Posted on

සරසවි සංස්කෘතියේ අනන්‍යතාව රැඳී පවතින්නේ එය මහා සමාජයේ සංස්කෘතියෙන් අපගමනය වුවහොත් පමණි. එනම් මහා සමාජය විසින් අර්ථ විරහිතව හුදු රසවින්දනය සඳහා අනුගමනය කරන දෑ සරසවිය තුළ දී අනුගමනය නොකරන්නට කටයුතු කිරීම තුළ සැබෑ සරසවි සංස්කෘතියේ පැවැත්ම රැඳී පවතී. එහෙත් මෙම තත්වය වත්මන් සරසවි ප්‍රජාව විසින් අනුගමනය කරනවා ද යන්න ප්‍රශ්නාර්ථයකි. මන්ද යත් සරසවි සංස්කෘතියට නොගැළපෙන මහා සමාජය විසින් කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව වැළඳ ගන්නා වාණිජකරණය තුළ උත්කර්ෂයට නැංවුණු අංග සරසවි සංස්කෘතිය තුළ ද අනුගමනය කරන්නට වත්මන් සරසවි ප්‍රජාව කටයුතු කරමින් සිටින බැවිනි. මෙය එක්තරා සංස්කෘතික සෝදාපාළුවක් වන අතරම තවත් අතකින් අතීතයේ සිට පවත්වාගෙන ආ අභිමානවත් සරසවි සංස්කෘතියට ද එල්ල කරනු ලබන පහරකි. එනිසා ඒ පිළිබඳව මුනිවත රැකීම සැබෑ සරසවි සංස්කෘතියක් අපේක්ෂා කරන්නන්ගේ වගකීම හා යුතුකම බවට පත් නොවිය යුතු නිසාම Iranga.net තුළ මෙම සටහන තබමි.

අතීතයේ දී මහා සමාජයේ විවිධ අංග සාධනීයව වෙනස් කිරීම සඳහා අවැසි බුද්ධිමය මැදිහත්වීම සපයනු ලැබුවේ සරසවි සංස්කෘතිය විසිනි. ඒ සඳහා ගෙනහැර දැක්විය හැකි හොඳම නිදසුනක් වන්නේ පේරාදෙණිය සරසවිය කේන්ද්‍ර කොට ගෙන මහා ඇදුරු එදිරිවීර සරච්චන්ද්‍රන්ගේ මුලිකත්වයෙන් බිහිවූ නාට්‍ය සම්ප්‍රදායයි. එමඟින් මෙරට වේදිකා නාට්‍ය කලාවේ ප්‍රවර්ධනය උදෙසා සැපයුණු දායකත්වය අතිමහත් වන අතර එම සම්ප්‍රදාය තුළින් බිහිවූ ජයලත් මනෝරත්න වැනි නාට්‍යවේදීන් අදටත් හරවත් නාට්‍ය නිර්මාණ ලාංකේය සමාජ සන්දර්භය තුළ නිර්මාණය සිටියි. එහෙත් වර්තමානයේ දී සරසවි තුළින් එවැනි සම්ප්‍රදායන් බිහිවීම හෝ මහා සමාජය වෙත කරනු ලබන බුද්ධිමය මැදිහත් වීම් දැකිය නොහැකි වන අතර ඒ වෙනුවට මහා සමාජයේ ප්‍රජාව විසින් අනුගමනය කරනු ලබන හරසුන් දෑ සරසවි තුළ මහත් ආකර්ෂණයට ලක්වී ඇති අතර එනිසාම මහා සමාජයේ සංස්කෘතිය හා සරසවි සංස්කෘතිය අතර වෙනසක් දැකිය නොහැකි වන තරමටම මහා සමාජයේ සංස්කෘතිය විසින් සරසවි සංස්කෘතිය විනාශ මුඛය කරා කැඳවාගෙන යමින් සිටියි.

