0

විකිපීඩියාවේ තොරතුරු වැරදිද?

ඔව්, බැලූ බැල්මටම විකිපීඩියා කියන්නේ ඕනෑම කෙනෙකුට සංස්කරණය කරන්න පුළුවන් විශ්වකෝෂයක් කියලා දන්න හැමෝම දෙන එකම පිළිතුර තමයි මේ. ඒ්ත් ඇත්තටම විකිපීඩියා කියන්නේ වැරදි තොරතුරුවලින් පිරිලා තියෙන තැනක්ද? විකිපීඩියා විශ්වකෝෂය එක්ක වසර ගණනාවක මගේ තියෙන අත්දැකීම් ඇසුරින් මේ සටහන තබන්න හිතුවේ ගොඩක් දෙනෙක්ට විකිපීඩියාව සම්බන්ධයෙන් තියෙන වැරදි මතවලට පිළිතුරක් දිය යුතු බව සිතුණ නිසයි.

මේ සටහන තබන්න මාව යොමුකරපු ආසන්නම හේතුවත් මේ සටහනට වැදගත් කියලා හිතෙන නිසා ඒ ගැන මුලින්ම කියන්නම්. මාගේ මිතුරෙක් විකිපීඩියා විශ්වකෝෂයේ ඇතුළත් කරුණක් නිවැරදිදැයි විමසලා මාව ටැග් කරලා ෆේස්බුක් පෝස්ට් එකක් දාලා තිබුණා. ඔහු මගෙන් විමසලා තිබුණ කරුණ තමා යාපනය පුස්තකාලයට ගිනිතැබීම සම්බන්ධයෙන් විකිපීඩියා විශ්වකෝෂයට ඉංග‍්‍රීසි භාෂාවෙන් ලියලා තිබුණ පිටුවේ සඳහන් වන තොරතුරු නිවැරදිද කියන එක. මම ඒක දැකපු ගමන් ඒ් සිද්ධියම විකිපීඩියා විශ්කෝෂයේ සිංහල භාෂාවෙන් තියෙන පිටුවට ගිහින් ඉංග‍්‍රීසි එකත් එක්ක ඒක සංසන්දනය කරලා බැලුවා. ඊට පස්සේ ඒ සිද්ධිය සම්බන්ධයෙන් විකිපීඩියා නොවන වෙනත් මූලාශ‍්‍රවල තියෙන කරුණුත් මම කියෙව්වා. එහෙම බැලුවම තේරුණ දේ තමා එම සිද්ධිය සම්බන්ධයෙන් විකිපීඩියා විශ්වකෝෂයේ ඉංග‍්‍රීසි සහ සිංහල කියන පිටුවල තියෙන්නේ එකිනෙකට පරස්පර තොරතුරු කියන එක. එහි ඉංග‍්‍රීසි පිටුවේ සිංහල පිටුවට වඩා වැඩි තොරතුරු ප‍්‍රමාණයක් සහ වැඩි මූලාශ‍්‍ර සංඛ්‍යාවක් ඇතුළත් කරලා තිබුණත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රමාණාත්මක විශ්ලේෂණයක් එහි දක්නට ලැබෙන්නේ නැහැ. ඒ වගේම එහි ඇතුළත් කරලා තියෙන තොරතුරුත් මතභේදාත්මකයි.

ඇත්තටම මේ වගේ අවස්ථාවක් සලකා බලනකොට විකිපීඩියා විශ්වකෝෂය කියන්නේ සාවද්‍ය තොරතුරු පිරුණ තැනක් කියන අදහස ඕනෑම කෙනෙක් තුළ ඇතිවෙන්න පුළුවන්. නමුත් මගේ අදහස නම් ඒක එහෙම නෙවෙයි කියන එක. ඒ කියන්නේ විකිපීඩියා විශ්වකෝෂය ඕනෑම කෙනෙකුට සංස්කරණය කරන්න අවස්ථාව දීලා තියෙන එකේ මූලික අරමුණ වන්නේ එහි යම් වැරදි දෙයක් ඇතුළත් වුණොත් ඕනෑම කෙනෙකුට ඒක නිවැරදි කිරීමට අවස්ථාව ලබාදීම. හැබැයි ඒ මූලධර්මය අවභාවිත වීම වැළැක්වීමට අවශ්‍ය විධිමත් යන්ත‍්‍රණයකුත් විකිපීඩියාව තුළ ක‍්‍රියාත්මක වෙනවා. බොහෝ දෙනෙක් විකිපීඩියාවේ මෙම ප‍්‍රාථමික මූලධර්මය ගැන දැනුවත්ව සිටියත් මේ යන්ත‍්‍රණය ගැන දැනුවත් නැහැ.

