මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් නමින් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ මැදිරියක් නම් කිරීම 2023 මාර්තු 09 වැනිදා සිදුකෙරුණු අතර ඊට සමගාමීව සරච්චන්ද්‍රයන්ගේ ගුවන්විදුලි මෙහෙවර අගයනු වස් “රෙදෙව්සරෙහි සරාසඳ” නමින් ශාස්ත්‍රීය සංග්‍රහයක් (e-Journal) ද පළකරනු ලැබීය. සිංහල සේවා අධ්‍යක්ෂ ඉන්දික ජයරත්න සහ කථිකාචාර්ය නාලක ජයසේන යන මහත්වරුන්ගේ සංස්කාරකත්වයෙන් පළවූ මෙම ශාස්ත්‍රීය සංග්‍රහයට මා විසින් මෙම ලිපිය රචනා කරන ලදි.
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර යන නාමය ශ්‍රී ලාංකේය නාට්‍ය වංශයේ අමරණීය සලකුණක් වන නමුත් ශ්‍රී ලාංකේය ගුවන්විදුලි වංශකතාව තුළ සරච්චන්ද්‍ර නාමය පිළිබඳ සනිටුහන් වී ඇති තොරතුරු සමාජයේ එතරම් ප්‍රකට කරුණු නොවේ. විශේෂයෙන්ම දේශීය නාට්‍ය කලාව සහ සාහිත්‍යය කෙරෙහි සරච්චන්ද්‍රයන්ගේ සම්ප්‍රදානය මෙරට මහා සම්ප්‍රදායක් ලෙස හඳුනාගැනීමට හැකිවුව ද ඊට සාපේක්ෂව දේශීය ගුවන්විදුලි සම්ප්‍රදාය සහ සරච්චන්ද්‍රයන් අතර පැවති සම්බන්ධතාව චූල සම්ප්‍රදායක් ලෙස හෝ සැලකිය යුතු ප්‍රමාණයකින් ඇගයීමට ලක්නොවීම මෙරට ගුවන්විදුලි ඉතිහාසයේ වැදගත් පරිච්ඡේදයක් නොසලකා හැරීමක් බඳුය. එය එක්තරා දුරකට සරච්චන්ද්‍රයන්ගේ භූමිකාවට සිදුකරන අවම සැලකිල්ලක් වන අතර තවත් අතකින් වත්මන් පරපුර දැනුවත් විය යුතු මහඟු තොරතුරු සමූහයක් සමාජගත වීමට පවත්නා අවස්ථාව අහිමි කිරීමකි. ඒ අනුව එවැනි සැඟවුණු තොරතුරු ඉදිරිපත් කරමින් සරච්චන්ද්‍රයන් සම්බන්ධයෙන් සැගවී ඇති දැනුම පද්ධතියක් සමාජයට නිරාවරණය කිරීම මෙම ලිපියේ මූලික අභිප්‍රාය වන බව සඳහන් කළ යුතුය.
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් උපත ලබන්නේ 1914 වර්ෂයේ ජූනි මස 03 වැනිදා ගාල්ල රත්ගම ප්‍රදේශයේදීය. උපතින් ඔහු ලද නාමය වන්නේ වැදිතන්ත්‍රගෛ් යූස්ටස් රෙජිනෝල්ඩ් ද සිල්වා ය. පවුලේ වැඩිමහල් පුත්‍රයා වූ ඔහුගෙන් පසුව පවුලට තවත් සහෝදරියන් දෙදෙනෙකු එක්විය. ඔහුගේ පියා තැපැල් ස්ථානාධිපතිවරයෙකු වූ අතර මව වෘත්තියෙන් ගුරුවරියක් විය.
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය, ඇලෝසියස් විද්‍යාලය, පානදුර ශාන්ත ජෝන් විද්‍යාලය හා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය යන පාසල්වලින් අධ්‍යාපනය ලැබූ හෙතෙම පාසල් කාලයේදී විද්‍යා විෂයන්වලින් අධ්‍යාපන කටයුතු සිදුකළේය. ඊට අමතරව ඉංග්‍රීසි, ලතින් හා ග්‍රීක භාෂා අධ්‍යයනයට ද හෙතෙම යොමුවූවේය. පාසලෙන් ලන්ඩන් විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගය සමත් වී 1933 වසරේදී කොළඹ යුනිවසිටි කොලීජියට ඇතුළත්ව පාලි, සංස්කෘත හා සිංහල භාෂාව හදාරා සිය මූලික උපාධිය ප්‍රථම පන්ති සාමාර්ථයක් ලබාගනිමින් සමත් විය. දෙමව්පියන්ගෙන් ඇතිවූ බලපෑම මත ලංකා සිවිල් සේවා විභාගයට ද ඉදිරිපත් වු හෙතෙම ඉන් සමත් වූයේ දිවයිනේ පළමු ස්ථානය ලබාගනිමිනි.
