මේ කියන්නට යන කතාව සිදුවූයේ අදින් වසර හයකට පමණ පෙරදීය. හරියටම කියන්නේ නම් මේ දෙදහස් එකොළහ වර්ෂයේ දී සිදුවූ සිදුවීම් මාලාවකි. එම සිදුවීම් මාලාවේ කතා නායකයා ඔහුය. මේ ඔහු පිළිබඳ කතාව හෙවත් මගේ ලෝකයේ දුයිෂෙන් පිළිබඳ කතාවය.
මා ඔහුගේ පන්තියට ගොඩවදින්නේ අහම්බයෙනි. දිනය හරියටම මතකයේ නැතත් එය සරසවි පිවිසුම් පරීක්ෂණයට වසර එක හමාරකට පමණ පෙර මැයි මාසයේ එක්තරා ශනිදාවක සන්ධ්‍යාවක් බව මාගේ මතකයේ තිබේ. මා පන්තියට ගොඩවදින විටත් ඔහු එදිනට නියමිත පාඩම ඉතා සිත්ගන්නා සුළු අන්දමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පැහැදිලි කරමින් සිටියේය. ඔහුගේ එම පැහැදිලි කිරීමට බාධා නොවන අන්දමින් මම පසුපස බංකුවක වාඩි වී ඔහුගේ පාඩම ග්‍රහණය කර ගැනීමට උත්සාහ දැරුවෙමි.
එය ලංකාවේ භූගෝලීය පිහිටීම පිළිබඳ අපූරු පැහැදිලි කිරීමකි. එම පැහැදිලි කිරීම අතරතුර ඔහු රසවත් ඉතිහාස කතා ද ඉදිරිපත් කළේය. විදේශීය ආක්‍රමණ මෙරටට එල්ල වූ ආකාරය, ඒවා සඳහා මෙරටේ පිහිටීම බලපෑ ආකාරය ඔහු විස්තර කළේ ඒවා සියැසින් දුටුවෙකු විලසිනි. පෙනුමෙන් ඔහුගේ සිරුර කෙසඟ නැතත් බොහෝ දුක් විඳි බවක් එහි පෙන්නුම් කළේය. රළු බවක් පළකළ ඔහුගේ හඩට අපිළිවෙලට වැවුණු රැවුල විසින් ගෙන ආවේ ගාම්භීර බවකි. උකුස්සෙකුගේ වන් තියුණු බැල්ම ඔහු උගන්වන දෙය මනස පතුලේම තැන්පත් කරවීමට සමත් වන බව පෙනුණි.
ඒ මගේ ලෝකයේ දුයිෂෙන් මට හමුවූ මුල්ම දිනය පිළිබඳ මාගේ මතකයේ තැන්පත් වී තිබූ මතක සටහනය. එම හමුවීමෙන් පසු ගතවූ දිනෙන් දින වසර එක හමාරක් මුළුල්ලේ මුළු ජීවිත කාලය පුරාම ඔහු පිළිබඳ ගැඹුරු ආවර්ජනයකට එළඹීමට අවැසි සිහිවටන මාගේ සිත තුළ තැන්පත් කිරීමට එම මුණගැසීම සමත් වූ බව පැවසිය හැකිය.
එසේ එක් අහම්බයකින් මා ඔහුගේ පන්තිය කරා යන්නේ සරසවි පිවිසුම් පරීක්ෂණයේ තවත් එක් විෂයක් ඉහළ සාමාර්ථයක් සහිතව සමත් වීමේ අරමුණ ඇතුවය. එහෙත් එම විෂය ඉතිහාස විෂය විය යුතු යැයි මම එම අහඹු සිදුවීමට මොහොතකට පෙර හෝ අපේක්ෂා නොකළෙමි. එසේ වුවද අහම්බෙන් මා ගොඩවැදුණු එම දුයිෂෙන්ගේ පන්තියේ දී මා ඉතිහාස විෂයට ඇලුම් කරන්නට පටන් ගන්නේ ඉතිහාසය ඉගැන්වීමට ඔහු සතුවූ අසහාය දක්ෂතාව නිසාම යැයි මම සිතමි. එනිසා ඔහු පෙන්වූ ඉතිහාසයේ මාවත් ඔස්සේ ගොස් තවත් බොහෝ දේ ඉගෙන ගැනීමට මට හැකිවිය.
ඉතිහාස පාඩම් ඔහු ඉගැන්වූයේ එම සිදුවීම් සිදුවීමෙන් වසර දහස් ගණනක් ගතවූ පසුව වුවත් ඔහුගේ ඉගැන්වීමේ දක්ෂතාව නිසා එම සිදුවීම් තුළ අපූරු සජීවී ගුණයක් දක්නට ලැබුණි. එනිසා ඒවා හුදු කතන්දර මෙන් නොව චිත්‍රපටවල එන ජවනිකා මෙන් අපගේ මනස තුළ තැන්පත් විය.
එම ඉතිහාස කතා තුළ විටෙක ඔහු චෝළ රජුගේ සේනාවේ සෙන්පතියෙකි. තවත් විටෙක ලංකා රාජ්‍යයේ ශූර නරපතියෙකි. එසේත් නැතිනම් ඉතිහාසයේ කොහේවත් සඳහනක් නොමැති සාමාන්‍ය මිනිසෙකි. මේ කවර පුද්ගලයෙකු වුවත් ඉතිහාසයේ වැදගත් වූ සෑම සිදුවීමකම චරිතයක් මෙන් ඔහු ඉතිහාස සිදුවීම් විස්තර කරමින් අපවද එම ඉතිහාසයේ ජීවමාන සාක්ෂිකරුවන් බවට පත් කළේය. එනිසා ඔහුගේ ඉතිහාස පාඩම් අපගේ මතකයේ රැඳුණේ ඒවා කටපාඩම් කළ නිසා නොව ඉතිහාසයේ එම සිදුවීම්වල අප ද කොටස්කරුවන් වූ බැවිනි.
