6

නූතන ජන විඥානයේ පදනම ගොඩනඟන “බ්ලොග්”

තමන්ගෙම වෙබ් අවකාශයක් ඇතුළෙ තමන්ට කැමති ඕනෑම දෙයක් තමන්ට කැමති විදිහකට ලියන එක තමයි බ්ලොග් කියලා හඳුන්වන්නේ. ගොඩක් අය බ්ලොග්වල තමන්ගේ ජීවිතය ලියන්නේ විනෝදාංශයක් විදිහට. හැබැයි එයාලා දැනුවත්ව හෝ නොදැනුවත්ම ඒ ලියන දේවල් අන්තර්ජාලයේ එකතුවෙලා තිබිලා කාලය ගතවෙනවත් එක්ක ඒවා යම් කිසි කාලයක පුද්ගලයින් හිතපු පතපු විදිහ, ඒ අය විවිධ දේවල් ගැන දැකපු විදිහ, ඒවා ගැන පළකරපු අදහස් ආදිය ගැන හදාරන්න පුළුවන් මූලාශ්‍ර, ඒ කියන්නෙ තොරතුරු සමුදායක් බවට පත්වෙනවා. ඒ දේවල් හැම එකටම අපි කියනවා ජන විඥානය කියලා. ඉතින් ඒ විදිහට බ්ලොග් කියන මාධ්‍යය ඇතුළේ සමකාලීන සමාජයේ ජන විඥානය ගැන වෙනත් කිසිම මාධ්‍යයකින් හොයා ගන්න බැරි තරම් තොරතුරු ප්‍රමාණයක් අපිට හොයා ගන්න අවස්ථාව ලැබෙනවා. ඒ කාරණය එක පැත්තකින් සමාජ විද්‍යාත්මකව වැදගත්. ඒ අනුව ගත්තම බ්ලොග් ලිවීමේ තියෙන මේ වැදගත්කම පිළිබඳ බ්ලොග් ලිපියකින්ම මෙහෙම ලියන්න හිතුවා.

අපි කුරුටු ගී ලියපු ජාතියක්. බ්ලොග් ඒ කුරුටු ගීවලම තවත් එක් දිගුවක්. සීගිරි කාශ්‍යප සීගිරිය ගොඩනැඟූ කාලෙන් සියවස් කිහිපයකට පස්සේ සීගිරිය බලන්න ආපු රසකාමීන් තමන්ගේ අව්‍යාජ අදහස් සීගිරියේ කැටපත් පවුරේ ලිව්වා. අද අපි ඒ දේවල් කියවලා ඒ කාලෙ මිනිස්සු හිතපු පතපු විදිහ, එයාලා සෞන්දර්යය දැකපු විදිහ, කාන්තාව ගැන එයාලගේ අදහස් වගේ ගොඩක් තොරුතුරු ගැන අපි දැනුම්වත් වෙනවා. ඒ තමා සමකාලීන මිනිසුන්ගේ ජන විඥානය. අදින් අවුරුදු ගාණකට පස්සෙ අපි දැන් ලියන බ්ලොග් කියවලත් අපි දැන් හිතපු පතපු විදිහ ගැන තොරතුරු අධ්‍යයනය කරන්න පුළුවන් වෙනවා.

