දිලිත් ජයවීරගේ කර්තෘ මණ්ඩල නිදහස

දිලිත් ජයවීර කියන්නේ අපේ රටෙන් බිහිවුණ ප්‍රමුඛ ව්‍යවසායකයෙක්. ඒ වගේම රටේ ජනමතයට බලපෑම් කරන්න පුළුවන් ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන ගණනාවක හිමිකරුවෙක්. ඔහුගේ ප්‍රමුඛතම ක්ෂේත්‍රය දැන්වීම්කරණය වුණත් මෑත කාලයේ ඔහු වඩාත්ම කතාබහට ලක්වන්නේ දෙරණ මාධ්‍ය ජාලයේ ප්‍රධානියා හැටියට. අපේ රටේ වෙනත් ජනමාධ්‍ය ආයතනවල ප්‍රධානීන් සමග සැසඳීමේදී දිලිත් ජයවීර වැඩිපුර සමාජය ඉදිරියේ පෙනී ඉන්න චරිතයක්. මෙන්න මේ හේතුව නිසාම විවිධ උත්සව සභාවල ඔහු කරන කතා වගේම යූටියුබ් නාලිකාවලත් ඔහු සමඟ සිදුකරන සාකච්ඡා අපිට දකින්න පුළුවන්.

ඒ විදිහට දිලිත් ජයවීරත් එක්ක ලහිරු මුදලිගේ තමන්ගේ හරි ටීවී යූටියුබ් නාලිකාවෙන් කරපු සාකච්ඡාව අන්තර්ජාලයට එකතු කරලා තියෙනවා. මේ සාකච්ඡාවෙදි දිලිත් ජයවීර ඉදිරිපත් කරන අදහස් අතර ජනමාධ්‍ය වෘත්තිය සම්බන්ධයෙන් ඔහු ඉතා වැදගත් අදහස් කිහිපයක් සඳහන් කරනවා. ඒ අදහස් දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරු විදිහට ඔහුගේ ආයතනවල ක්‍රියාත්මක වීම මොන විදිහට සිද්ධ වුණත් ඔහු ඉදිරිපත් කරන එම අදහස්වල වැදගත්කම නිසා ඒ ගැන මේ විදිහට සටහනක් තබන්න හිතුණා. දෙරණ ඇතුළු මාධ්‍ය ආයතන ගණනාවක සේවය කළ පුද්ගලයෙකු විදිහට මෙන්ම ජනමාධ්‍ය පිළිබඳ ශාස්ත්‍රීය නිරීක්ෂකයෙකු විදිහට මා ලබා ඇති අත්දැකීම් එම අදහස් සමග සමපාත කරමින් මෙම සටහන තැබීම වැදගත් බවයි මගේ අදහස.

මෙම සාකච්ඡාවෙදි ලහිරු ඉදිරිපත් කරන ප්‍රශ්න එක්ක දිලිත් ජයවීර සඳහන් කරන වැදගත්ම කරුණ තමා “කර්තෘ මණ්ඩල ස්වාධීනතාව” සම්බන්ධයෙන් මාධ්‍ය හිමිකරුවන්ගේ මැදිහත්වීම පිළිබඳ අදහස. ප්‍රවෘත්ති සහ කාලීන තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සිය මාධ්‍ය ආයතනවල, එම අංශවල සේවය කරන කණ්ඩායමට ඊට අදාළ තීරණ ගැනීම සඳහා නිදහස ලබාදිය යුතු බවට පර්යේෂණාත්මක ප්‍රවේශයක් ඔස්සේ තීරණය කළ බව දිලිත් ජයවීර මෙහිදී සඳහන් කරනවා. එහිදී ඔහු අවධාරණය කරන්නේ සිය නාලිකාවේ කිසිදු ප්‍රවෘත්තියකට මේ දක්වා ඔහු සෘජුව හෝ වක්‍රව බලපෑම් එල්ල කර නොමැති බවයි. මෙහි සත්‍ය අසත්‍යතාව කෙසේ වුවත් ජනමාධ්‍ය ආයතන හිමිකරුවෙකු ලෙස ඔහු සඳහන් කරන මෙම කරුණ අතිශය වැදගත් බවයි මගේ අදහස.

දිලිත් ජයවීර මෙම කරුණ සඳහන් කරන්නේ ඔහුගේ හිමිකාරිත්වය යටතේ පවතින විවිධ මාධ්‍ය ආයතන එකම සිදුවීමක් සම්බන්ධයෙන් එකිනෙකට වෙනස් ප්‍රවේශ ඔස්සේ ජනමාධ්‍ය හැසිරවීම පිළිබඳව ලහිරු මුදලිගේ විමසන පැනයට පිළිතුරක් ලෙසයි. එම ප්‍රශ්නය වන්නේ ධම්මික පැණිය දෙරණ රූපවාහිනී නාලිකාවෙන් ප්‍රවර්ධනය කිරීමත් දෙරණ අරුණ පුවත්පතෙන් එම පැණිය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල කිරීමත්ය. දිලිත් ජයවීර සඳහන් කරන පරිදි කර්තෘ මණ්ඩල ස්වාධීනතාවට හිස නමා ප්‍රවෘත්ති කර්තෘවරුන්ට / සංස්කාරවරුන්ට සිය අභිමතය පරිදි එම පුවත ප්‍රවර්ධනය හෝ අවවර්ධනය කිරීමට අවස්ථාව සලසා ඇතැයි යන කරුණ සත්‍යයක් හෝ අසත්‍යයක් වුවත් දිලිත් ජයවීර මෙහිදී දරණ ආස්ථානය සහ ඒ සම්බන්ධයෙන් ඔහුගේ තර්කානුකූල ප්‍රවේශය ඉතා අගය කළ යුතුයි.