එබැවින් මහා සමාජයේ සංස්කෘතියට ඔබ්බෙන් පැවතිය යුතු සරසවි සංස්කෘතියේ බුද්ධිමය ප්‍රවේශයෙහි අවගමනයට හේතු වී ඇති නව සංස්කෘතික ප්‍රවණතාවක් ලෙස රියැලිටි ආකෘතියේ තරඟ පෙන්වා දිය හැකිය. ඒ ඔස්සේ සරසවි තුළ සංවිධානය විය යුතු කලාකරුවන් රටට හඳුන්වා දුන් කලා උළෙලවල් හා නාට්‍ය උළෙලවල් (වර්තමානයේදීත් කැලණිය සරසවිය,  ශ්‍රී ජයවර්ධනපුර සරසවිය හා පේරාදෙණිය සරසවිය තුළ සංවිධානය වන “බිහිදොර අභියස”, “වේදිකාවෙන් මහපොළොවට” හා “මාගේ දේශය අවදි කරනු මැන” වැනි උළෙලවල්) වෙනුවට ජනප්‍රිය ගායන තරු තෝරන රියැලිටි තරඟ සරසවි තුළ අධික වියදමක් දරා සංවිධානය කිරීම සිදුවේ. එමඟින් මහා සමාජය රූපවාහිනී වැඩසටහන් ඔස්සේ හඹා යන සුපිරි තරු මානසිකත්වය සරසවි සංස්කෘතිය තුළ ඇති කරමින් බොළඳ රසවින්දනයක් ලබා දීමට කටයුතු කරයි. එහෙත් මෙහි කනගාටුදායක තත්වය වන්නේ කිසිදු විචාරශීලිත්වයකින් තොරව සරසවි ප්‍රජාව ද  මෙම ජනප්‍රිය සංස්කෘතිය වැළඳ ගැනීමට කටයුතු කිරීමයි. එය විශේෂයෙන් ජනමාධ්‍ය විසින් එනම් රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකා විසින් සමාජගත කරනු ලබන ඕනෑම දෙයක් බාර ගැනීමට මහා සමාජය සැදී පැහැදී සිටිනවා මෙන් ප්‍රශ්නගත කිරීමෙන් තොරව සරසවි ප්‍රජාවද අඳ ගොළු බිහිරන් මෙන් කටයුතු කිරීම හා සමාන තත්වයකි.

එසේම මහා සමාජයේ ජනප්‍රිය සංස්කෘතිය ප්‍රශ්න කිරීම වෙනුවට එය සරසවි තුළ අනුගමනය කරන්නට පෙළඹීම වර්තමාන සරසවි ප්‍රජාවේ චින්තනය පිළිබඳව ද නිර්ණායක සපයන කාරණාවකි. එනම් පොත්පත් කියවීම, සංවාද පැවැත්වීම හා විශිෂ්ට චිත්‍රපට වැනි ලෝකය තුළ බිහිවූ සම්භාව්‍ය කලා නිර්මාණ ඇසුරු කිරීමෙන් තොරව ජංගම දුරකථන හා ටැබ්ලට් පරිගණක භාවිත කරමින් කන් බණු දෙසවනේ රඳවාගෙන තථ්‍යාසන්න ලෝකයක කාලය ගත කරන සරසවි විද්‍යාර්ථින් තුළ නිර්මාණාත්මක චින්තනයක් හෝ විචාරශීලි චින්තනයක් සංවර්ධනය වේ යැයි සිතීම පවා හාස්‍යජනකය. එනිසාම මහා සමාජයේ ප්‍රජාව හා ඔවුන් අතර වෙනසක් දැක ගත හැකි නම් ඒ හුදු අධ්‍යාපන සුදුසුකම්වලින් පමණි. එබැවින් අද්‍යතනයේ දී සරසවි තුළින් බුද්ධිමතුන් නොව උගතුන් පමණක් බිහිවන බව පැවසීම සාවද්‍ය නොවේ.

