1

අන්තර්ජාලය සහ ශ්‍රී ලංකාවේ නෛතික ප්‍රවණතා

සමාජ මාධ්‍ය සහ අන්තර්ජාල අන්තර්ගතයන් සම්බන්ධයෙන් සෘජුව ක්‍රියාත්මක විය හැකි නීති ප්‍රතිපාදන ශ්‍රී ලංකාවේ තවමත් නොමැත. එනම් අන්තර්ක්‍රියාකාරී ලෙස අන්තර්ගතයන් නිපදවිය හැකි යම් සමාජ මාධ්‍ය අන්තර්ගතයක් හෙවත් ප්‍රකාශනයක් හෝ අන්තර්ජාල අන්තර්ගතයන් නෛතිකව ප්‍රශ්නගත කළ හැකි ඊටම අදාළ වන නීතියක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නොවීම එවැනි කාර්යයන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පවත්නා බාධාවක් ලෙස ද දෘෂ්‍යමාන වේ. කෙසේ වුවත් මෑත කාලීන සිදුවීම් ගණනාවක් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී එවැනි අන්තර්ජාල අන්තර්ගතයන් සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගැනීමේ නෛතික ප්‍රවණතාවක් අධ්‍යයනයට ලක්කළ හැකිය. මෙම තත්ත්වය එක්තරා දුරකට මෙරටේ අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය භාවිතය නෛතිකව රාමු ගත කළ හැකි තත්ත්වයක් ලෙසද පෙන්වා දිය හැකිය.

අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය අන්තර්ගතයන් සම්බන්ධයෙන් මෙරට නීතිය ක්‍රියාත්මක වන ස්වභාවය පහත පරිදි සංකල්පීකරණය කළ හැකිය.

මෙම තත්ත්වය මෑත කාලීන සිදුවීම් ද්විත්වයක් ඇසුරින් මෙසේ විග්‍රහ කළ හැකිය.

රත්නපුර පිහිටි පහන්තුඩාව ඇල්ල අසළ ලිංගික දර්ශන සහිත වීඩියෝවක් පටිගත කර අන්තර්ජාලයට මුදාහැරිය බව පැවසෙන යුවලක් අත්අඩංගුවට ගැනීම අන්තර්ජාල අන්තර්ගතයක් සම්බන්ධයෙන් මෙරටේ නීතිය ක්‍රියාත්මක වූ නවතම සිදුවීම වේ. අදාළ යුවල නිරුවතින් ලිංගිකව හැසිරෙන අයුරු දැක්වෙන එම වීඩියෝව ඔවුන්ගේ අනන්‍යතාව හෙළිනොවන පරිදි පසුව සංස්කරණය කර ජාත්‍යන්තර ලිංගික වීඩියෝ අන්තර්ගතයන් සහිත වෙබ්අඩවියකට මුදා හැර ඇත. එය ඔවුන් මුදල් ඉපයීමේ අරමුණින් සිදුකරන ලද්දක් බව ද පැවසුණි. මෙම සිදුවීමට සම්බන්ධ බවට සැකකෙරෙන තරුණිය සහ තරුණයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිදුවීමට අදාළ නෛතික තත්ත්වය පිළිබඳ අවධානය යොමු කිරීමේදී අනාවරණය වන්නේ මොවුන් අත්අඩංගුවට ගැනීමට භාවිත කළ නීති ප්‍රතිපාදනය 1983 අංක 22 දරණ අසභ්‍ය ප්‍රකාශන පනත සහ දණ්ඩ නීති සංග්‍රහයේ 285, 286 වගන්ති බවයි. එනම් මෙරට සාමාන්‍ය නීතියේ පවත්නා ප්‍රතිපාදන මත පදනම්ව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. විදෙස් වෙබ්අඩවි මඟින් ලබාගන්නා ලද තොරතුරු මත පදනම්ව සිදුකළ විමර්ශනයකින් පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

මෙම සිදුවීම අනුව මෙරට සාමාන්‍ය නීතියේ පවත්නා ප්‍රතිපාදන අන්තර්ජාල අන්තර්ගතයන් සඳහා ද අදාළ කරමින් නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව පැහැදිලි වේ. එම තත්ත්වය අන්තර්ජාල ක්‍රියාකාරිත්වය සෘජුව නෛතිකව රාමුගත කිරීමක් නොව, සාමාන්‍ය නීතිය උල්ලංඝනය කරන අවස්ථා අන්තර්ජාලය ඔස්සේ තහවුරු කර ගනිමින් නීතිය ක්‍රියාවට නැංවීමක් බව සඳහන් කළ හැකිය. මෙම තත්ත්වය තවත් සිදුවීමක් ඇසුරෙන් මෙසේ පැහැදිලි කළ හැකිය.

සිය ෆේස්බුක් ගිණුමේ පළකළ කෙටි කතාවක් හේතුවෙන් ශක්තික සත්කුමාර නම් ලේඛකයා 2019 වසරේ අප්‍රේල් මස 01 වැනිදා පොල්ගහවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි. අනතුරුව දින 130 ක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකර තබා ගැනීමෙන් පසු ඇප ලැබූ අතර අනතුරුව 2021 පෙබරවාරි 09 වැනිදා පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ඔහුව නිදොස් කොට නිදහස් කෙරිණි.