කෙසේ වෙතත් මා සේවය කළ මාධ්‍ය ආයතනවල මා හට අත්වීඳීමට සිදුවූ කර්තෘ මණ්ඩල ස්වාධීනතාව දිලිත් ජයවීරගේ මෙම අදහසට වඩා හාත්පසින්ම වෙනස් වේ. අද දෙරණ සිංහල වෙබ්අඩවියේ කලක් මා සේවය කළ ද එහිදී ආයතනික ඉහළ නිලධාරීන් සමග තීරණ ගැනීමට මා සම්බන්ධ නොවුණු බැවින් දිලිත් ජයවීර දෙරණ මාධ්‍ය ආයතනය තුළ ක්‍රියාත්මක වන බවට ප්‍රකාශ කරන කර්තෘ මණ්ඩල ස්වාධීනතාව සම්බන්ධයෙන් අත්දැකීම් මා හට නොමැත. එසේ වුවත් හිරු ඇතුළු වෙනත් මාධ්‍ය ආයතනවල සේවය කිරීමේදී කර්තෘ මණ්ඩල ස්වාධීනතාව සම්බන්ධයෙන් මා ලබා ඇති අත්දැකීම් දිලිත් ජයවීරගේ මෙම කර්තෘ මණ්ඩල ස්වාධීනතාව සමඟ සැසඳීමේදී අහසට පොළොව මෙනි.

හිරු මාධ්‍ය ආයතනයේ මා සේවය කරන අවධියේ එහි හිමිකාරිත්වයට අතිශය සමීප සම්බන්ධතාවක් දක්වන පුවතකට අදාළ සිදුවීමක් එහි වෙබ්අඩවියේ පළකිරීමේදී එකල ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානී තනතුර දැරූ නිලධාරියා විසින් හිමිකාරිත්වයේ මුඛ්‍ය අදහස අනුව සකස් කර එවනු ලැබූ අදාළ පුවත එහි විරාම ලකුණක් හෝ අඩු නොකර එලෙසින්ම පළකිරීම සඳහා සෙසු නිලධාරීන් විසින් සේවකයින් මෙහෙය වීම සිදුකරන ලදි. අදාළ පුවත වෙබ්අඩවියේ ඉහළින් නිරන්තරයෙන් දර්ශනය වන ලෙස සකස් කර පළකිරීමට ද එහිදී උපදෙස් ලැබීම, හිමිකාරිත්වය දරණ අදහස ග්‍රාහක මනස තුළ තහවුරු කිරීමට දැරූ ප්‍රයත්නය ඉතා හොඳින් ප්‍රත්‍යක්ෂ කිරීමකි.

එබැවින් කර්තෘ මණ්ඩල ස්වාධීනතාව සම්බන්ධයෙන් වන මාගේ අත්දැකීම් අනුව රාජ්‍ය, පෞද්ගලික හිමිකාරිත්වය හෝ විද්‍යුත් හෝ ඩිජිටල් වැනි කවර මාධ්‍යයකදී වුවත් හිමිකාරිත්වය විසින් කර්තෘ මණ්ඩල ස්වාධීනතාව කෙරෙහි ඇති කරන බලපෑම ප්‍රවෘත්ති සහ කාලීන තොරතුරු ඉදිරිපත් කිරීමේදී වඩාත් ප්‍රබල වේ. හිමිකාරිත්වයේ මතය සාධනය කිරීම පිණිස ආයතනික ඉහළ නිලධාරීන් කෙරෙහි සෘජුවමත්, ඉන් අනතුරුව ඔවුන් මගින් සෙසු නිලධාරීන් වෙතත් එල්ල වන මෙම පීඩනය මාධ්‍යවේදී වෘත්තීය වටිනාකම් හුදෙක්ම සංකල්පීය අදහසක් පමණක්ම බවට තහවුරු කරන තත්ත්වයක් බව පැවසිය යුතුය. එක් එක් මාධ්‍ය ආයතන තුළදී මෙම තත්ත්වය වෙනස් වන්නේ ඒ ඒ හිමිකාරිත්වයේ ස්වභාවය අනුව මාධ්‍ය ආයතන ඒ සඳහා වෙන්කරන මාධ්‍ය අවකාශයට සමානුපාතිකව මිස, එල්ල වන බලපෑම ප්‍රමාණාත්මකව අඩුවැඩි වීමට සාපේක්ෂව නොවන බව අවසාන වශයෙන් පැවසිය යුතුය.

ආශ්‍රිත ලිපි
ගුවන්විදුලි ප්‍රවෘත්ති සංස්කරණයේ මූලධර්ම, කාර්යභාරය සහ වගකීම්
දේශපාලන අරමුණු වෙනුවෙන් ජාතික රූපවාහිනියේ “ඇඟිලි සලකුණ” යොදාගැනීම (මිලේනියම් සිටි සිදුවීම) – ජනමාධ්‍ය කළමනාකරණය ලිපි
“සන්නාමික ඕපාදූප” හෙවත් හිරු ගොසිප් (ජනමාධ්‍ය කළමනාකරණය ලිපි)

 442 total views,  1 views today

Comments

comments