පාසල් අධ්‍යාපනයෙන් පසුව කෙටි කලක් කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ ඉගැන්වීමේ යෙදුණු සරච්චන්ද්‍රයන් 1939 වසරේදී ලෙක්හවුස් ආයතනයේ සේවයට එක්විය. කෙසේ වෙතත් සංගීතය සහ භාරතීය දර්ශයනය හැදෑරීමේ දැඩි ආශාවෙන් පෙළුණු හෙතෙම ඉන්දියාවේ ශාන්ති නිකේතනයේ අධ්‍යාපනය ලැබීම සඳහා පිටත්ව ගියේය.
ශාන්ති නිකේතනයේ අධ්‍යාපනය ලැබීමෙන් පසුව නැවත මෙරටට පැමිණි සරච්චන්ද්‍රයන් ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ සිංහල ගුරුවරයෙකු ලෙස සේවයට එක්විය. කලක් සිංහල ශබ්ද කෝෂයේ උප සංස්කාරකවරයෙකු ලෙස ද කටයුතු කළ සරච්චන්ද්‍රයන්ට කෙටි කලකින් ලංකා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ධූරයක් හිමිවූ අතර ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් දර්ශනපති හා දර්ශනසූරි උපාධි ලබා 1952 වසරේදී පේරාදෙණිය සරසවියේ සේවයට එක්වුණි.
මහාචාර්ය සරච්චන්ද්‍රයන් සහ ගුවන්විදුලිය අතර ගොඩනැගෙන සබඳතාවයේ ආරම්භය එතුමා සරසවියේ ශිෂ්‍ය අවධිය ගතකරමින් සිටින සමය දක්වා දිවයයි. මහාචාර්ය තිස්ස කාරියවසම් මහතා වරක් සඳහන් කර ඇති පරිදි සරච්චන්ද්‍රයන් යුනිවර්සිටි කොලීජියේ විද්‍යාර්ථියෙකුව සිටින සමයේ ගුවන්විදුලියෙන් ශාස්ත්‍රීය වාදනයක් ඉදිරිපත් කර ඇති අතර එතුමා ගුවන්විදුලියේ දේශන පැවැත්වූ මුල් අවධියේ නීතීඥ ජෝන් ද සිල්වා මහතාගේ නාට්‍යවල ඇතුළත් පැරණි නූර්ති ගී ගණනාවක්ම නිදර්ශන සේ ගායනා කර ඇති බව ද සරච්චන්ද්‍රයන්ගේ සමකාලීනයෝ සඳහන් කරති.
1950 ගණන්වලදී මහාචාර්ය සරච්චන්ද්‍රයන් තුළ ගුවන්විදුලි නාට්‍ය කෙරෙහි උනන්දුවක් හා නැඹුරුවක් ඇතිවන බව එතුමාගේ කෘතිවලින්ම ප්‍රකට වේ. එතුමා පිං ඇති “සරසවි වරමක් දෙන්නේ” නමැති කෘතියේ සඳහන් කර ඇති පරිදි එංගලන්තයේ දී ඇතිකර ගත් පුරුද්දක් අනුව කොළඹ දී ගුවන්විදුලියට සවන් දීමට යොමුවී ඇති හෙතෙම බීබීසී ආයතනයෙන් ප්‍රචාරය කළ ගුවන්විදුලි නාට්‍යවලට සවන්දීමෙන් මහත් ආශ්වාදයක් ලබා තිබේ. එම නාට්‍ය හා සැසඳීමේදී සිංහල ගුවන්විදුලි නාට්‍ය හාස්‍යයට හා අවමානයට ලක්විය යුතු තත්ත්වයක පැවති බව සරච්චන්ද්‍රයන් සඳහන් කර ඇත.