ඒ කියන්නේ විකිපීඩියාවේ තොරතුරු සංස්කරණය කිරීමට ඕනෑම අයෙකුට අවස්ථාව ලැබුණත්, එහෙම ඇතුළත් කරන තොරතුරු ප‍්‍රශ්නගත කරන්න, ඒ පිළිබඳ තර්ක කරන්න, ඒ දේවල්වල මූලාශ‍්‍ර පිළිබඳ විමසන්න විකිපීඩියාව තුළ යන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මකයි. මේ සියලුම කාරණා එක සටහනකින් විස්තර කිරීම අපහසු නිසා මෙම යන්ත‍්‍රණයේ එක කොටසක් ගැන මං පැහැදිලි කරන්නම්. ඒ තමා සෑම විකිපීඩියා ලිපියකම තියෙන Talk කියන අවස්ථාව. මෙතනින් අපිට පුළුවන් අදාළ පිටුවේ අන්තර්ගතයන් සම්බන්ධයෙන් අදහස්, මතවාද සහ යෝජනා ඉදිරිපත් කරන්න. ඒ කියන්නේ සංස්කාරකවරුන්ට ඒ පිටුවේ අන්තර්ගතයන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තමයි මෙම අවකාශය වෙන්කරලා තියෙන්නේ. විකිපිඩියා ගිණුමක් නැති ඕනෑම අයෙකුට වුණත් Talk කියන ස්ථානයට ගිහින් ඒ පිටුවේ අන්තර්ගතයන් සම්බන්ධයෙන් ඇතිවෙලා තියෙන සංවාද බලාගන්න පුළුවන්.

2001 අවුරුද්දෙදි Jimmy Wales විකිපීඩියා විශ්කෝෂය ඇරඹූ අතර, මේ වසර වන විට එයට දශක දෙකක් සම්පූර්ණ වෙනවා. එහි ජනප‍්‍රියතාව කෙසේද යත් ලෝකයේ සෑම රටකම පාහේ වැඩිම පිරිසක් පිවිසෙන වෙබ්අඩවි අතර මුල් ස්ථාන දහයේ විකිපීඩියා වෙබ්අඩවිය තියෙනවා. විකිපීඩියාවේ අන්තර්ගත තොරතුරු වැරදි නම් දෛනිකව මෙතරම් විශාල සංඛ්‍යාවක් තම තොරතුරු අවශ්‍යතාව සපුරා ගැනීමට විකිපීඩියා වෙබ්අඩවියට මෙහෙම පැමිණෙයිද? ශ‍්‍රී ලංකාවේ ගත්තත් මේ තත්ත්වය වෙනසක් නෑ.

ජිමී වේල්ස් මුලින්ම ඉංග‍්‍රීසි භාෂාවෙන් විකිපීඩියා විශ්වකෝෂය ආරම්භ කරන නිසා මේ වන විට වැඩිම ලිපි සංඛ්‍යාවක් ලියවිලා තියෙන්නේ ඉංග‍්‍රීසි භාෂාවෙන්. මේ වන විට එම ලිපි සංඛ්‍යාව 63 ලක්ෂය ඉක්මවලා තියෙනවා. එම ලිපි සංස්කරණය වෙනුවෙන් පරිශීලකයින් කෝටි 4 කට අධික සංඛ්‍යාවක් කැපවෙනවා. ඒ වගේම ඉංග‍්‍රීසි විකිපීඩියාවේ කටයුතු පාලනය කිරීම සඳහා සිටින පරිපාලකයින් (Administrators) සංඛ්‍යාව 1093 ක්. පරිශීලක ගිණුම් අවහිර කිරීම, පූර්ණ ආරක්ෂිත පිටු (Fully protected pages) සංස්කරණය, පිටු ඉවත්කිරීම හා පිටුවල නම් වෙනස් කිරීම ඇතුළු විශේෂිත කාර්යයන් රැසක් පරිපාලකවරුන්ට සිදුකළ හැකියි. විකිපීඩියාවේ දීර්ඝ කාලයක් කටයුතු කරමින් එහි ප‍්‍රතිපත්ති පිළිබඳ මනා අවබෝධයක් ලබාගැනීම තුළ පරිපාලක ධූරයක් සඳහා ඉල්ලූම් කිරීමට ඕනෑම ලියාපදිංචි පරිශීලකයෙකුට අවස්ථාව හිමිවනවා.

