මෙරට නිදහස් අධ්‍යාපනයේ ඉහළම කඩයිම වන සරසවි අධ්‍යාපනය ලැබීමට වරම් ලබන සිසුන්ගෙන් බහුතරයක් විවිධ ආර්ථික අපහසුතා මධ්‍යයේ සිය උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වන බව රහසක් නොවේ. විශේෂයෙන්ම මාසිකව ලැබෙන මහපොළ හෝ ශිෂ්‍යාධාර දීමනාව මාසයක් පුරා තම වියදම් සඳහා වැය කිරීමට ප්‍රමාණවත් නොවන නිසා ඔවුන්ට විවිධ අර්ධ කාලීන රැකියාවල (Part Time Jobs) නිරත වීමට සිදුවී තිබේ. එහි දී තම අධ්‍යාපන තත්වය හෝ සමාජයෙන් ඔවුන්ට ලැබෙන වටිනාකම පිළිබඳව බිඳකුදු හෝ සැලකිල්ලක් නොදක්වා තම උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම පිණිස මෙසේ රැකියාවල නිරත වන බව පැවසිය හැකිය. ගැහැණු පිරිමි භේදයකින් තොරව එසේ රැකියාවල යෙදෙන ඔවුන් වෙත සමාජ අවධානය යොමු වන්නේ ඉතා කලාතුරකිනි. මන්ද යත් තමන්ට හිමි නිදහස් අධ්‍යාපන අයිතීන් දිනා ගැනීම උදෙසා මාර්ග අවහිර කරමින් අරගල කරන සරසවි විරුවන් දෙස වපර ඇසින් බැලීමට සමාජයේ බහුතරයක් දෙනා හුරු වී සිටින බැවිනි. එහෙත් එම අරගලකාමී හැසිරීමට යටින් සැඟවී ඇති ඔවුන්ගේ ජීවන අරගලය පිළිබඳ කතාව සමාජයෙන් වසන් වී තිබේ. මේ එම සරසවි විරුවන්ගේ ජීවන අරගලය සමාජය ඉදිරියේ හෙළිදරව් කිරීම සඳහා තබන සටහනකි.
වර්තමාන සරසවි අධ්‍යාපන රටාව තුළ සරසවි සිසුන්ට පූර්ණ කාලීනව රැකියාවක යෙදෙමින් සරසවි අධ්‍යාපනයේ නියැලීමට අවස්ථාව නොමැත. ඒ සරසවියේ දේශන සඳහා සහභාගි වීමේ ප්‍රතිශතය 80% කට වඩා ඉහළ මට්ටමක පැවතිය යුතු බවට නියම වී ඇති බැවිනි. එනිසා තම දේශනවල පැමිණීමේ ප්‍රතිශතය රඳවා ගනිමින් ජීවත් වීම සඳහා අරගලයක නියැලීමට සරසවි සිසුන්ට සිදුවී ඇති අතර ඒ සඳහා අර්ධ කාලීන රැකියාවල නිරත වීම හැර වෙනත් විකල්පයක් ඔවුන්ට නොමැත. ඒ අනුව එම රැකියා ඔස්සේ සුළු මුදලක් උපයා ගැනීමට කටයුතු කරමින් අනාගතය වඩා සැපවත් කරගනු පිණිස ඔවුහු උසස් අධ්‍යාපනයේ නිරත වෙති.
එහි දී සරසවි සිසුන් පොදුවේ නියැලෙන අර්ධ කාලීන රැකියා කිහිපයක් හඳුනා ගත හැකිය. ඒ අනුව කේටරින් සේවාවල සහායකයින් ලෙස සේවය කිරීම, විවිධ ආයතනයන්හි ප්‍රවර්ධන කටයුතුවල නිරත වීම, විවිධ උත්සව හා පෙරහැරවල නර්තන ශිල්පීන් ලෙස හෝ බෙර වාදන ශිල්පීන් ලෙස කටයුතු කිරීම හා වේදිකා පසුතල නිර්මාණය කිරීම ඇතුළු කලා කටයුතුවල නිරත වීම යනාදිය එසේ සරසවි සිසුන් අර්ධ කාලීනව නියැලෙන රැකියා කිහිපයකි. මෙහි දී ඇතැම් රැකියාවල නිරත වීම ගැහැණු ළමුන්ට දුෂ්කර වුවත් එම දුෂ්කර තත්ව නොසලකමින් සිය අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා එම රැකියාවල නිරත වී මුදල් උපයා ගැනීමට ඔවුන් උත්සාහ කිරීම මෙම ජිවන අරගලයේ සානුකම්පිත ස්වභාවය කියාපායි.
