4

තෙවසරක සිතුවිලි මෙහෙවරට ආශිර්වාද කළ පාඨක ඔබ සැමට ස්තූතියි..!

මාගේ “Iranga.net – නිදහස් සිතුවිලි අවකාශය” බ්ලොග් අඩවිය ආරම්භ කර ඉකුත් සැප්තැම්බර් 30 වනදාට වසර 3 ක් සම්පූර්ණ විය. ගතවූ තෙවසර පුරා විවිධ සමාජ, දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික කාරණා සාකච්ඡා කළ ලිපි මෙන්ම ශෘස්ත්‍රීය ලිපි ගණනාවක් ද “නිදහස් සිතුවිලි අවකාශය” තුළින් පාඨක ඔබට තිලිණ කිරීමට මට අවස්ථාව ලැබුණි. ඒ හේතුව නිසාම බොහෝ පාඨකයින් දැනුම සොයා පැමිණෙන තෝතැන්නක් බවට “නිදහස් සිතුවිලි අවකාශය” පත්විය. 2015 වර්ෂයෙන් ඇරඹි එම සිතුවිලි මෙහෙවර වසර තුනක් දක්වා පැමිණි ගමනේ දැවැන්තම ශක්තිය බවට පත්වුණේ එම පාඨක ප්‍රජාවයි. මේ පාඨක ඔබ සැමගේ ආශිර්වාදයෙන් නිදහස් සිතුවිලි අවකාශය තෙවසරක් පුරා ආ මඟ පිළිබඳ තබන සටහනකි.

නිදහස් සිතුවිලි අවකාශය මා ආරම්භ කරන්නේ මා සරසවි අධ්‍යාපනය ලබමින් සිටින අවධියේය. එනම් සරසවියේ සිව්වන වසරේ විද්‍යාර්ථියෙකු ලෙස මා කටයුතු කරමින් සිටින විටය. ඊට පෙර මා ලියූ ලිපි ෆේස්බුක් වෙබ් අඩවිය තුළ පළ කිරීමට ඒ වන විට මා කටයුතු කරමින් සිටියද එය වෙබ් අඩවියක් තුළ සිදුකරන පළකිරීමක් මෙන් විධිමත් නෙවෙන නිසාත්, විශේෂයෙන්ම සමාජ මාධ්‍ය වෙබ් අඩවි තුළ සිදුකරන පළකිරීම් අවශ්‍ය අවස්ථාවකදී අවශ්‍ය ඕනෑම පුද්ගලයෙකුට නැවත සොයා ගැනීමට ඇති දුෂ්කරතාවත් හේතුවෙන් මාගේ එම ලිපි පළ කිරීම සඳහා විධිමත් ලෙස පවත්වගෙන යනු ලබන වෙබ් අඩවියක් ආරම්භ කිරීම සුදුසු බව මම සිතුවෙමි. එම අරමුණින් www.iranga.net වෙබ් ලිපිනයෙන් නිදහස් සිතුවිලි අවකාශය මම ආරම්භ කළෙමි.

ඒ අනුව 2015 වසරේ සැප්තැම්බර් 30 වන දින “නිදහස් සිතුවිලි අවකාශය” අන්තර්ජාලයට එකතු වන්නේ සරසවි භූමියේදීය. ඒ මා ඒ වන විට මාගේ ෆේස්බුක් ගිණුම තුළින් පළකර පාඨක අවධානය දිනාගෙන තිබූ ලිපි කිහිපයක් බ්ලොග් අඩවියේ පළකරමින්ය. එතැන් පටන් අද දක්වාම විවිධ සමාජ, දේශපාලනික, ආර්ථික හා සංස්කෘතික කාරණා පිළිබඳ මා ලිපූ ලිපි මම එහි පළකරමින් සිටිමි. එම ලිපි කියවීමට පාඨකයෝ දිනපතා නිදහස් සිතුවිලි අවකාශයට පැමිණෙමින් සිටිති. වසර තුනක් පුරා එසේ පැමිණි පිරිස දසදහස් ගණනක් වේ. මා හට ධෛර්යය සපයන යෝධ ශක්තිය වන්නේ එම දැවැන්ත පාඨක ආශිර්වාදයයි.

