රාජ්‍ය මාධ්‍ය වෘත්තිකයෙකු ලෙස මෙන්ම ජනමාධ්‍ය පිළිබඳ ශාස්ත්‍රීය නිරීක්ෂකයෙකු ලෙස ද මාගේ මෙම අදහස ඉදිරිපත් කරමි.
● රාජ්‍ය මාධ්‍ය රටේ පාලන තන්ත්‍රය හසුරුවන දේශපාලන භාවිතයෙන් මුළුමනින්ම වියුක්ත විය යුතුය.
● රාජ්‍ය මාධ්‍ය ක්‍රියාකාරිත්වය සාධාරණීකරණය කිරීම පිණිස ඉදිරිපත් වන ජනප්‍රිය සංකල්පයක් වන්නේ බලයේ සිටින ආණ්ඩුවේ මතවාදය ජනතාව කරා ගෙනයන ප්‍රධාන මාධ්‍ය ධාරාව එය බවයි. එය යම් තරමකට ප්‍රායෝගික අදහසක් වුව ද බලයේ සිටින ආණ්ඩුව සහ බලය දරන පාලක කණ්ඩායම (පක්ෂය හෝ සන්ධානය) යන සාධක ද්විත්වය අතර වෙනස පැහැදිලිව අවබෝධ කර ගනිමින් රාජ්‍ය මාධ්‍ය මෙහෙයවිය යුතුය. ආණ්ඩුවේ මතවාදය වෙනුවට පාලක කණ්ඩායමේ මතවාදය රාජ්‍ය මාධ්‍ය මඟින් ප්‍රචාරය කිරීම රාජ්‍ය මාධ්‍ය පරිහානියට බලපා ඇති මූලික හේතුවයි.
● මහජන මුදල් මඟින් රාජ්‍ය මාධ්‍ය නඩත්තු වන බැවින් ජනතාවට වගකිව යුත්තේ රාජ්‍ය මාධ්‍ය පමණක්ය යන්නත් බොහෝ දෙනා තුළ පවතින වැරදි අදහසකි. මාධ්‍යය රාජ්‍ය හෝ පෞද්ගලික වුවත් එම දෙපාර්ශ්වයම භාවිත කරනු ලබන්නේ පොදු ජනතාව සතු සංඛ්‍යාතයි. එබැවින් ජනතාවට වගකීමට මෙම මාධ්‍ය දෙපාර්ශ්වයටම අනිවාර්ය බැඳීමක් පවතින අතර රාජ්‍ය මාධ්‍ය සම්බන්ධයෙන් සැලකීමේදී එම වගකීම තවත් ප්‍රබල සාධකයක් වන්නේ මහජන මුදල් ඊට යෙදවීම නිසාවෙනි. එම නිසා රාජ්‍ය මාධ්‍යවල දියුණුව හෝ පරිහානිය මහජන මුදල් භාවිතයේ හෝ අවභාවිතයේ ප්‍රධාන නිර්ණායකයක් බව සිහිතබා ගත යුතුය.
● රාජ්‍ය මාධ්‍ය මෙහෙයවීමේ වගකීම ද දේශපාලනයෙන් වියුක්ත පාර්ශ්වවලට පැවරිය යුතුය. රජය එහි මැදිහත්කරුවෙකුගේ නොව නිරීක්ෂකයෙකුගේ භූමිකාවේ රැඳී සිටිය යුතුය.
● ඕනෑම ආයතනයක් දියුණුකළ හැක්කේ ඒවායේ නිෂ්පාදන වැඩි වශයෙන් ජනතාව පරිභෝජනය කිරීම මඟිනි. මාධ්‍ය ආයතනයක නිෂ්පාදන වන්නේ වැඩසටහන් ය. එබැවින් රාජ්‍ය මාධ්‍ය දියුණු කිරීමට නම් ජනතාව ආකර්ෂණය කරගත හැකි ලෙස වැඩසටහන් අන්තර්ගතය සකස්කළ යුතුය. ජනතා ප්‍රශ්න ආමන්ත්‍රණය කරමින් පාලකයින් වෙතින් ඒවාට විසඳුම් සැපයෙන පාලමක් බවට රාජ්‍ය මාධ්‍ය පත්කළ යුතුය.
● ජනමාධ්‍ය උපාධිදාරීන් සෘජුවම පුහුණුව සඳහා රාජ්‍ය මාධ්‍ය වෙත යොමුකරන ක්‍රමවේදයක් සැකසීම මඟින් ඔවුන්ගේ දැනුම සහ කුසලතා රාජ්‍ය මාධ්‍ය සංවර්ධනයට යොදාගැනීම ද වැදගත්ය. පුහුණු කටයුතු සඳහා භාවිත කළ හැකි පරිදි වැඩිම භෞතික සම්පත් ප්‍රමාණයක් රාජ්‍ය මාධ්‍ය ආයතන සතුවන බැවින් ඒවා නිසි කළමනාකරණයකින් යෙදවීම වඩාත් ඵලදායී වේ.