මෙලෙස සරසවි සිසුන් යොමුවන අර්ධ කාලීන රැකියාවක් ලෙස කේටරින් සේවාවල සහායකයින් ලෙස කටයුතු කිරීම පෙන්වා දිය හැකිය. එහි දී මංගල උත්සව හා විවිධ සාද යනාදියෙහි ආහාරපාන පිළිගැන්වීමේ සිට සාදය අවසානයේ පිඟන් කෝප්ප සේදීම හා උත්සව ශාලාව පිරිසිදු කිරීම තෙක් විවිධ කාර්යයන්වල යෙදීමට ඔවුන්ට සිදුවන අතර දිනය අවසානයේ වේතනය ලබා ගැනීම සඳහා පවරන ඕනෑම කාර්යයක ප්‍රශ්න කිරීමකින් තොරව නියැලීමට සිදුවේ.
සරසවි සිසුන් බොහෝ විට යොමුවන තවත් එක් අර්ධ කාලීන රැකියා අවස්ථාවක් වන්නේ විවිධ ආයතනවල ප්‍රවර්ධන කටයුතු සඳහා සහභාගි වීමයි. එහි දී තැනින් තැනට ගොස් පත්‍රිකා බෙදීම, ආයතනික පාරිභෝගිකයන්ගේ තොරතුරු රැස් කිරීම, විවිධ නිෂ්පාදන හඳුන්වා දීම සහ ප්‍රවර්ධන වැඩමුළු සංවිධානය කිරීම ඇතුළු විවිධ කාර්යයන්වල ඔවුන් නිරත වේ. මෙවැනි ප්‍රවර්ධන කටයුතු සඳහා බොහෝ විට පිරිමි ළමුන් මෙන්ම ගැහැණු ළමුන් ද සහභාගි වීම දැකිය හැකි අතර විශේෂයෙන් මෙම ක්ෂේත්රය තුළ ගැහැණු ළමුන්ට ඇති ආකර්ෂණය නිසා සුළු මුදලකට සරසවිවල ගැහැණු ළමුන් ඒ සඳහා යොදා ගැනීමට ඒවායේ සංවිධායකයින් කටයුතු කරයි.
තවද මෙම ප්‍රවර්ධන කටයුතුවලට අදාළව සේවය කිරීමට සිදුවන අවස්ථාවක් ලෙස නත්තල් සමයන්හිදී නත්තල් සීයා ලෙස සැරසී සුපිරි වෙළෙඳසැල් ඉදිරිපිට රඟපාන්නට ලැබීම සහ විවිධ නව නිෂ්පාදන හඳුන්වා දීමේ දී ජනප්‍රිය කාටුන් චරිත හෝ විකටයින් ලෙස ප්‍රසිද්ධ ස්ථානවල රඟපාන්නට සිදුවීම පෙන්වා දිය හැකිවේ. මෙම කාර්යය ද මතුපිටින් පෙනෙන තරමේ සුන්දර හා පහසු කාර්යයක් නොවන අතර එයින් ලැබෙන මුදල පිළිබඳ පමණක් සිතා සිසුන් මේ සඳහා යොමුවේ.
විවාහ උත්සව, විවිධ ආගමික උත්සව ඇතුළු උත්සවවල මෙන්ම විවිධ පෙරහැරවල නර්තනයේ යෙදීම හා බෙර වාදනයේ යෙදීම ද සරසවි සිසුන් යොමුවන තවත් අර්ධ කාලීන රැකියාවකි. එහි දී විවිධ ආගමික ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන උත්සව සඳහා මෙන්ම තොවිල් හා යාග වැනි අවස්ථා සඳහා ද නර්තනයේ හා බෙර වැයීමේ දක්ෂතාව සහිත සිසුන් සහභාගි වේ. එමෙන්ම මංගලෝත්සවවල පිළිගැනීමේ ගීත හා අෂ්ඨක ගායනා කිරීම සඳහා ගැහැණු ළමුන් මංගලෝත්සව සංවිධානය කරන්නන් මඟින් යොමුවීම දැකිය හැකි වන අතර මෙවැනි අවස්ථාවලට සහභාගි වීමේදී ලබාදෙන මුදලින් කොටසක් ඒවා සංවිධානය කරන්නන් හා ඒවාට සහභාගි වන නර්තන හා බෙර වාදන කණ්ඩායම්වල නායකයින් අතර බෙදී යන නිසා ඒවා සඳහා සහභාගි වන සිසුන්ට ලැබෙන්නේ ඉතා අවම මුදලකි.