ඒ අනුව එම නාට්‍ය විචාරයට ලක්කරමින් Sunday Observer පුවත්පතට ලිපි පෙළක් රචනා කිරීමට සරච්චන්ද්‍රයන් කටයුතු කළේය. එහි ප්‍රතිඵලය වූයේ එවකට ගුවන්විදුලියේ අධ්‍යක්ෂවරයා වූ බීබීසී ආයතනයේ සේවය කළ ජෝන් ලැම්ප්ඩන් මහතාගෙන් ලිපියක් ලැබීමය. ලංකා සිවිල් සේවා නිලධාරියෙකු වූ ඇම්.ජේ. පෙරේරා මහතා ද මේ වන විට ගුවන්විදුලියේ අතිරේක අධ්‍යක්ෂ ධූරයක් දැරූ අතර ඒ මහතා යුනිවසිටි කොලීජියේ සිටි සමයේ සරච්චන්ද්‍රයන්ගේ මිතුරෙකු වූ අතර හෙතෙම සරච්චන්ද්‍රයන්ගේ දක්ෂතා පිළිබඳ මනා දැනීමකින් යුක්ත විය.
සරච්චන්ද්‍රයන් ගුවන්විදුලියට නාට්‍ය රචනා කිරීම ආරම්භ වන්නේ මෙතැන් සිටය. “නොරත රත”, “සත්ව කරුණාව”, “තරුණ ලේඛකයා”, “වළ ඉහගෙන කෑම” මෙන්ම “ඈ නුවන් ලැබුවා”, “රත්තරං” හා “පෙමතො ජායති සොකෝ” සරච්චන්ද්‍රයන්ගේ මුල්කාලීන ගුවන්විදුලි නාට්‍ය වේ. සද්ධර්මාලංකාරයේ ස්වර්ණතිලකා කතා වස්තුව පදනම් කර ගනිමින් සරච්චන්ද්‍රයන් 1955 වසරේදී “පෙමතො ජායති සොකෝ” නාට්‍යය රචනා කළේය. පී. වැලිකල වැනි ගුවන්විදුලි නාට්‍ය ශිල්පීන්ගේ නොමඳ සහයෝගය ද මෙකල සරච්චන්ද්‍රයන්ට ලැබුණි. 1950 දශකයේ අගභාගයේ ගුවන්විදුලි නාට්‍ය අංශය ආරම්භ වේ. සරච්චන්ද්‍රයන් සිංහල සේවා ප්‍රධානියා ලෙස කටයුතු කරන සමයේ සුගතපාල ද සිල්වා මහතා භාවාත්මක ගුවන්විදුලි නාට්‍ය නිර්මාණය සඳහා පුරෝගාමී වන අතර පී. වැලිකල මහතා එකල නිෂ්පාදකවරයා ලෙස කටයුතු කළේය.
Radio නමැති ඉංග්‍රීසි යෙදුමට සිංහල භාෂාවෙන් “ගුවන් විදුලිය” ලෙස භාවිත වීම ද සරච්චන්ද්‍රයන්ගේ උපහාසයට බඳුන් විය. මේ බව එතුමාගේ ඇතැම් ලිපිවල ද සඳහන් වේ. මේ සඳහා නිසි වචනයක් නොමැති නම් “රේඩියෝව” ලෙස භාවිත කිරීමේ වරදක් නොපෙනෙන බව සරච්චන්ද්‍රයන්ගේ මතය විය. මේ අනුව “පිං ඇති සරසවි වරමක් දෙන්නේ” කෘතියේ ද එතුමා පරිච්ඡේදයක් සඳහා යොදා ඇත්තේ “රේඩියෝ වැඩ” යන්නයි.
ගුවන්විදුලිය සැබෑ රසෝද්පාදන මාධ්‍යයක් බවට පත්කරලීම සඳහා සරච්චන්ද්‍රයන් දැක්වූ දායකත්වය ප්‍රශංසනීය වේ. ඒ අනුව “රඟ සොබා” නමින් රසෝත්පාදන මෙන්ම ශාස්ත්‍රීය අංගයක් ද ආරම්භ කෙරිණි. ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිෂ්පාදකවරයෙකු වූ එච්.එම්. ගුණසේකර මහතා එම වැඩසටහන සම්පාදනයේදී ගුරුතන්හි තබා ගෙන කටයුතු කළේ සරච්චන්ද්‍රයන්ය.