කවුරුහරි තර්ක කරන්න පුළුවන් ෆේස්බුක් වගේ සමාජ මාධ්‍ය ඇතුළෙත් මේ කාරණය සිද්ධ වෙනවනේ කියලා. බැලූ බැල්මට එහෙම වෙනවා වගේ පෙනුණත් ඒක එහෙම නෙමෙයි. ඒ කියන්නේ සමාජ මාධ්‍ය ඇතුළේ අපි කතාවෙන වාද විවාද කරන දේවල් මට අනුව නම් හරියට සුළඟේ යන දේවල් වගේ. සමාජ මාධ්‍යවලට ලොකු සමාජ පෙරළි කරන්න පුළුවන්. ඒකෙ කිසි තර්කයක් නෑ. අරාබි වසන්තය වගේ අවස්ථාවලදි අපි ඒ දේවල් දැක්කා. ඒ වගේම මෑතකදී ආපු මී ටූ ව්‍යාපාරය වගේ දේවල් ඇතුළේ සමාජයට බලපෑම් කරන්න සමාජ මාධ්‍යවලට තියෙන ප්‍රබල හැකියාව ගැන මෑත කාලයේ ඉතිහාසය තුළින් ඕනෑ තරම් දේවල් හොයා ගන්න පුළුවන්. ඒත් සමාජ මාධ්‍ය ඇතුළේ ඉස්මතු වෙන දේවල් ඊට පස්සේ එන දේවල් එක්ක යටපත් වෙලා යනවා. කාටහරි වුවමනාවකට සමාජ මාධ්‍ය ඇතුළෙ දැනට වසර කිහිපයකට කලින් ඉස්මතු වුණ දෙයක් ගැන අධ්‍යයනයක් කරන්න අවශ්‍ය වුණොත් ඒ දේ ගැන සමකාලීනව හුවමාරු වුණ දේවල් නැවත සොයා ගැනීම අතිශයින් දුෂ්කර කටයුත්තක්. මොකද සමාජ මාධ්‍යවල ආකෘතිය නිර්මාණය වෙලා තියෙන්නෙම කාලීන දේවල් ඉස්මතු කරන විදිහට මිසක් අතීතයේ හුවමාරු වුණ දේවල් ගැන තොරතුරුවලට ඊට පස්සේ කාලයක පිවිසෙන්න පුළුවන් විදිහේ විධිමත් යාන්ත්‍රණයක් ඇතුව නෙවෙයි. ඒ නිසා අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර භාවිතා කරලාවත් සමාජ මාධ්‍යවල දේවල් සෙවීම පලක් නැහැ.

නමුත් බ්ලොග් මාධ්‍යය මඟින් අපි යම් කිසි දෙයක් අපි ප්‍රසිද්ධ කළොත් ඒක ඉතාම විධිමත්ව පවතිනවා. එහෙම ඇතුළත් කරලා කොච්චර කල් ගතවුණත් ඒ දේ නැවත සොයාගැනීම අපහසු වෙන්නේ නෑ. බ්ලොග්වල තියෙන දේවල් ඉතා පහසුවෙන් සෙවුම් යන්ත්‍රවල ලැයිස්තුගත වෙනවා. බ්ලොග් ලිපි වැඩි ග්‍රාහක පිරිසක් අතරට ගෙන යන්න මුලින් අපි සමාජ මාධ්‍ය යොදා ගත්තත් අපි ලියන දේවල්වල වැදගත්කම, ඒ දේවල්වලට මිනිස්සුන්ට තියෙන අවශ්‍යතාව එක්ක අපේ බ්ලොග් ලිපිවලට සෙවුම් යන්ත්‍ර ඔස්සේ නිතැතින්ම දෛනිකව එන පිරිසක් ගොඩනැඟෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් සමාජ මාධ්‍ය, මානව සම්පත් කළමනාකරණය වගේ දේවල් ගැන තොරතුරු හොයන්න එන පාඨක පිරිසක් මගේ බ්ලොග් එක වටා ඉන්නවා. එහෙම එන අය අතරෙ මං මගෙ ජීවිතය ගැන, විවිධ අත්දැකීම් ගැන ලියලා තියෙන ලිපි කියවන අයත් ඉන්නවා.