ශ්‍රී ලංකාවට දැන් උද්ගත වී ඇති විශාලතම ප්‍රශ්නය වන්නේ සුපිරි ගායන තාරකාවන්ගේ හිඟකමය. එනිසා එම තත්වයට පිළියමක් ලෙස ඇමරිකාවෙන් අහුලා ගත් ක්‍රමවේදය ශ්‍රී ලංකාවට ආදේශ කළ සිරස සුපර් ස්ටාර් ආකෘතිය අනුගමනය කරමින් අනෙකුත් රූපවාහිනී නාලිකා ද මෙරටට අවශ්‍ය සුපිරි ගායන තරු සොයමින් වැඩසටහන් ගණනාවක් ආරම්භ කරන ලදි. ඒ අතර එම සුපිරි ගායන තරු සෙවීමේ උන්මාදයට ගොදුරු කරගනු ලැබුවේ මෙරටේ සාමාන්‍ය තරුණ තරුණියන් පමණක් නොවේ. මන්ද යත් මෙරටේ ආරක්ෂක සේවයේ නියැලී සිටින පිරිස් අතර ද අප රටට අවශ්‍ය සුපිරි තරු සිටිය හැකි බවට අනුමාන කරමින් එවැනිම වැඩසටහනක් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව එක්තරා රූපවාහිනී නාලිකාවක් විසින් සංවිධානය කිරීම නිසාය. එහෙත් සුපිරි තරු සොයා යෑමේ උන්මාදය එයින් නිමාවට පත්වූයේ නැත. ඒ මෙම වැඩසටහන්වලින් සොයා ගන්නා සුපිරිතරු මෙරටට බිහිකර වසරක් ගතවීමටත් පෙර එම තරුවල ආගිය අතක් සොයා ගැනීමට නොහැකි වන නිසා සෑම වසරක් පාසාම සුපිරි ගායන තරු සොයා යෑමේ වැඩසටහන් මෙරට තුළ පැවැත්වෙන්නට වූ නිසාවෙනි. මෙම තත්වය වසර ගණනාවක් පුරා ලාංකේය සමාජයට ඇති කළ බලපෑමේ ප්‍රතිඵලයක් ලෙස එවැනි වැඩසටහන් සරසවි තුළ පැවැත්වීම ද දැන් ආරම්භ වී තිබේ. ගතවූ වසර ගණනාව පුරා මෙරට රූපවාහිනී නාලිකාවලට සැපිරීමට නොහැකි වූ මෙරටේ සුපිරි තරු අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට දැන් සරසවි පෙරමුණ ගෙන කටයුතු කිරීම පැසසිය යුත්තක් නොවේ දැයි ඇතමෙකුට සිතීම සාධාරණය. එහෙත් ප්‍රශ්නය ඇත්තේ රටේ මහජනයාගේ බදු මුදල්වලින් පවත්වාගෙන යනු ලබන සරසවි මෙවැනි ජනප්‍රිය සංස්කෘතියේ අතකොළු බවට පත්වීම කෙතරම් යුක්ති සහගත ද යන්නයි.

ඒ අනුව අවසාන වශයෙන් ප්‍රකාශ කළ යුතු වන්නේ එක් එක් කාලවලදී මහා සමාජය ගොදුරු කර ගනු ලබන රියැලිටි තරඟ වැනි විවිධ නව සංස්කෘතික ප්‍රවණතාවන් සඳහා සරසවි දොරටුව විවෘත කිරීමට පෙර වරක් දෙවරක් නොව කිහිප වරක් සිතා බැලිය යුතු බවයි. එහෙත් මහා සමාජයේ සියල්ලක්ම කිසිදු විචාරයකින් තොරව ප්‍රතික්ෂේප කළ යුතු බව මෙයින් අදහස් නොවේ. එනම් කවරක් පිළිබඳ වුවත් බුද්ධිමත්ව විමසා බලා එය අනුගමනය කිරීමට කටයුතු කිරීම හෝ එය බැහැර කිරීමට කටයුතු කළ යුතු වන අතර එසේ නොවුණහොත් අතීත සරසවි ප්‍රජාව විසින් වර්තමානයට දායාද කර ඇති අභිමානවත් සරසවි සංස්කෘතිය නාමික සංස්කෘතියක් ලෙස පමණක් මිස මහා සමාජයේ සංස්කෘතිය ප්‍රශ්නගත කරන සැබෑ සරසවි සංස්කෘතියක් ලෙස අනාගතයට ශේෂ නොවන බව අවධාරණය කළ යුතුය.

 1,642 total views,  2 views today

Comments

comments