0

“මල්ටි විටමින්” හෙවත් කෘතියකින් ඔබ්බට ගිය සමාජ කියවීම

නීතිවේදියෙකු මෙන්ම අපූරු සන්නිවේදකයෙකු ද වන ගාමිණී විජේවර්ධන මහතා විසින් රචනා කරන ලද “මල්ටි විටමින්” කෘතිය එක හුස්මට කියවා අවසන් කිරීමෙන් පසු මෙම සටහන තැබිය යුතු බව සිතුවෙමි. විශේෂයෙන්ම කෘති දහස් ගණනක් වසරකදී මුද්‍රණයෙන් එළිදුටුව ද සමාජ විඥානය පෝෂණය කිරීම සඳහා බලපෑම් කළ හැකි කෘති බිහිනොවන තරම්ය. “මල්ටි විටමින්” කෘතිය එකී අවශ්‍යතාව පූරණය කිරීමට සමත් අගනා කෘතියක් ලෙස අවිවාදයෙන් සඳහන් කළ හැකි බැවින් එම කෘතිය පිළිබඳ මෙසේ සටහනක් තැබීම එය තවදුරටත් පාඨකයින් අතරට රැගෙන යාම සඳහා උත්තේජනයක් සපයන බව මාගේ විශ්වාසයයි.

කතුවරයාගේ ජීවන අත්දැකීම් මෙන්ම සමාජයේ ප්‍රකට චරිත ගණනාවක ජීවන තතු ද වස්තු විෂය වී ඇති මෙම කෘතිය තේමා ගණනාවක් ඔස්සේ පාඨකයාට සිය චින්තනය මෙහෙයවීමට අවස්ථාව සලසා දෙයි. එහිදී ජාත්‍යන්තර වශයෙන් මෙන්ම දේශීය වශයෙන් ද කීර්තිමත් චරිත රැසක තොරතුරු ගෙනහැර දක්වන කතුවරයා එම සියලු ජීවන තොරතුරු සමඟ සිය සියුම් සමාජ දෘෂ්ටියක් ඉදිරිපත් කිරීමට දක්වා ඇති දක්ෂතාව පුදුම එළවන සුළුය. එනම් හුදෙක් තොරතුරු සමුදායක් ඉදිරිපත් කිරීම වෙනුවට එම එක් එක් පුද්ගල චරිත සමාජයේ විශිෂ්ටත්වයට පත්වීමට හේතුවූ පසුබිම් සාධක අතර පැවති නෛසර්ගික සම්බන්ධතාව විග්‍රහ කිරීම ඔස්සේ පාඨක විඥානය පුළුල් කිරීමට හැකිවීම මෙම කෘතියේ දැකිය හැකි සුවිශේෂත්වය වේ. මෙම ලක්ෂණය පුද්ගල චරිත පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන වෙනත් කෘතියක දක්නට නොලැබෙන සුවිශේෂී ලක්ෂණයක් ලෙස සඳහන් කළ හැකි අතර එය කතුවරයා වෙතින් ප්‍රකට වන නිර්මාණාත්මක සන්නිවේදන ශක්‍යතාවක් ලෙස ද ප්‍රකාශ කළ හැකිය.

කතුවරයා මෙම නිර්මාණාත්මක සන්නිවේදන ශක්‍යතාව සඳහා ආවේශය ලබාගන්නේ ඔහුගේ පුළුල් සමාජ ඇසුර සහ සමාජ කියවීම තුළිනි. ඒ අනුව මෙම කෘතියට පදනම් වන අනෙකුත් තේමා ඔහු සිය ජීවන අත්දැකීම්වල සාරය ලෙස ඉදිරිපත් කරයි. සමාජයේ ප්‍රකටව පවත්නා සහ විවෘතව දක්නට ලැබෙන බොහෝ සංසිද්ධිවල අප්‍රකට යථාර්ථය විනිවිදව දකිමින් එය මෙම කෘතිය ඔස්සේ අනාවරණය කරන කතුවරයා එම සිදුවීම්වල නොපෙනෙන පැතිකඩ දැකීමට හැකි දොරටු විවෘත කර ගැනීම සඳහා පාඨකයාට චින්තන ප්‍රවේශ ගණනාවක් සපයාදෙනු ලබයි. එය කෘතියකින් අපේක්ෂා කළ හැකි අගනා සමාජ මෙහෙවරක් ලෙස පෙන්වාදීම වැදගත් වන අතර සමාජ සවිඥාණිකත්වය ගොඩනැගීමෙහිලා මෙම මැදිහත්වීම අතිශය වැදගත් වන බව ද සඳහන් කළ යුතුය.