ඉතින් මේ විදිහට ගත්තම බ්ලොග් තමයි නූතන ජන විඥානයේ පදනම ගොඩනඟන මූලිකම මාධ්‍යය විදිහට මං දකින්නේ. සමකාලීනව ලියවෙන සාහිත්‍ය කෘති වගේ දේවල්වලිනුත් ජන විඥානය නිරූපණය වෙනවා. ඒත් කෘති ලියන්න පෙළඹෙන්නෙ ඉතාම සුඵ පිරිසක්. විශේෂයෙන්ම වර්තමාන තරුණ පරම්පරාවෙ විශාල පිරිසකට ගොඩක් සමීප තාක්ෂණික මාධ්‍ය මිසක් මුද්‍රිත මාධ්‍ය නෙවෙයි. ඒ නිසා ඔවුන් ජීවිතය, සමාජය ගැන දකින, හිතන පතන විදිහ නිරූපණය වෙන්නෙ සමාජ මාධ්‍ය ඇතුළෙ. හැබැයි බ්ලොග් මාධ්‍ය ඇතුළෙ කවි, කතා, අදහස් බෙදා ගන්න පිරිසකුත් ඉන්නවා. සමාජ මාධ්‍ය ඇතුළේ නිකරුණේ ගත කරන කාලය බ්ලොග් එකක් ඇතුළේ ගත කරලා අනාගතයට පවතින දෙයක් ඉතුරු කරලා යන්න කියලා සමාජ මාධ්‍යවල කාලය ගතකරන තරුණ තරුණියන්ගෙන් මං ඉල්ලා සිටිනවා.

අපේ රටේ විශ්වවිද්‍යාලවල ඉන්න සිසු සිසුවියන් වුණත් සමාජ මාධ්‍යවලට දක්වන ඇල්ම බ්ලොග් මාධ්‍යයට දක්වන්නේ නැහැ. ඒක එක පැත්තකින් ඛේදවාචකයක්. සමාජ මාධ්‍යවලින් ජීවිතවලට වටිනාකම් එන්නේ නෑ. ඒත් ලස්සනට ලියපු බ්ලොග් එකක් තමන්ට වගේම සමාජයටත් වැදගත් දෙයක් වෙනවා. විශ්වවිද්‍යාලයෙන් පිට වෙන්න කලින් මගේ විශ්වවිද්‍යාලෙ (කොළඹ විශ්වවිද්‍යාලෙ ශ්‍රී පාලි මණ්ඩපයේ) සිසු සිසුවියන් සහභාගි කරගෙන බ්ලොග් ලියන සංගමයක් පිහිටුවන්න මගේ අදහසක් තිබුණත් ඒක කරගන්න බැරිවුණා. ඒත් ඒ සඳහා උනන්දුවක් දක්වන අපේ රටේ ඕනෑම විශ්වවිද්‍යාලෙකට හෝ පාසලකට ඒ පිළිබඳ දැනුම කිසිදු ආර්ථික වාසියක් නොලබා ලංකාවෙ ඕනම තැනකට ගිහින් ලබා දෙන්න මං සූදානම්.

ඉතින් මේ විදිහට ලොකු වටිනාකමක් තියෙන බ්ලොග් ලීවීම ප්‍රවර්ධනය කිරීම කියන්නේ අනාගතය වෙනුවෙන් නූතන ජන විඥානයේ පදනම ගොඩනඟන්න සහාය වෙනවා කියන එකයි. මීට වසර කිහිපයක පෙර එවැනි සත් කාර්යයන් සංවිධානය වීම ගැනත් මෙහිදී සිහිපත් කළ යුතුයි. නෙළුම් යාය හා බ්ලොග් වසන්තය වැනි බ්ලොග් සම්මාන උළෙලවල් සංවිධානය වීම තුළින් බ්ලොග්කරුවන්ට ලොකු දිරි ගැන්වීමක් ලැබුණා. ඒ දේවල් මේ බ්ලොග්වල පැවැත්මට ලොකු ශක්තියක් වුණා.

බ්ලොග් මාධ්‍යයත් එක්ක වැඩි වැඩියෙන් ජීවිතය බෙදාගන්න එන්න කියලා අවසාන වශයෙන් හැමෝගෙන්ම ඉල්ලනවා. මොකද නූතන ජන විඥානයේ ශක්තිය එයයි. අපි අද බ්ලොග්වල ලියන දේවල් අනාගතයට ගොඩක් වැදගත් වෙනවා. එතකොට අපි ජීවත් වුණත් නැතත් කුරුටු ගී ලියපු පරපුරක නූතන පරම්පරාව විදිහට අපි අපේ හදගැස්ම බ්ලොග් ලිපිවල සටහන් කළා කියලා අපිට සතුටු වෙන්න පුළුවන්.

 2,033 total views,  1 views today

Comments

comments