මෙසේ ඔහුගේ ඉතිහාස චාරිකාවේ අතරමගදී එකතු වී චාරිකාවේ අවසානය වන තෙක්ම කුතුහලයෙන් හා ආශාවෙන් මම ඉතිහාසය හැදෑරුවෙමි. ඔහු වෙතින් මා ඉතිහාසයට මහත් ඇල්මක් දක්වන්නෙකු බවට පත්වූ නිසා වසර එක හමාර අවසාන වන තෙක්ම කාලය ගතවූ බවක් නොදැනුණි. එහෙත් නොදැනීම ඔහුගේ පන්තියට යා යුතු වූ අවසාන දිනය ද එළඹියේය.
ඒ දවස ද මට අද මෙන් මතකය. ඔහුගෙන් සමුගැනීමට අපි කුඩා සාදයක් පැවැත්වූයෙමු. සාදය අවසානයේ සිසු සිසුවියන් වෙනුවෙන් මා කතාවක් පැවැත්වූ අතර ගීත කිහිපයක් ද අපි සැවොම එක්වී ගායනා කළෙමු. ඔහුගේ කතාව අපට වේදනාකාරී විය. එසේම කතාවෙන් අනතුරුව ඔහු ගායනා කළ ගීතය ද සිත බොහෝ දුරකට රැගෙන ගිය ගීතයක් විය. ඔහු එදා ගායනා කළ එම ගීතය පසුව මාගේ දෙතොල් අතර නිතර රැව්දුන් ගීතයක් බවට පත් විය. අවසානයේ සමරු තිළිණයක් ද ඔහුට ලබා දී දෙපා නැමැද අපි ඔහුගෙන් සමුගත්තෙමු.
ඉන් දින කිහිපයකට පසු සරසවි පිවිසුම් පරීක්ෂණය පැවැත්වුණේය. එයට සාර්ථකව මුහුණ දීමට හැකිවුණේ ඉතිහාස දැනුම කටපාඩමින් නොව අත්දැකීම් ලෙස මාගේ මනසේ තැන්පත්ව තිබූ බැවිනි. පරීක්ෂණයෙන් මාස දෙක තුනකට පසුව ප්‍රතිඵල නිකුත් වූ අතර ඒ අනුව මා සරසවි වරම් ලබා තිබුණි.
මෙම ප්‍රතිඵල ආ දිනයේම මම ඔහු හමුවීමට ගොස් ඒ පිළිබඳ දන්වා සිටියෙමි. ඔහු මහත් සේ සතුටට පත්විය. ඉන්පසු වරක් හෝ දෙවරක් මා ඔහු හමුවීමට ගිය නමුත් මා සරසවි පැමිණීමෙන් පසු නැවත ඔහුව හමුවීමට හැකි මාර්ගයක් නොතිබුණු බැවින් මාගේ ජීවිතයෙන් ඔහුගේ ඇසුර දුරස් විය.
මගේ ලෝකයේ දුයිෂෙන්ගේ අතීත කතාව නිමා වන්නේ එසේය. එහෙත් ඉන් වසර හයකට පසුව මට නැවත ඔහු හමුවීමට හැකිවේ.
වසර හයකට පෙර ඔහුගේ පන්තියේ දී මට හමුවූ මිතුරෙකු නැවත අහම්බෙන් මා හට හමුවීමෙන් පසු මම එම මිතුරා සමඟ ඔහුගේ නිවස සොයාගෙන ගියෙමි. ඒ අදින් දින දෙකකට පෙරය. වසර හයකට පෙර අවසානයට හමුවූ ඔහු නැවත හමුවීමට එහිදී මට හැකිවිය. ආ ගිය තොරතුරු කතා කිරීමෙන් පසු කුඩා මදුවිත සාදයක් ද පැවැත්වුණි. මාගේ ජීවිතයේ පළමු වතාවට ගුරුවරයෙකු සමඟ මධුවිත උගුරක් මා තොලගෑවේ එහිදීය.
මධුවිතෙන් සප්පායම් වන අතරතුරේදීත් ඔහු කතා කළේ ඉතිහාසය හා දර්ශනය ගැනය. ඇතැම් විට චිත්‍ර කලාව ගැනද ඔහු කතා කළේය. එසේම සරසවියේ රස කතා ඔහු අප සමඟ පැවසුවේ සැවොම සිනහා සයුරේ ගිල්ලවමිනි. සාදය අවසානයේ අපි ගීත ගැයුවෙමු. ඔහුද ගීයක් ගායනා කළේය. එය වසර හයකට පෙර පන්තියේ අවසාන දිනයේ දී ඔහු ගායනා කළ ගීතයම විය. සරසවියේ සිසු සිසුවියන් සිය ප්‍රාණ වායුවට මෙන් එම ගීතයට පෙම් බඳින බව ඔහු පැවසුවේය. අවසානයේ අපිද එම ගීතයේ හවුල් කරුවන් වූයෙමු. එම ගීතයෙන් පසුව මා ඔහුගෙන් සමුගෙන පැමිණියත් එම ගීතයේ කොහේ හෝ තැනක ඔහු පිළිබඳ ලියවී ඇතැයි මට සිතුණි.
බ්ලොග් වසන්තය 2017 ඡන්ද විමසුම සඳහා iranga.net/vote සබැඳියෙන් මගේ මෙම ලිපියට ඔබේ මනාපය පළ කරන්න.
1,789 total views, 1 views today
එහෙම ගුරුතුමන් ලත් ඉන්නවා.