මෙරට රූපවාහිනී වංශ කථාවේ නව මානයක් සනිටුහන් කළ ස්වර්ණවාහිනී නාලිකාව එය බිහිකළ සෝමා එදිරිසිංහ මහත්මියගේ අභාවයෙන් පසු පාඩු ලබන තත්ත්වයට පත්වුණි. කළමනාකරණ දුර්වලතා එම අර්බුද උග්‍ර තත්ත්වයට පත්කිරීමට හේතුවූ අතර එම කඩාවැටීම නාලිකාවේ වැඩසටහන් ඔස්සේ ද නිරූපණය විය. කලකට පෙර ජැක්සන් ඇන්තනි වැනි අතිදක්ෂ නිර්මාණකරුවන් වෙතින් උත්කර්ෂයට පත්ව තිබූ එහි වැඩසටහන් නිර්මාණකරණය පසුව පරිහානිය කරා යාම ප්‍රේක්ෂකයෙකු වශයෙන්, එහි සේවය කළ මාධ්‍යවේදියෙකු ලෙස මෙන්ම ශාස්ත්‍රීය නිරීක්ෂකයෙකු වශයෙන් ද කණගාටුදායක කරුණක් විය. එම කාලයේ දේශීය වැඩසටහන් වෙනුවට විදේශීය වැඩසටහන් හඬකවා විකාශය කරමින් පරිහානියෙන් මිදීමට නාලිකාවේ කළමනාකාරිත්වය යම් උත්සාහයක් දැරුව ද එය නාලිකාව කලින් පැවති තත්ත්වයට ගෙන ඒමට ප්‍රමාණවත් නොවුණි. නාලිකාවේ හිමිකාරිත්වය පිළිබඳ අර්බුදයක් ද මෙම කාලයේ පැනනැඟුණු අතර එහි අවසානය සනිටුහන් වූයේ ඊ.ඒ.පී. පවුලෙන් එය ඉවත්ව වෙනත් හිමිකාරිත්වයක් අතට පත්වීමෙනි. පසුව හිරු නාලිකාවෙන් ඉවත්ව ආ සුදේව හෙට්ටිආරච්චි සහ රංගන ද සිල්වා ස්වර්ණවාහිනියේ ඉහළ තනතුරුවලට පත්වීමෙන් අනතුරුව මේ වන විට යම් සංක්‍රාන්ති අවධියකට ස්වර්ණවාහිනී නාලිකාව පත්වෙමින් ඇති බව මාගේ නිරීක්ෂණයයි.
නාලිකාවක ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය තීරණය කළ හැකි ප්‍රධාන වැඩසටහන් ප්‍රවර්ගය වන්නේ ප්රවෘත්ති විකාශයයි. ස්වර්ණවාහිනිය ප්රවෘත්ති කලාවේ සිය සලකුණ තැබූ Live at 8 විකාශය කාලානුරූපව Live at 7 බවට පත්වුවත් එය මේ වන විට නැවතත් Live at 8 ලෙස ඉදිරිපත් වේ. එහි අන්තර්ගතයේ ද යම් ගුණාත්මක තත්ත්වයක් මේ වන විට නිරීක්ෂණය කළ හැකි අතර පස්වරු 6.55 ට වෙනත් රූපවාහිනී නාලිකා වෙත රොදබැඳ සිටින ප්‍රේක්ෂකාගාරයේ වැඩි පංගුව ලබාගැනීමට තරඟ කිරීම වෙනුවට ඔවුන් රාත්‍රී 8.00 ට ස්වර්ණවාහිනි නාලිකාව ඉදිරිපිටට ගෙන්වා ගැනීමට අවධානය යොමු කිරීම සාධනීය තත්ත්වයකි. දෙරණ නාලිකාව ඇතිකළ 6.55 ප්රවෘත්ති ප්රවණතාවට අභියෝග කළ හැකි තීරණයක් ලෙස මම එය දකිමි.
ජැක්සන් ඇන්තනි කලකට පෙර ස්වර්ණවාහිනියට ඉදිරිපත් කළ “ඟඟ දිගේ”, සලංහන්තේ” හා “රෝම පුරාණය” වැනි සංචාරක හා ගවේෂණාත්මක වැඩසටහන් කලාව දිග්විජය කරමින් “කළු ඟඟ දිගේ” වැඩසටහන ඔහු විසින්ම යළි ස්වර්ණවාහිනී තිරයට ගෙන ඒම මෙරට රූපවාහිනී ප්‍රේක්ෂකාගාරයට සුබ ලකුණකි. එය නැවතත් ස්වර්ණවාහිනියට මෙරට ප්‍රේක්ෂකාගාරය දිනාගැනීමට ලැබුණු කදිම අවස්ථාවක් බව සඳහන් කළ හැකිය. මීට අමතරව “ස්වර්ණ සාජ්ජේ” වැනි ගීතමය වැඩසටහන් ඔස්සේ වින්දනීය පැරණි ගීත මෙරට ප්‍රේක්ෂකයින්ට තිලිණ කළ ස්වර්ණවාහිනියේ සංගීත වැඩසටහන් සම්ප්රදාය ද යළි ආගමනය වී ඇත. වසන්ත දුක්ගන්නාරාළ නමැති නිර්මාණකරුවාගේ පූරකත්වයෙන් හැඩවන “රෑ පැදුර” සංගීත වැඩසටහන එවැන්නකි. මෙසේ ස්වර්ණවාහිනිය සිය වැඩසටහන් පරාසය පුළුල් කරමින් මෙරට ප්‍රේක්ෂක හදවත් යළි ස්පර්ශ කරන්නට පටන් ගැනීම අතිශය සතුටට කරුණකි.
මේ අනුව මෙරට පැරණිතම හා අත්දැකීම් බහුල රූපවාහිනී නාලිකාවක් ලෙස නැවතත් ස්වර්ණවාහිනිය කරළියට පැමිණීම සුභවාදීය. මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය කර ගැනීමෙන් කලකට පෙර මෙරට රූපවාහිනියේ ස්වර්ණමය අවධිය සනිටුහන් කළ ස්වර්ණවාහිනියට යළි එම තත්ත්වයට පැමිණීමට හැකිවන දිනය නුදුරේදීම උදාවනු නියතය.
1,777 total views, 1 views today