4

කාන්තාවන්ට විශේෂ දුම්රිය මැදිරි අවශ්‍යද?

කාන්තාවන්ට දුම්රියවල වෙනම මැදිරි වෙන් කිරීම පිළිබඳ මේ දිනවල සමාජය තුළ කතාබහක් නිර්මාණය වී තිබේ. ඒ පිළිබඳ විවිධ පුද්ගලයින් දක්වන අදහස් අතර එම නව ක්‍රියාමාර්ගය අගය කරමින් ද ඇතැම් අදහස් ඊට විරෝධය පළකරමින් ද ඉදිරිපත් වෙමින් පවතී. මේ ඒ පිළිබඳ මාගේ අදහස ඉදිරිපත් කිරීම ස‍දහා තබන සටහනකි.

බස් රථ සහ දුම්රියවලදී කාන්තාවන් පීඩාවලට ලක්කර ලිංගික තෘප්තියක් ලැබීම අපේ රටේ ලිංගික සංස්කෘතියේ කොටසකි. එනම් සාමාන්‍ය සිදුවීම් මෙන් ඒවා බහුල වශයෙන් පොදු ප්‍රවාහන සේවා තුළදී සිදුවීම සම්බන්ධයෙන් අපේ සමීපතමයින් විඳි අමිහිරි අත්දැකීම් නිතර අසන්නට දකින්නට තිබේ. එනම් විවිධ වයස්වල පසුවන ස්ත්‍රීන්ට පීඩාකර පොදු ප්‍රවාහන සේවා තුළදී ලිංගික සතුට ලැබීමට හුරු වී සිටින ප්‍රජාවක් බිහිවී සිටිති. මෙරට පොදු ප්‍රවාහනයේ පවතින පහසුකම් ‍මඳකම එම කාමාතුරයින් තම සුරාන්තයේ උත්කර්ෂය සඳහා භාවිත කරමින් පාසල් දැරියන්ගේ, තරුණියන්ගේ මෙන්ම දෛනිකව උදේ සවස රැකියාවලට යන එන වෙහෙස මහන්සි වන කාන්තාවන්ගේ එම ශාරීරික වෙහෙස පවා ලිංගික සතුටක් ලැබිය හැකි අවස්ථාවක් බවට පත්කර ගනිමින් පොදු ප්‍රවාහන සේවා ඔවුන් සිය විකෘති ලිංගික ආශා ඉටුකර ගන්නා පාරාදීස බවට පත්කර ගෙන ඇත.

එබැවින් මගේ අදහස නම් කාන්තාවන්ට වෙනම දුම්රිය මැදිරි පමණක් නොව වෙනම දුම්රිය හා බස්රථ පවා වෙන් කළ හැකි නම් එය ඉතා වැදගත් බවයි. එහෙත් එය ප්‍රායෝගික නොවන බැවින් ඇතැම් දුම්රිය තුළ හෝ කාන්තාවන්ට වෙනම මැදිරි වෙන් කිරීමට පියවර ගැනීම කාන්තාවන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් ගත් සතුටුදායක ක්‍රියාමාර්ගයකි. ඉන් ඔවුන්ට සහනයක් ලැබී ඇති බව දෛනිකව දුම්රියේ යන එන කාන්තාවන් ඊට දක්වන යහපත් ප්‍රතිචාර අනුව පෙනී යයි.

