහිප දෙනෙක්ටම අන්දන එක. ඊට පස්සෙ ඒ ඇන්දිල්ල නිසා ඒ තැනට එන පිරිස දවසින් දවස වැඩි වෙනවත් එක්කම ඒ පරිසර පද්ධතිය විනාශ වෙලා යන තැනට වැඩ සිද්ධ වෙනවා.
මිනිස්සු කර ගන්න මේ රැවටිල්ල ඇතුළෙ අනේ අපි එහෙම විනාශයක් නම් කරන්නෙ නෑ, අපි මේ පරිසරය ආරක්ෂා කරනවා කියලා හිත හදාගන්නත් එක එක ක්‍රම පාවිච්චි කරනවා. ඒ අතරින් එක ක්‍රමයක් තමා පොලිතීන්, ප්ලාස්ටික් බෝතල් වගේ දේවල් ඒ උද්‍යාන ඇතුළට ගෙනියන එක තහනම් කරලා තිබීම. එහෙම ගෙනියනවද නැද්ද කියලා බලන්නත් සමහර උද්‍යානවල වෙනමම පිරිසක් යොදවලා තියෙනවා. මං ගියපු ඒ තෙත්බිම් උද්‍යානයටත් ප්ලාස්ටික් වතුර බෝතල් අරන් යන එක තහනම් කරලා තිබුණත් ජල මාර්ගවල බෝතල් පිරිලා තියෙනවා දැක්කම ඒ කරන්නෙ කොච්චර නම් රැවටීමක් ද කියලා හිතුණා. ඒ නිසා මගේ අදහස නම් කරන්න තියෙන්නෙ මිනිසා ස්වභාවික පරිසර පද්ධතිවලට මැදිහත් වීම සිදු නොකර සිටීම මිසක් එහෙම මැදිහත් වුණාට පස්සෙ ප්ලාස්ටික් හරි පොලිතීන් හරි ඒවා ඇතුළට අරන් යන එක තහනම් කරන එක නෙමෙයි. මොකද එහෙම කළා කියලා ස්වභාවික පරිසරය රැකෙනවා කියලා හිතනවා නම් ඒ තරම් මෝඩකමක් තවත් නෑ.
මිනිස්සු උයන් කියලා හදන ඒවා ගැන මං මේ කියපු අදහසත් එක්ක සමානත්වයක් දක්වන, ඒ කියන්නෙ උයන් කියලා මිනිස්සු හිතාගෙන ඉන්න සංකල්පය ප්‍රශ්නගත කරවන, විකල්ප ධාරාවක් විදිහට බොහෝ දෙනා තේරුම් අරන් ඉන්න චින්තක ගීතදේවගේ සංගීත භාවිතයෙන් උපන් “උයනක් කියන්නෙ මේකද ” කියන සින්දුවත් මේ සටහනේ අවසානයට මෙහෙම එකතු කිරීම වැදගත් කියලා හිතුණා.
“මේකද? ////
එහ්, උයනක් කියන්නේ මේකද? //
ආ, උයනක් කියන්නේ මේකද? //
මේකද? //
මේකද? //
බට පඳුරු, තණ පිඩලි, මල් ගොමු
පහන් කණු, ගල් බංකු රොත්තක්
බට පඳුරු, තණ පිඩලි, මල් ගොමු
පහන් කණු, ගල් බංකු රොත්තක්
බලෙන් ළං කළ එකටද? //
බලෙන් ළං කළ එකටද? //
උයනක් කියන්නෙ මේකද? //
පැතලි වනතුරු බඩවල්
පිරිමි ඇවිදින එකටද?
රවුම් වනතුරු පුකවල්
ගෑනු දුවනා එකටද?
පැතලි වනතුරු බඩවල්
පිරිමි ඇවිදින එකටද?
රවුම් වනතුරු පුකවල්
ගෑනු දුවනා එකටද?
එහ්, උයනක් කියන්නේ මේකද? //
ආ, උයනක් කියන්නේ මේකද? //
වැරෙන් දුම් ගුලි විදිනට
අහස ඇහිරූ එකටද?
සමනළුන් එලවන්නට
කාකි විහඟුන් ඉන්න එකටද?
වැරෙන් දුම් ගුලි විදිනට
අහස ඇහිරූ එකටද?
සමනළුන් එලවන්නට
විසිල් ගහනා එකටද?
එහ්, උයනක් කියන්නෙ මේකද? //
ආ, උයනක් කියන්නෙ මේකද? //
උයන් පල්ලෙක් ඇහැට නොගැටී
රුදුරු කප්පාදුවෙන් බේරී
හිතේ හැටියට වැඩුණු ගහ කොළ
මල් පුරෝගෙන නටන පෙදෙසක්
හිතේ හැටියට වැඩුණු ගහ කොළ
මල් පුරෝගෙන නටන පෙදෙසක්
උයනක් නොවෙන්නෙ ඒකද? ///
හෙහ්, උයනක් කියන්නෙ මේකද? ///
ආ, උයනක් කියන්නේ මේකද? //
මේකද? ////
හෙහ්, උයනක් කියන්නෙ මේකද? //
ආ, උයනක් කියන්නේ මේකද? // ”
මේ සින්දුව අහලා නැති අයට පහතින් මේ සින්දුව අහන්න පුළුවන්…
මෙම ලිපිය පිළිබඳ ඔබගේ අදහස් පහතින් සටහන් කරන්න.
ඔබ මෙහි පළ කරන අදහස් මම ඉතා අගය කොට සලකමි.
මාගේ නවතම ලිපි පිළිබඳ දැන ගැනීමට මාගේ Facebook පිටුවට Like කරන්න. නැතහොත් ඔබගේ E-mail ලිපිනය Subscribe කරන්න.
1,688 total views, 1 views today