“මල්ටි විටමින්” කෘතිය නූතන උපදේශාත්මක ශානරයෙහිලා සැලකිය හැකි කෘතියක් ලෙස ද හඳුන්වාදිය හැකිය. අතීතයේ රසවිඳි උපදේශාත්මක සාහිත්‍ය නිර්මාණ තුළ ගැබ්ව පැවති ලක්ෂණ නූතන යාවත්කාලීන දෘෂ්ටියකින් මෙම කෘතියේ ඉදිරිපත් කර ඇත. ඒ අනුව මෙම කෘතියේ ඇතුළත් නව්‍ය සංකල්ප වත්මන් පාඨකයින්ට සිය ජීවන දැක්මට ආදේශ කර ගැනීම වඩාත් පහසු වන බව මාගේ විශ්වාසයයි. අද්‍යතන සමාජ සන්දර්භය මෙම කෘතිය තුළින් නිරූපණය වීම ඊට බලපා ඇති තවත් එක් ප්‍රමුඛ සාධකයක් ලෙස පෙන්වාදීම ද වැදගත්ය. එනම් කාලීන සිදුවීම් සහ නිදසුන් ඔස්සේ උපදේශනය නිර්මාණාත්මක ප්‍රවේශයකින් ඉදිරිපත් කිරීමට කතුවරයා දරා ඇති උත්සාහය සාර්ථකය. මේ අනුව “මල්ටි විටමින්” වූ කලී කෘතියක් පමණක් නොව ඉන් ඔබ්බට ගිය සමාජ කියවීමක් බව මාගේ අදහසයි.

මෙම කෘතිය රචනා කිරීමේදී කතුවරයා යොදාගන්නා ලද භාෂා ශෛලිය පිළිබඳව ද මෙහිදී සඳහන් කිරීම වැදගත්ය. එනම් ඉතා රසවත් හා සරල භාෂාවක් මෙහිදී භාවිත කර ඇති අතර සාම්ප්‍රදායික ලිඛිත භාෂාව වෙනුවට කථන භාෂාව යොදාගැනීම කෘතියේ අදහස් පාඨකයා හමුවට ගෙනයාමට කෙටි මාවතක් බවට පත්වී ඇත. කතුවරයා සතුවන අපූර්ව සන්නිවේදන ශක්‍යතාව මේ සඳහා පිටිවහලක් වී ඇත. එනම් කෘතියේ අන්තර්ගතය වඩාත් ආකර්ෂණීය අන්දමින් පාඨකයා කරා සම්ප්‍රේෂණය කළ හැකි භාෂාවක් භාවිත කිරීම මෙම කෘතියේ සාර්ථකත්වයට හේතුවන බව පැවසිය යුතුය.

මෙම සියලු කරුණු අනුව සැලකීමේදී “මල්ටි විටමින්” කෘතිය පාඨක චින්තනය අවදි කළ හැකි අපූරු ග්‍රන්ථයක් ලෙස සඳහන් කළ හැකිය. වයස් භේදයකින් තොරව ඕනෑම පාඨක ප්‍රජාවකට කියවා නව්‍ය සංකල්ප සිය ජීවිතයට ලබාගත හැකි මෙම කෘතිය සෑම අයෙකුම අනිවාර්යයෙන් කියවිය යුතු කෘතියක් බව මාගේ අදහසයි. මෙවැනි කෘති ඔස්සේ හරවත් සංකල්ප සමාජගත කිරීමට ගාමිණී විජේවර්ධන මහතා‍ දරා ඇති උත්සාහය සියලු දෙනාගේ ප්‍රශංසාවට බඳුන්විය යුතුය. ඔහුගේ මෙම සමාජ මෙහෙවර අඳුරට එක පහනක් දැල්වීමක් බඳුය. “මල්ටි විටමින්” කෘතියෙන් දැල්වූ එම ආලෝකය ජීවිත දසදහස් ගණනක් එළියකිරීමට හේතුවන බව නොඅනුමානය.

 1,562 total views,  1 views today

Comments

comments