කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ කථිකාචාර්ය කුමේෂ් ප්‍රභාෂිණී ගමගේ මහත්මිය රචනා කළ ශාස්ත්‍රීය කෘති ද්විත්වයක් දොරට වැඩීම ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී අද සිදුකෙරේ. “ජන විඥානය, ලිබරල්වාදී දෘෂ්ටිවාදය සහ සඟරා සන්නිවේදනය” සහ “චන්ද්‍රිකා රූපවාහිනී සන්නිවේදනය” එම කෘති ද්විත්වය වේ. ශ්‍රී පාලි මණ්ඩපයේ හිටපු මණ්ඩපාධිපති, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ටියුඩර් වීරසිංහ, කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ සහ විශේෂඥ ඉංජිනේරු ස්ටැන්ලි හෙට්ටිආරච්චි යන මහත්වරු මෙහිදී විශේෂ දේශන පැවැත්වීමට නියමිතය. නූතන මාධ්‍යය ජන විඥානය හැඩගැස්වීමෙහිලා සමත්ද?, අද්‍යතන මාධ්‍ය සංස්කෘතිය ප්‍රවර්ධනයෙහිලා සඟරා සන්නිවේදනයේ භූමිකාව සහ සංඛ්‍යාංක යුගයේ රූපවාහිනී සන්නිවේදනයේ මුහුණුවර යන මාතෘකා ඔස්සේ මෙම දේශන පැවැත්වේ.

මුද්‍රිත මාධ්‍යය ලෝක සන්නිවේදන ඉතිහාසයේ මෙන්ම ශ්‍රී ලංකාවේ සන්නිවේදන ඉතිහාසයේ ද පුරෝගාමී ජනමාධ්‍ය ප්‍රවර්ගය වන නමුත් සිංහල භාෂාවෙන් ඒ පිළිබඳ රචනා වී ඇති ශාස්ත්‍රීය පර්යේෂණාත්මක කෘති සොයාගැනීම අතිශය දුෂ්කරය. එනම් මෙරට මුද්‍රිත මාධ්‍ය සම්බන්ධයෙන් ශාස්ත්‍රීය පර්යේෂණවල නිරතවන විද්‍යාර්ථින්ට සහ ඒ පිළිබඳ පර්යේෂණාත්මක දැනුම සොයා යන පාඨකයින්ගේ අවශ්‍යතාව පූරණය කළ හැකි කෘති බිහි නොවූ තරම්ය. එබැවින් මුද්‍රිත මාධ්‍ය සන්නිවේදනය කේන්ද්‍රකර ගනිමින් කුමේෂ් ප්‍රභාෂීණී මහත්මිය සිදුකර ඇති මෙම ශාස්ත්‍රීය සම්ප්‍රදානය මෙරට ජනමාධ්‍ය අධ්‍යයනයේ නිරත ශාස්ත්‍රීය ප්‍රජාවගේ ඇගයීමට සහ පැසසුමට ලක්විය යුතුය. ඇගේ මෙම ශාස්ත්‍රීය මැදිහත්වීම විශේෂයෙන් මුද්‍රිත මාධ්‍ය අධ්‍යයනයේ නිරත විද්‍යාර්ථින්ට පර්යේෂණාත්මක දැනුම ලබාගැනීමට වැදගත් වන අතර මෙවැනි කෘති ඉදිරියටත් එළිදැක්වීම සඳහා නව මාවතක් විවර කරන බව ද සඳහන් කළ යුතුය.
තව ද සංඛ්‍යාංක තාක්ෂණය කේන්ද්‍රකර ගත් අද්‍යතන මාධ්‍ය සංස්කෘතිය ශාස්ත්‍රීය විශ්ලේෂණයන්ට බඳුන්කිරීම ද කාලීන අවශ්‍යතාවකි. කුමේෂ් ප්‍රභාෂීණී මහත්මියගේ “චන්ද්‍රිකා රූපවාහිනී සන්නිවේදනය” කෘතිය ඒ සඳහා ද මඟ විවර කර තිබේ. බොහෝ විශ්විවිද්‍යාල කථිකාචාර්යවරුන් මෙවැනි නව්‍ය සන්නිවේදන ප්‍රවේශ සිය ශාස්ත්‍රීය වපසරිය තුළ විග්‍රහ කිරීම සිදු නොකරන තත්ත්වයක් තුළ විශ්වවිද්‍යාල ආචාර්යවරියක් ලෙස කුමේෂ් ප්‍රභාෂිණී මහත්මිය එම හිඩැස සැපිරීමට ප්‍රයත්න දැරීම අගය කළ යුතුය. ඇගේ මෙම ශාස්ත්‍රීය මෙහෙවර මෙරට විශ්වවිද්‍යාලවල ජනමාධ්‍ය අධ්‍යයනාංශවල කාර්යභාරය යළි සමාලෝචනය කිරීමට කවුළුවක් විවර කර දී ඇත.
මෙම සටහන අවසන් කිරීමට පෙර කුමේෂ් ප්‍රභාෂිණී මහත්මිය පිළිබඳ මාගේ පෞද්ගලික අත්දැකීමක් ද මෙහි සඳහන් කිරීම වැදගත් බව සිතමි. මාගේ විශ්වවිද්‍යාල ජීවිතය තුළ හමුවූ ඇය මාගේ “සමාජ මාධ්‍ය සංස්කෘතිය” කෘතිය එළිදැක්වීම සඳහා බොහෝ උපකාර කළ බව ගෞරව පූර්වකව සඳහන් කරමි. එම කෘතියේ පළමු පිටපත කියවූයේ ඇය විසිනි. ඒ සඳහා නොමසුරුව ඇගේ කාලය වෙන්කරමින් මා හට උපදෙස් ලබාදුන් අතර ශ්‍රී පාලි මණ්ඩපයේදී පැවති කෘතිය එළිදක්වන උත්සවයට ද ඇගේ උපරිම සහයෝගය නොඅඩුව ලබාදුන්නාය. ඇගේ මෙම උපකාර මාගේ ශාස්ත්‍රීය ජීවිතය සාර්ථක කර ගැනීමට බෙහෙවින් වැදගත් වූ බව විශේෂයෙන් සඳහන් කළ යුතුය.
අවසාන වශයෙන් ඉදිරියටත් තව බොහෝ ශාස්ත්‍රීය කෘති එළිදැක්වීමට කුමේෂ් ප්‍රභාෂිණී මහත්මියට ශක්තිය හා ධෛර්යය ප්‍රාර්ථනා කරමි. අද එළිදකින කෘති ද්විත්වය වෙනුවෙන් ඇයට සුබපතන අතර ඇගේ ඉදිරි ශාස්ත්‍රීය ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමි.


2,079 total views, 1 views today