චිත්‍ර ඇඳීම වැනි කලා ක්ෂේත්රය සඳහා දක්ෂතාවක් දක්වන සරසවි සිසුන් යොමුවන අර්ධ කාලීන රැකියා අංශයක් ලෙස වේදිකා පසුතල නිර්මාණය ඇතුළු කලා කටයුතු සඳහා යොමුවීම පෙන්වා දිය හැකිය. එහිදී වේදිකා නාට්‍ය සඳහා සහ විවිධ උත්සව සඳහා පසුතල නිර්මාණය කිරීම මෙන්ම විවිධ ආයතන තුළ හා පාසල් වැනි ස්ථානවල චිත්‍ර නිර්මාණය කිරීම ආදිය සඳහා ද සිසුන් තම ශ්‍රමය ලබා දීම සිදු කරනු ලබයි. මෙවැනි කාර්යයන් සඳහා වෘත්තිමය ශිල්පීන් යොදා ගැනීමට කටයුතු නොකර සරසවි සිසුන් ඒ සඳහා යොදා ගැනීමට උත්සාහ කරනු ලබන්නේ අදාළ කාර්යය සඳහා වෘත්තිමය ශිල්පීන්ට ලබා දිය යුතු මුදලට වඩා අඩු මුදලක් සිසුන්ට ඒ සඳහා ලබා දිය හැකි නිසාය. එහෙත් ඒ පිළිබඳව අවධානය යොමු නොකර තමාට ලැබෙන මුදලේ වටිනාකම පමණක් සලකා සරසවි සිසුන් ඒවායේ නිරත වේ. තවද ඇතැම් අවස්ථාවල එම මුදල ලැබෙන්නේ ද කාලයක් ගතවීමෙන් පසුවය. කෙසේ වුවත් අධ්‍යාපනය ලැබීම සමඟ කළ යුතු ජිවන අරගලය තුළ මෙවැනි තත්ව කිසිවක් ප්‍රශ්න ලෙස නොසලකා සරසවි සිසුන් කටයුතු කරනු ලබයි.
මේ අනුව උසස් අධ්‍යාපනය ලැබීම පිණිස සරසවි තුළට ඇතුළත් වන සිසුන් බොහෝ දෙනෙක් මෙසේ විවිධ අර්ධ කාලීන රැකියාවල නියැලෙන්නේ සිය උසස් අධ්‍යාපනයේ බරපැණ තම දෙමව්පියන්ට දැනෙන්නට දීමට ඇති අකමැත්ත නිසාය. එහි දී විවිධ දුෂ්කරතා මධ්‍යයේ ලැබෙන ඕනෑම රැකියාවක නිරත වී කිසියම් හෝ මුදලක් උපයා ගැනීමට කටයුතු කරන්නේ ලැබෙන සුළු මුදලේ අවශ්‍යතාව පවා ඔවුන් හොඳාකාරවම දන්නා බැවිනි. ඒ අතර මෙවැනි රැකියා සඳහා යොමුවන ගැහැණු ළමුන් දෙස වපර ඇසින් බලා ඒ ඔස්සේ වෙනත් කාර්යයන් සඳහා ඔවුන්ව පොළඹවා ගැනීමට කටයුතු කරන පුද්ගලයින් ද නැතුවාම නොවේ. එහෙත් තම අනාගතය පිළිබඳව බුද්ධිමත්ව තීරණ ගනිමින් එවැනි උගුල් මඟ හැර කටයුතු කිරීම තුළ උසස් අධ්‍යාපනයේ අවසාන ඵලය නෙළාගැනීමට ධෛර්යය සම්පන්නව ඔවුන් කටයුතු කරන්නේ අධ්‍යාපනයේ ඇති වටිනාකම අන් කිසිදු දෙයක් හා සම කළ නොහැකි නිසාවෙනි.
එබැවින් අරගලකාමී කැරලිකරුවන් පිරිසක් ලෙස සමාජය ඉදිරියේ හංවඩු ගැසී සිටින සරසවි විරුවන්ගේ සැබෑ ජීවන අරගලය අතිශය සංවේදීජනක වන බව තවත් අමුතුවෙන් කිව යුතු නැත. එම ජීවන අරගලයේ ස්වභාවය සමාජය ඉදිරියේ හෙළිදරව් කිරීම සඳහා Iranga.net තුළ මා විසින් තැබූ මෙම සටහන එවැනි ධෛර්යය සම්පන්න සරසවි විරුවන්ට උපහාරයක්ම වේවා…!
1,439 total views, 1 views today