0

“සමාජ මාධ්‍ය සංස්කෘතිය” හෙවත් තොරතුරු යුගයට සංකල්පීය ප්‍රවේශයක්

අද අප ගත කරමින් සිටින්නේ තොරතුරු යුගයේ තෘතීයික අවධියයි. එනම් සියලු ජනමාධ්‍යයන් ඒකරාශීකරණය වී අපව හසුරවමින් ඉන්නා යුගය තුළයි. මෙම යුගය තවමත් කිසිදු විෂය පථයක් ඔස්සේ ගැඹුරු න්‍යායාත්මක ප‍්‍රවේශයකට ලක් නොවී ඇති ක්ෂේත‍්‍රයකි. නොඑසේනම් මානව දැනුම් පද්ධතිය තුළ තොරතුරු යුගය මෙතෙක් ස්ථාවරව ස්ථානගත වී නැත. එනිසා මෙය තවම ළදරු අවධියේ පවතින සංකල්පීය භාවිතයකි.

එබැවින් මෙම තොරතුරු යුගය සංකල්පීකරණයට ලක් කිරීමත් එම යුගයට සමාන්තරව ලෝකය තුළ නිර්මාණය වූ හා වර්ධනය වූ සංස්කෘතික ගතිකයන් සංකල්ප ගත කිරීමත් එක් අතකින් කාලීන අවශ්‍යතාවකි. මන්ද යත් ව්‍යුහාත්මකව සලකන කල පශ්චාත් නූතන සමාජ සන්දර්භය තුළ මානව ජීවිත දරා ගෙන සිටින්නේ මෙම සංස්කෘතික ගතිකයන් විසින් වන බැවිනි. එනිසා මෙම ග‍්‍රන්ථය තුළ ගොඩනඟා ඇති නව න්‍යායාත්මක සංකල්ප තොරතුරු යුගය හා සමකාලීන අන්තර්ජාල සමාජ ජාලකරණය ඔස්සේ බිහි වූ නව සංස්කෘතික පැතිකඩයන් ව්‍යුත්පන්න කරමින් ඒවා න්‍යායාත්මකව සමාජගත කිරීමට දැරූ උත්සාහයක් ලෙස පෙන්වා දිය හැකිය.

විශේෂයෙන්ම සමකාලීන ගෝලීය සංස්කෘතිය තුළ බිහි වූ නව ප‍්‍රවණතා ගණනාවක් පිළිබඳව මෙම කෘතිය තුළ දී සාකච්ඡාවට බඳුන් කර තිබේ. සයිබර් භාෂාව, සයිබර් සාහිත්‍යය, සයිබර් ලිංගික සංස්කෘතිය, සයිබර් විප්ලව මෙන්ම සයිබර් අපරාධවලට අදාළ දේශීය නීතිමය යාන්ත‍්‍රණය ද අධ්‍යයනයට ලක් කර ඒවා පිළිබඳව නව න්‍යායන් හඳුන්වා දෙමින් ඒවාට අදාළව බහු විෂයාත්මක ප‍්‍රවේශයක් ගොඩනැඟීමට මෙම කෘතිය තුළින් උත්සාහ දරා ඇති බව කිව යුතුය. එසේම ජනමාධ්‍යවේදයේ ප‍්‍රායෝගික භාවිතයන් තුළ අද්‍යතනයේ ප‍්‍රමුඛත්වය හිමි වන සයිබර් ජනමාධ්‍යවේදය (Cyber Journalism) නම් නව ජනමාධ්‍ය භාවිතය සංකල්පගත කිරීමට මෙම බහු විෂයාත්මක ප‍්‍රවේශය උපයෝගී කර ගත හැකිය.

