0

වික්ටර් අයිවන් මහතා තුළ වූ පර්⁣යේෂණ පිළිබඳ අදහස් ගැන මාගේ මතකය

වෘත්තිමය ජනමාධ්‍යවේදියෙකු ලෙස වික්ටර් අයිවන් මහතා යටතේ සේවය කිරීමට මා හට අවස්ථාව නොලැබුණ ද එතුමාගේ අභාවයත් සමග හුවමාරු වන සටහන් අතරට එතුමා පිළිබඳ මෙම සටහන ද එකතු කිරීම සුදුසු බව සිතුවෙමි. විශේෂයෙන්ම එතුමාගේ විකල්ප මාධ්‍යකරණය පිළිබඳ මේ දිනවල බොහෝ සටහන් පළවුව ද විශ්වවිද්‍යාල පර්යේෂණ පිළිබඳව එතුමා තුළ වූ සවිඥානික බව පිළිබඳ මෙම සටහන එතුමා පිළිබඳ නව කියවීමකට ඔබව යොමුකරනු ඇතැයි සිතමි.

මාගේ විශ්වවිද්‍යාල ජීවිතයේ දී එතුමා සමග ගනුදෙනු කිරීමට මා හට ඉතා දුලබ අවස්ථාවක් හිමිවුණි. පුවත්පත් කලාවේ දැවැන්ත ප්‍රතිරූපයක් හිමි පුද්ගලයෙකු ලෙස එතුමා පිළිබඳ අසා, කියවා තිබූ බොහෝ දෑ හේතුවෙන් මා හට ලැබුණු එම අවස්ථාව ඉතා වටිනා අවස්ථාවක් ලෙස මම සලකමි.

විශ්වවිද්‍යාලයේ මුද්‍රිත මාධ්‍ය විශේෂවේදී උපාධියේ අවසන් අවසන් වසර නිෂ්පාදනය ලෙස “සමකාලීන මාධ්‍ය පර්යේෂණ ප්‍රවණතා” නමින් කෘතියක් අපි ප්‍රකාශයට පත්කළෙමු. එය එළිදැක්වීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස වික්ටර් අයිවන් මහතාට ආරාධනා කිරීමට යෝජනා වූ අතර, එතුමාව සම්බන්ධීකරණය කරමින් එම කාර්යය සිදුකිරීම මට භාර විය.

ඒ අනුව එතුමා සමග දුරකථනයෙන් සාකච්ඡා කර කෘතියේ පිටපතක් එතුමාගේ නිවසට කුරියර් මගින් ලැබීමට සැලැස්වූ අතර, ඉන්පසු අවස්ථා කිහිපයකදී කෘතිය සහ උත්සවය පිළිබඳ මම එතුමා සමග සාකච්ඡා කළෙමි.

එහිදී එතුමා පළකළ අදහස වූයේ මෙම කෘතිය “සමකාලීන මාධ්‍ය පර්යේෂණ ප්‍රවණතා” ලෙස නම්කර තිබූ බැවින් එහි ඇතුළත් කර තිබූ ලිපි තවදුරටත් පර්යේෂණාත්මකව සංවර්ධනය කිරීමට කටයුතු කළ යුතුව තිබූ බවයි. එම කරුණ මා පිළිගත් අතර සාම්ප්‍රදායික පොත් එළිදැක්වීමේ උත්සවවල ආරාධිතයින් සිදු නොකරන අන්දමේ විග්‍රහයක් කෘතිය එළිදැක්වීමට පෙර එතුමා විසින් එසේ සිදුකරනු ලැබීම මීට පෙර මා අත්නොවිඳි අත්දැකීමක් විය. එසේම කෘතිවලට නම් යෙදීමේදී නම්වල අර්ථයට අනුකූල වන ලෙස අන්තර්ගතය පිළිබඳ ප්‍රමුඛ අවධානයක් යොමුකිරීමේ අත්‍යවශ්‍යතාව එතුමාගේ ප්‍රකාශය තුළින් අවධාරණය කෙරිණි.

විශේෂයෙන්ම විශ්වවිද්‍යාල විද්‍යාර්ථින් විසින් ප්‍රකාශයට පත්කරන ලද කෘති මනා පර්යේෂණාත්මක විභවයක් මත පිහිටා දැඩි ශාස්ත්‍රීය ශික්ෂණයකට හා ප්‍රමිතියකට යටත්ව ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් එතුමා තුළ පැවති සවිඥානික බව පිළිබඳ මෙම අත්දැකීම සුවිශේෂී අවස්ථාවක් ලෙස මාගේ මතකයේ සටහන්ව ඇත.

 183 total views,  5 views today

Comments

comments