සංස්කාරකවරයෙකු ලෙස මම විකිපීඩියාවට සම්බන්ධවෙලා මේ වන විට අවුරුදු 5 කට වැඩියි. සිංහල විකිපීඩියාවට අලුත් පිටු කිහිපයක් මං නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම මගේ ශාස්ත‍්‍රීය දැනුම ඉංග‍්‍රීසි විකිපීඩියාවටත් ඇතුළත් කරලා තියෙනවා. Information Age කියන පිටුවට මම ඇතුළත් කරපු සංස්කරණ ඉන් ඉවත් නොකර අඛණ්ඩව පැවතීමට විකිපීඩියා ප‍්‍රතිපත්ති අනුව කටයුතු කරමින්, තර්ක සහ සංවාදවලට මැදිවෙමින් අදහස් ඉදිරිපත් කරන්න මට සිද්ධවුණා. එහෙම කරලා අපේ අදහසක් තර්කානුකූලව, මූලාශ‍්‍ර සහිතව විකිපීඩියාව තුළ ස්ථාපිත කිරීම ලොකු අභියෝගයක්. විශේෂයෙන්ම ඉංග‍්‍රීසි විකිපීඩියාව තුළ එහෙම කිරීම ගොඩක් අපහසු දෙයක්. ඒත් අපි තර්කානුකූලව කැපවීමෙන් කටයුතු කළොත් ඒක කරන එක අපහසු නෑ.

මම විකිපීඩියාවට ඇතුළත් කරපු සමහර පිටු දින කිහිපයකින් ඉවත් වෙලා තියෙනවා. හැබැයි ඒ සෑම අවස්ථාවක්ම ඉදිරියට යන්න අලුත් අත්දැකීමක් බවට පත්කරගෙන විකිපීඩියාව ඇතුළේ අත්දැකීම් සහිත සංස්කාරකවරයෙක් බවට පත්වෙන්න අපිට පුළුවන්. විකිපීඩියාව ගැන ලියන්න තියෙන කරුණු අසීමිතයි. මං ඒ සම්බන්ධයෙන් ලබාඇති අත්දැකීම් බොහෝමයි. ඉන් බොහොම සුළු ප‍්‍රමාණයක් පමණයි මම මෙහි සඳහන් කළේ.

මේ අනුව අවසාන වශයෙන් කියන්න තියෙන දේ තමයි විකිපීඩියාවේ ඇතුළත් තොරතුරු වැරදි නම් ලෝකයේ වැඩිම පිරිසක් භාවිත කරන විශ්වකෝෂය බවට විකිපීඩියාව පත්වෙන්නේ නෑ. අවුරුදු 20 ක් තරම් කාලයක් විකිපීඩියාවට ලෝකයේ සෑම රටකම වැඩි දෙනෙක් දෛනිකව පිවිසෙන වෙබ්අඩවි ලැයිස්තුවේ මුල් පෙළ රැඳෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ නෑ. ඒ නිසා විකිපීඩියාවේ තොරතුරු වැරදියි කියන පුද්ගලයින්ට මම කියන්නේ පිටින් ඉඳන් විකිපීඩියාව ගැන බලන්න එපා. මේක ඇතුළට එන්න. මේකෙ ගිණුමක් හදන් සංස්කාරකවරයෙක් වෙන්න. මේකෙ ප‍්‍රතිපත්ති ගැන අධ්‍යයනය කරන්න. ඒවා ගැන හොඳින් දැනුවත් වෙන්න. හැමෝටම සංස්කරණය කරන්න පුළුවන්කම තිබුණට විකිපීඩියාව වැරදි තොරතුරුවලින් පිරිලා තියෙන තැනක්ද කියන එක ඊට පස්සේ ඔබම තීරණය කරන්න. මේ ගැන උනන්දුවක් තියෙන ඕනෑම කෙනෙකුට මගේ අත්දැකීම්වලින් අවශ්‍ය ඕනෑම උදව්වක් දෙන්න මම සූදානම්.

 1,280 total views,  1 views today

Comments

comments