තව ද තොරතුරු යුගය පිළිබඳව මාක්ස්වාදී දෘෂ්ටි කෝණයෙන් ඉදිරිපත් කළ විග‍්‍රහයක් ද මෙම ග‍්‍රන්ථය තුළ අන්තර්ගත වේ. එහි දී සංකල්පීයව මාක්ස්වාදයේ න්‍යායන් භාවිත කරමින් තොරතුරු යුගයේ ඇරඹීම, වර්ධනය හා විකාශනය විස්තරාත්මකව දක්වා තිබේ. එමෙන්ම මාක්ස්වාදය තුළ ප‍්‍රමුඛ අවධානයක් යොමු කරන පරාරෝපණ සංකල්පයේ දිගුවක් වශයෙන් තොරතුරු කෙරෙහි වන පරාරෝපණය හෙවත් විඥාපන පරාරෝපණය (Information Alienation) ලෙස නව න්‍යායාත්මක සංකල්පයක් හඳුන්වා දීමට ද මෙම ග‍්‍රන්ථය ඔස්සේ උත්සාහ දරා ඇත.

මානව සමාජ ජාලකරණයේ (Human Social Networking) සිට නූතන භෞතික වස්තු සමාජ ජාලකරණය (Physical Objects Social Networking) තෙක් සමාජ ජාලකරණය පිළිබඳව පුළුල් විග‍්‍රහයක් ද මෙම ග‍්‍රන්ථයේ ඇතුළත් වේ. එහි දී මානව සමාජය ආරම්භයේ සිටම සමාජ ජාලවල විකාශනය විවිධ යුගවල බිහි වූ සන්නිවේදන භාවිතයන් සමඟ සමපාත වෙමින් අන්තර්ජාල සමාජ ජාලකරණය තෙක් පැමිණි ගමන් මඟ හා ඉන් ඔබ්බට අනාගතයේ එකී භාවිතයන්ගේ වර්ධනය පිළිබඳව මෙතෙක් සිංහල භාෂාවෙන් රචිත කෘතියක අන්තර්ගත නොවූ කරුණු ද ඇතුළත් කිරීමට මෙහි කතුවරයා කටයුතු කර ඇත. එම කරුණු අතර ව්‍යාපාර බුද්ධි ප‍්‍රවේශය හෙවත් Business Intelligence (BI)  හා සියලු දෙය ජාලගත කිරීමේ ප‍්‍රවේශය හෙවත් Internet of Things (IoT) ඉතා වැදගත් වේ.

ඒ අනුව සමස්තයක් ලෙස අන්තර්ජාලය පදනම් කර ගත් නව භාවිතයන් විධිමත් ලෙස සමාජගත කිරීමට අවශ්‍ය න්‍යායික සිද්ධාන්ත සහිත ග‍්‍රන්ථයක් වශයෙන් මෙම “සමාජ මාධ්‍ය සංස්කෘතිය” කෘතිය පෙන්වා දිය හැකිය. වසර දහයක් පුරා අන්තර්ජාලය සහ පරිගණක ක්ෂේත‍්‍රය තුළ කතුවරයා ලද අත්දැකීම් ඔහු විසින් සරසවියේ දී අධ්‍යයනය කරනු ලැබූ ජනමාධ්‍යවේදයේ සංකල්ප සමඟ මුසු කරමින් රචිත මෙම “සමාජ මාධ්‍ය සංස්කෘතිය” කෘතිය ජනමාධ්‍යවේදය පිළිබඳව උසස් අධ්‍යාපනය ලබන සරසවි විද්‍යාර්ථයින්ට, උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට මෙන්ම සෙසු පාඨකයින්ට ද  සිය දැනුම වර්ධනය කර ගත හැකි කෘතියක් ලෙස වැදගත් වන්නේ එහෙයිනි.

මෙම කෘතිය තැපැල් ගාස්තුවකින් තොරව මිල පමණක් ගෙවා ගෙන්වා ගැනීම පිළිබඳ විස්තර මෙතැනින් »

my_book_cover

කොළඹ විශ්වවිද්‍යාලයීය ශ‍්‍රී පාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යයනාංශයේ විද්‍යාර්ථියෙකු වන මා විසින් රචිත “සමාජ මාධ්‍ය සංස්කෘතිය” කෘතිය එළිදැක්වීම 2016 සැප්තැම්බර් මස 13 වන දින ශ‍්‍රී පාලි මණ්ඩපයේ අරුන්දතී ශාලාවේ දී පැවැත්වුණි. ඉහත සටහන එම කෘතිය පිළිබඳ තබන ලද්දකි.

invitation_fb

 

 7,733 total views,  1 views today

Comments

comments