එහෙත් එම ක්‍රියාමාර්ගය පමණක් කාමාතුරයින්ට එරෙහිව වැට බැඳීමට ප්‍රමාණවත් නොවන බැවින් පොදු ප්‍රවාහන සේවා තුළ ලිංග පිනවන කාමාතුරයින් නීතියේ රැහැනට කොටු කරමින් ඔවුන්ට දඩුවම් ලබා දීමට අවශ්‍ය නෛතික සංශෝධන සිදුකිරීම ද වැදගත් වේ. බස්රථවල කැමරා සවි කිරීමට වඩා ඒවාට ලබා දිය හැකි දඩුවම් දැඩි කිරීම මෙන්ම කාන්තාවන්ට ඒ පිළිබඳ සිය හඬ අවදි කිරීම සඳහා සමාජීය පරිසරයක් ගොඩනැංවීමට සහ නීතිය ක්‍රියාත්මක කරන, යුක්තිය පසිඳලන ආයතන තුළ පවා කාන්තාවන්ගේ පුද්ගලිකත්වය සුරැකෙන ආකාරයට ඒවා පිළිබඳ විභාග පැවැත්වීමට අවශ්‍ය තත්ත්ව නිර්මාණය කළ යුතුය. මන්ද යත් ලිංගික ලෙස පීඩාවකට ලක්වූ කාන්තාවක් ඒ පිළිබඳ නීතිය ඉදිරියට ගිය විට ඉන් ඇය තවදුරටත් පීඩාවට ලක්වන්නේ නම් කාමාතුරයින්ගේ පීඩා ඉවසා සිටීමට කාන්තාවන් පෙළඹීම පුදුමයක් නොවන බැවිනි. විශේෂයෙන්ම වර්තමානයේ මෙරට දක්නට ලැබෙන අතිශය අහිතකර තත්ත්වයක් වන ලිංගික අතවරයකට ලක්වූ කාන්තාවන් අපේ රටේ ජනමාධ්‍ය විසින් නැවත නැවතත් අතවරයට ලක්කිරීම ආදියට එරෙහි ක්‍රියාමාර්ග ගැනීම ද මෙහිදී වැදගත්ය.

කාන්තාවන්ට වෙනම මැදිරි වෙන්කිරීම පිළිබඳ ඇතමුන් දක්වන අදහස් පිළිබඳව ද මෙම සටහන අවසන් කිරීමට පෙර යමක් පැවසිය යුතුය. එහිදී පිරිමින්ට යාමට තිබූ දුම්රිය මැදිරි සංඛ්‍යාව අඩුවන නිසා ඒ හේතුවෙන් පිරිමින් පීඩාවට ලක්වන බවට එනම් දුම්රියවල මැදිරි සංඛ්‍යාව වැඩි නොකර කාන්තාවන්ට වෙනම මැදිරි වෙන් කිරීම පිළිබඳ විරෝධය දක්වන පිරිස් හා කාන්තාවන්ට වෙනම මැදිරි වෙන් කිරීම ගෝත්‍රිකවාදී අදහසක් ලෙස ඉස්මතු කරන සියලු දෙනා විසින් සිදුකරන්නේ කාන්තාවන් ලිංගික අතවරවලට ලක්කිරීම සඳහා වක්‍රාකාරයෙන් අනුබල දීමක් බව පැවසිය යුතුය. එනම් එසේ අදහස් දක්වන්නන් කාන්තාවන්ගෙන් පොදු ප්‍රවාහන සේවා තුළදී ලිංගික තෘප්තිය ලබන පුද්ගලයින් හෝ ඒවා දෙස බලමින් වින්දනයක් ලබන පුද්ගලයින් බව අමුතුවෙන් පැවසිය යුතු නැත. ඒ අනුව කාන්තාවන්ට පොදු ප්‍රවාහන සේවා තුළදී අතවර කරන කාමාතුරයින්ට මෙන්ම එම කාමාතුරයින් වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයින්ට විරුද්ධව නැඟී සිටීම ද වැදගත්ය. මන්ද යත් කාමාතුරයින්ට රිසි සේ සිය විකෘති කාමාශාවන් පිනවීමට අවස්ථාව සැලසීම කාමාතුරයින්ගේ ක්‍රියාවලට කිසිසේත් නොදෙවෙනි අතිශය බරපතළ වැරැද්දක් වන බැවිනි.

 1,036 total views,  1 views today

Comments

comments