සතියකට විනාඩි 15 ක කාලයක් ප්‍රචාරය වූ “රග සොබා” වැඩසටහන “තරංගණී” ගුවන්විදුලි සඟරාවේ ඇතුළත් විය. “විශ්ව සාහිත්‍යයෙන්” යන වැඩසටහනට පෙර අපර දෙදිග සම්භාව්‍ය කලා නිර්මාපකයින් පිළිබඳ සහ ඔවුන්ගේ කලා පිළිබඳ කෘති ඇතුළත් වූ අතර “යෞවන සමාජය” හා අතිශයින් ජනප්‍රිය වූ “කල්පනා” වැඩසටහන සරච්චන්ද්‍රයන් විසින්ම මෙහෙයවන ලදි. 1970 දශකයේදී ද “කල්පනා” වැඩසටහන අඛණ්ඩව ප්‍රචාරය කෙරිණි. මේ අනුව මෙරට බහුතර සිංහල ප්‍රජාවට ආමන්ත්‍රණය කරන සංස්කෘතික ධාරාවේ ගුවන්විදුලි වැඩසටහන් මාලාවක ආරම්භය සිදුවන්නේ සරච්චන්ද්‍රයන් ගුවන්විදුලිය පෝෂණය කිරීමේ කාර්යයට සම්බන්ධ වීමත් සමඟය. 1950 වසරේ අගෝස්තු මාසයේ ආරම්භ වූ “යෞවන සමාජය” වැඩසටහන සිංහල භාෂීය ගුවන්විදුලි නාට්‍යයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ ප්‍රයත්නයක් ලෙස පෙන්වා දිය හැකි අතර එය කුසලතා පිරි යෞවනයන්ට සිය නිර්මාණ එළිදැක්වීමට අවස්ථාව ලබාදුන් වේදිකාවක් ද විය.
මහාචාර්ය සරච්චන්ද්‍රයන් වරක් සිය “කල්පනා” වැඩසටහනට ආරාධිතයා ලෙස කැඳවන ලද්දේ ලේඛක සයිමන් නවගත්තේගමයන්ය. නවගත්තේගමයන්ගේ අලුත්ම නවකතාව සම්බන්ධයෙන් එම වැඩසටහනේදී සාකච්ඡාවට බඳුන් විය. වැඩසටහන ආරම්භයේ දී සරච්චන්ද්‍රයන් විසින් නවගත්තේගමයන්ව හඳුන්වන ලද්දේ මෙලෙසිනි.
“අද අපේ සාකච්ඡාවට ආරාධිතයා වශයෙන් පැමිණ සිටින්නේ සයිමන් නවගත්තේගමයි. වාසනාවකට ඔහුගේ කෘතියකට ගිය අවුරුද්දේ සාහිත්‍ය තෑග්ග ලැබුණේ නෑ. ඒ හින්දම ඔහු හොඳ පොතක් අලුතින් ලියලා තියෙනවා. අද අපි සාකච්ඡා කරන්නේ එම පොත ගැනයි.”
සරච්චන්ද්‍රයන් තුළ නිසර්ගයෙන්ම පැවති සදය උපහාසය එතුමා සිය ගුවන්විදුලි පූරක භූමිකාවේදී ද යොදාගනු ලැබුවේ ඉහත පරිදිය. සරච්චන්ද්‍රයන්ගේ සුවිශේෂී චරිත ලක්ෂණයක් ලෙස හඳුනාගත හැකි මෙසේ උපහාසය පළකිරීමේ ලක්ෂණය ගුවන්විදුලි වැඩසටහන් තුළින්ද නොමඳව ප්‍රකට වූ බව මෙවැනි නිදසුන්වලින් පෙනීයයි.
මේ අනුව සැලකීමේදී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ගුවන්විදුලි සම්ප්‍රදාන භූමිකාව පැතිකඩ ගණනාවක් ඔස්සේ පැතිරී පවතී. විශේෂයෙන්ම දේශීය සංස්කෘතිය පෝෂණය කිරීමෙහිලා ගුවන්විදුලිය ඔස්සේ එතුමා වෙතින් සිදුවූ සේවය අපමණය. එය ගුවන්විදුලියේ ගමන්මග දේශීය ආකෘතියක් ඔස්සේ හැඩගැස්වීමට සුවිශේෂී දායකත්වයක් සැපයූ බව අවසාන වශයෙන් සඳහන් කළ යුතුය.
ආශ්‍රිත මූලාශ්‍ර
ගලහිටියාව, පී.බී. (2019). මහාචාර්ය සරච්චන්ද්‍ර සමග දශක හතරක්. කොළඹ: නිර්මල ප්‍රකාශන.
බණ්ඩාර, ටී.කේ. (2022.01.11). සාහිත්‍ය තෝතැන්න බිහිවුණේ මෙහෙමයි. ඉරිදා ලංකාදීප.
සමරසිංහ, එස්. (2020.03.17). “අද තරුණයා ගුවන්විදුලි නාට්‍ය අහලා නෑ” – වජිර ඉන්දික කරුණාසේන. දිනමිණ.
මෙම ලිපිය ද ඇතුළත් “රෙදෙව්සරෙහි සරාසඳ” ශාස්ත්‍රීය සංග්‍රහය පහතින් කියවන්න.
507 total views, 1 views today