මෙම යෝජනා ගණනාවෙන් කිහිපයක් හෝ ක්‍රියාවට නැංවීම රාජ්‍ය මාධ්‍ය දියුණු කිරීමට තැබිය හැකි ඉදිරි පියවරක් වනු ඇත.
මෙම ලිපියට ෆේස්බුක් ඔස්සේ ලද ප්‍රතිචාර කිහිපයක් ද පහතින් දක්වා ඇත.
● ඉන්දික ජයරත්න (අධ්‍යක්ෂ – සිංහල ස්වදේශීය සේවය)
“සමකාලීන රාජ්‍ය මාධ්‍ය භාවිතය අතිශය දේශපාලනික වීම ඒවායේ ඵලදායකත්වය, කාර්‍යක්ෂමතාවය කෙරෙහි බලපා තිබේ. මාධ්‍ය සංස්කෘතිය, මාධ්‍ය පරිසරය ආදී කාරණා ද දේශපාලනීකරණය වීමේ ප්‍රතිඵල ලෙස රාජ්‍ය මාධ්‍ය විශාල පසුගාමී තත්වයකට පත්වීමට බලපා තිබේ. දේශපාලනයෙන් විනිර්මුක්ත රාජ්‍ය මාධ්‍ය භාවිතයක් මේ සන්දර්භය තුළ අපේක්ෂා කළ නොහැකි වුවත්, අවම මැදිහත්වීම් තුළ හෝ, රාජ්‍ය මාධ්‍ය පවතින තත්ත්වයෙන් ඉහළට ඔසවන්නේ කෙසේද කියන සංවාදය ඇති කළ යුතුය.”
● සරත් සෝමවර්ධන (හිටපු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී – ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව)
“කළ යුතු වන්නේ මණ්ඩලයකින් පාලනය වන පාර්ලිමේන්තුවට වග කියන ආයතනයක් බවට රාජ්‍ය මාධ්‍ය පත් කිරීමයි. එහෙත් එය මේ කපේදී ඉටුකිරීමට දේශපාලන පක්ෂ නම් ඉදිරිපත් වේ යැයි සිතිය නොහැකිය. මාගේ සේවා කාලය තුළ ආණ්ඩු 12 ක් මාරුවිය. රාජ්‍ය මාධ්‍යයට රජය විවේචනය කිරීමේ නිදහස දෙන බව ඒ සෑම මැතිවරණයකදීම කියවිණ. එය ඉටුකළ රජයක් මට නම් හමුනොවීය. විශේෂයෙන් ඡන්දයක් ළංවන විට ඒ සියලු දේ “චකබ්ලාස්ට්” විය. ජීවිත කාලය තුළ අසා ඇති ලොකුම බොරුව කුමක්දැයි යමෙකු මගෙන් විමසුවොත් මගේ පිළිතුර වන්නේ ” අපි බලයට ආවොත් රාජ්‍ය මාධ්‍යවලටත් මාධ්‍ය නිදහස දෙනවා” යන ප්‍රකාශයයි. රාජ්‍ය මාධ්‍ය පිරිහීමට බලපා ඇති තවත් ප්‍රධාන සාධයක් වන්නේ UNION හෙවත් වෘත්තිය සමිති දේශපාලන හූනියමයි. මේ හූනියම කපන තුරු රාජ්‍ය මාධ්‍ය දියුණු කිරීම බොරුය…”
● ඥානින්ද පෙරේරා (ජ්‍යෙෂ්ඨ නිවේදක – ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව)
“පුද්ගලික මාධ්‍ය පවා අද දේශපාලනීකරණයකට ලක්වී ඇත. ඒ ඒවායේ පැවැත්ම හා හිමිකරුවන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙනි. ඒ පසුබිම තුළ සිටිමින් ශ්‍රාවක ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත හැකි වැඩසටහන් පිළිබඳ නිරන්තතර අවධානයකින් ද පසුවෙයි. නව මංසොයා යයි. වැඩ්ඩන් වෙන්නට බලයි. රාජ්‍ය මාධ්‍යවල සිටින්නන් රැකියාවක් කරයි. දේශපාලන වෘත්තීය සමිති හරහා පුද්ගලික පරිභෝජනය ගැන පළමුව හිතයි. ශ්‍රාවකයින් ප්‍රේක්ෂකයින් අපව හැර යනු නොපෙනේ.”
● නිශාන්ති රණතුංග (ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී – ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව)
“දේශපාලන වෘත්තීය සමිති තහනම් කළොත් පුළුවන්”
1,649 total views, 1 views today