සිවුර හැර ගිය පුද්ගලයෙකු පාදක කර ගනිමින් “අර්ධ” නමින් කෙටිකතාවක් මෙම ලේඛකයා සිය ෆේස්බුක් ගිණුමේ පළකර තිබූ අතර එමඟින් බුද්ධ චරිතයට නිග්‍රහ වන බව ඊට අදාළ පැමිණිල්ල ගොනු කළ “බෞද්ධ තොරතුරු කේන්ද්‍රය” නම් සංවිධානයක භික්ෂූන් වහන්සේ පිරිසක් චෝදනා කර තිබුණි. ඒ අනුව ශක්තික සත්කුමාර නමැති ලේඛකයා  අත්අඩංගුවට ගැනුණු අතර ඒ සඳහා භාවිත කළ නෛතික ප්‍රතිපාදනය වූයේ 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත හෙවත් ICCPR පනතයි. එම පනතේ 3(1) වගන්තිය යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණි.  එම වගන්තිය අනුව,

“කිසිම තැනැත්තෙකු විසින්, යුද්ධය පැතිරවීම හෝ වෙනස් ලෙස සැලකීමට, එදිරිවාදිකම්වලට හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමු කිරීම සංයුක්ත වන ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙළඹවීම් නොකළ යුතුය.”

කෙසේ වෙතත් ශක්තිකගේ කෙටිකතාව මඟින් නඩු කටයුත්තක් ඉදිරියට පවත්වාගෙන යාමට තරම් කරුණු නොමැති බව සඳහන් කරමින් ඔහුට එරෙහිව අධිචෝදනා ගොනු නොකරන බවට නීතිපතිවරයා අධිකරණයට කළ දැනුම්දීම අනුව පසුව ඔහුව නිදොස් කොට නිදහස් කරනු ලැබීය.

ශක්තිකගේ මෙම සිදුවීමට බලපෑ කෙටි කතාවේ අන්තර්ගතය කුමක් වුවත් එම කෙටිකතාව ෆේස්බුක් ගිණුමේ පළකළ කෙටිකතාවක් වූ බැවින් මෙම අත්අඩංගුවට ගැනීම සඳහා එම සමාජ මාධ්‍ය අන්තර්ගතය හේතු වුවද ඒ සඳහා නෛතික ප්‍රතිපාදනය ලෙස ICCPR පනත යොදා ගැනීම ඔස්සේ සමාජ මාධ්‍ය අන්තර්ගතයන්වලට ‍නෛතික තත්ත්වයක් වක්‍රාකාරයෙන් ආරෝපණය කර ඇති බවක් දක්නට ලැබේ. එනම් අදාළ සමාජ මාධ්‍ය අන්තර්ගතය ශක්තික සත්කුමාරගේ ෆේස්බුක් ගිණුමේ පළකිරීම තුළ එහි කර්තෘත්වය ඔහුගේ බවට වන නිගමනය මත සාමාන්‍ය නීතියක් නෛතික ප්‍රතිපාදනය ලෙස සලකා මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව නීරීක්ෂණය කළ හැකිය. මෙම නෛතික භාවිතය තවදුරටත් මෙසේ විග්‍රහ කළ හැකිවේ.

තථ්‍ය සමාජය (Real Society) හෙවත් අප සැබෑ ලෙස සම්බන්ධතා පවත්වන භෞතික සමාජය සහ එය පාලනය කිරීම සඳහා පනවා ඇති නීති, තථ්‍යාසන්න සමාජය (Virtual Society) සඳහා ආදේශ කරමින් ගොඩනඟන ලද ආරෝපිත නෛතික තත්ත්වයක් මත එවැනි සිදුවීම් ආශ්‍රිත නෛතික ක්‍රියාවලිය විග්‍රහ කළ හැකිය.

ඒ අනුව සඳහන් කළ හැක්කේ අන්තර්ජාල සහ සමාජ මාධ්‍ය අන්තර්ගතයන් සම්බන්ධයෙන් සෘජුවම බලපාන නෛතික ප්‍රතිපාදන මෙරට දක්නට නොලැබුණ ද වෙනත් සාමාන්‍ය නීති ඔස්සේ ආරෝපිත නෛතික තත්ත්වයක් එවැනි අන්තර්ගතයන් සම්බන්ධයෙන් මෙරට ක්‍රියාත්මක වන බවයි. කෙසේ වුවත් අන්තර්ජාල අන්තර්ගතයන් කෙරෙහි සෘජුව බලපාන නෛතික ප්‍රතිපාදන ඇතිකිරීම වැදගත් වන අතර ඒ ඔස්සේ අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය භාවිතය වඩාත් වගකීම් සහගත තත්ත්වයට පත්කිරීමට බලපෑමක් ඇති කළ හැකිය. එවැනි සෘජු නීතියක් නොමැති වුව ද පවත්නා සාමාන්‍ය නෛතික ප්‍රතිපාදන අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ආශ්‍රිත සිදුවීම් කේන්ද්‍රකර ගනිමින් වර්තමානයේ ක්‍රියාත්මක වීම තුළ අධ්‍යයනයට ලක්කළ හැකි නෛතික ප්‍රවණතාවන්වල සාධනීය ලක්ෂණ ඉදිරියේදී අන්තර්ජාල අන්තර්ගතයන් සඳහා නීති පැනවීමේදී භාවිත කළ හැකි බව අවසාන වශයෙන් සඳහන් කළ යුතුය.

 3,446 total views,  1 views today

Comments

comments