මාගේ “නිදහස් සිතුවිලි අවකාශය” විවිධ මාතෘකාවල ලිපි කියවීමට පාඨකයින් පැමිණි තැනක් පමණක්ම නොවුණි. නව මිතුරුමිතුරියන් රැසක් හඳුනාගැනීමට ද එමඟින් මා හට අවස්ථාව උදාවිය. ප්‍රවීණ ලේඛක හෙන්රි වරණකුලසූරිය මහතා එසේ මා හට හඳුනාගැනීමට හැකිව හිතවත්කම් ගොඩනඟා ගැනීමට හැකිවූ උතුම් මිනිසෙකි. හෙන්රි මහතාගේ නොකී කතා බ්ලොග් අඩවිය තුළ ඔහු පළ කළ රසවත් ලිපි තවමත් මාගේ මතකයේ රැඳී ඇති නමුත් එතුමා දැන් බ්ලොග් ලේඛනයෙන් ඉවත්ව සිටී. කොලොම්පුරේ බ්ලොග් අඩවිය පවත්වාගෙන යනු ලබන අසංග රණසිංහ ආරච්චි සහෝදරයාද බ්ලොග් ලෝකයෙන් මට හමුවූ ලෙන්ගතු මිතුරෙකි. එසේම කොළඹ ගමයා බ්ලොග් අඩවිය ලියන හා නෙළුම් යාය බ්ලොග් අඩවියේ සංස්කාරක අජිත් ධර්මකීර්ති මහතා ද බ්ලොග් ලෝකයෙන් හඳුනාගත් මිනිසුන් අතර සුවිශේෂී පුද්ගලයෙකි.

බ්ලොග් ලේඛකයින්ව අගයන නෙළුම් යාය සම්මාන උළෙලේදී මාගේ බ්ලොග් අඩවිය ද සම්මානයට පාත්‍රවීම “නිදහස් සිතුවිලි අවකාශය” මෙතෙක් ආ ගමනේ සුවිශේෂී සංධිස්ථානයකි. 2016 වසරේදී පළවූ බ්ලොග් ලිපි සඳහා 2017 වසරේ පැවැත්වූ නෙළුම් යාය සම්මාන උළෙලේදී වසරේ හොඳම සාහිත්‍ය කලා විචාර ලිපියට දෙවන ස්ථානයට හිමි සම්මානය මාගේ “නිදහස් සිතුවිලි අවකාශය” බ්ලොග් අඩවියට හිමිවිය. ඒ මා ලියූ “යථාර්ථයෙන් ඔබ්බට දැකිය යුතු මොහාන් රාජ් මඩවලගේ නවකථා කලාව” ලිපිය වෙනුවෙනි.

මෙම ලිපිය අවසන් කිරීමට පෙර මාගේ ලේඛන දිවියට යෝධ ශක්තියක් වූ අම්මා, තාත්තා සහ නංගී ද සිහිපත් කළ යුතුය. ඔවුන් නොවන්නට ලේඛකයෙක් බිහි නොවන්නට තිබුණි. එනිසා මා පැමිණි ගමනේ සැබෑ උරුමකරුවන් වන්නේ ඔවුන් මිස මා නොවේ. මා ලියන දෙයින් මා යම් කිසි ගෞරවයක් ලබන්නේ නම් එසේ මා ලබන ගෞරවයේ පූර්ණ හිමිකරුවන් ඔවුන්ය. එසේම මාගේ ගුරුවරුන් ද මෙතෙක් දුර මා ආ ගමනේ දැවැන්ත ශක්තියක් වූ බව සඳහන් කළ යුතුමය.

නිදහස් සිතුවිලි අවකාශයට නිරන්තරයෙන් ධෛර්යය සැපයූ තවත් සුවිශේෂී චරිතයක් පිළිබඳව ද පැවසිය යුතුම වේ. ඒ මාගේ පෙම්වතියයි. මාගේ සෑම බ්ලොග් ලිපියකම මුල්ම පාඨකයා වූයේ ඇයයි. ඒ සෑම ලිපියක් පිළිබඳවම ගුණදොස් පවසමින් තව තවත් ලිපි ලියන්නට මා හට ශක්තිය සැපයූවේ ඇයයි. එබැවින් ඇය ද මා පැමිණි ගමනේ කොටස්කාරියකි.

එසේම නිදහස් සිතුවිලි අවකාශයට නව ලෝගෝවක් නිර්මාණය කර දුන් කලාව ආයතනයේ මා හිතමිත්‍ර මධුෂංක රත්නායක සොයුරා ද මෙහිදී සිහිපත් කරමි.

මාගේ ලිපි කියවීමට නිදහස් සිතුවිලි අවකාශය වටා රොද බැඳි පාඨකයින්ට අවසාන වශයෙන් නැවතත් මාගේ ස්තූතිය පළකරමින් මෙම ලිපිය අවසන් කරන්නේ නිදහස් සිතුවිලි අවකාශය මෙතෙක් උපයා ගත් මිල කළ නොහැකි එකම වත්කම ඔවුන් වන නිසාවෙනි.

 1,267 total views,  1 views today

Comments

comments