මෙම සටහන තැබීම සඳහා හේතු කිහිපයක් බලපෑ බව මුලින්ම කිව යුතුය. ඉන් පළමුවැනි හේතුව වන්නේ ඉකුත් සතියේ දී ජවිපෙ නායක අනුර කුමාර දිසානායකගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍ය උත්සවය නිසා රෙදි ගැලවුණු අනුර කුමාර ඇතුළු ජවිපෙ දේශපාලන නිරුවතය. එසේම දෙවැනි හේතුව වන්නේ මේ දිනවල එක්තරා සති අන්ත පුවත්පතක පළවන දේශපාලන අතකොළුවක් බවට පත්ව ඝාතනයට ලක්වූ පද්මසිරි ත්‍රිමාවිතාන පිළිබඳ ඔහුගේ මව විසින් ප්‍රකාශ කරනු ලැබූ අදහස් සහිත ලිපි පෙළයි. එමෙන්ම මෙම ලිපිය ලිවීම සඳහා බලපාන ලද තුන්වන හේතුව වන්නේ එළඹෙන ජූනි 20 වන දින රජරට විශ්වවිද්‍යාලයේ දී පැවැත්වීමට නියමිත සිසු විරු සැමරුම නැමති සැමරුම් උළෙලයි.
මෙම හේතු තුන පිළිබඳව සැලකීමේ දී ඒවා එකිනෙකට සම්බන්ධය. එනම් රාජ්‍ය සරසවි අධ්‍යාපනය සඳහා පිවිසෙන සිසුන් සිය දේශපාලන අරමුණු සඳහා භාවිත කරමින් එම සිසුන්ගේ අනාගතය පමණක් නොව ඔවුන්ගේ අහිංසක දෙමව්පියන්ගේ දහසක් බලාපොරොත්තු ද විනාශ කිරීම සඳහා ක්‍රියාත්මක වන ජවිපෙ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂවල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අදහසක් පළකිරීම ඝාතනය වූ ත්‍රිමාවිතාන වැනි පුද්ගලයින් බිහිකිරීමේ පාපකර්මයට එරෙහිව නඟන හඬක් වන බැවින් ද ඒ සම්බන්ධයෙන් මෙසේ සටහනක් තබමි.
උසස් පෙළ විභාගය සමත් වී ඉතා අසීරුවෙන් සරසවි වරම් ලබා ගැනීම යනු එක්තරා අතකින් ජීවිතයේ සියලුම ප්‍රශ්න වලට විසඳුමක් සොයා ගැනීමකි. සෑම දෙමව්පියෙක්ම තම දරුවා සරසවි අධ්‍යාපනය සඳහා යොමු කිරීම සඳහා පාසල් අධ්‍යාපනයට දරුවා පිවිසුණු දින සිටම සිදු කරන්නේ සුවිශාල කැපකිරීමකි. මෙරටේ වත්මන් අධ්‍යාපන රටාව තුළ පාසල් අධ්‍යාපනයට අමතරව අමතර පන්ති සඳහා සිසුන් යොමු කිරීම ද අනිවාර්ය අංගයක් බවට පත්වී ඇති බැවින් කොපමණ මුදලක් වැය වුවද එම වියදම කෙසේ හෝ උපයාගෙන තම දරුවාට ලබා දිය හැකි උපරිම අධ්‍යාපනය ලබා දීමට සෑම දෙමව්පියෙක්ම වෙහෙසෙයි. එසේ දෙමව්පියන් දරුවන් වෙනුවෙන් සිදුකරන අසීමිත කැපකිරීම් සමූහයේ එක් තීරණාත්මක කඩයිමක් වන්නේ උසස් පෙළ විභාගය සඳහා දරුවා දැනුමෙන් සන්නද්ධ කිරීමය. ඒ සඳහා ද වියදම් වන කොපමණ මුදලක් වුවත් වියදමක් වශයෙන් නොසලකා දරුවාගේ අධ්‍යාපනය සඳහා වැය කිරීමට දෙමව්පියන් කටයුතු කරනු ලබයි. බොහෝ විට උසස්පෙළ විභාගයට මුහුණ දෙන පළමු වතාවේදීම සරසවි වරම් ලබා ගැනීමට නොහැකි වන බැවින් දෙවන වතාවේ දී නැතිනම් තෙවන වතාවේ දී හෝ ඒ සඳහා දරුවා යොමු කරවීමට දෙමව්පියන් තම සියලු ශක්තිය කැප කරයි.
එසේ ඉතා දුෂ්කරව ලබා ගන්නා සරසවි අධ්‍යාපනයට දරුවන් යොමු වූ පසු එම දරුවන්ගේ අනාගතය බිලිගැනීමට මාන බලමින් සිටින දේශපාලන සංස්කෘතියක් සහ ඔවුන්ගේ අතකොළු බවට පත්ව නවක සිසුන් එම දේශපාලන ව්‍යාපාර වලට යොමු කර ගන්නා සංවිධානාත්මක ව්‍යාපාරයක් සෑම රාජ්‍ය සරසවියකම පාහේ ක්‍රියාත්මක වේ. එහෙත් එම දේශපාලන ව්‍යාපාරය සිසුන් ඉදිරියේ පෙනී සිටින්නේ සිසුන්ගේ ගැලවුම්කරුවන් හෙවත් විමුක්තිදායකයින් වශයෙනි. එසේ පෙනී සිටිමින් ක්‍රම ක්‍රමයෙන් සිසුන්ගේ මානසිකත්වය මනෝමූලික සිහින රාජ්‍යයක් කෙරෙහි යොමු කරමින් පවත්නා සමාජ ක්‍රමයට එරෙහිව සටන් වැදීමේ යුක්ති සහගත බව සිසුන්ගේ මනස තුළ රෝපණය කරනු ලබයි.
දෙමව්පියන්ගේ තුරුලෙන් මිදී සරසවි අධ්‍යාපනයට පිවිසෙන සිසුන් මෙම තත්ත්වය අවබෝධ කර ගනු ලබන්නේ සැබෑ සරසවි සංස්කෘතිය වන්නේ මෙම දේශපාලන ව්‍යාපාර විසින් මවා පෙන්වන තත්ත්වය බවය. එම තත්ත්වය තුළ සමාජය දෙස වෛරයෙන් බැලීමට හුරුවෙමින් පවත්නා සමාජ ක්‍රමයට ගරහමින් ඔවුන්ගේ මනස තුළ රෝපණය කළ ධනවාදී සමාජ ක්‍රමය කෙරෙහි වන විරෝධය ඔස්සේ පවත්නා සමාජය ක්‍රමයට එරෙහිව කටයුතු කිරීම සඳහා ඔවුන්ව මෙහෙයවීම සිදුවේ. ඒ අනුව පෞද්ගලික විශ්වවිද්‍යාල සඳහා වන විරෝධය වැනි අර්ථ විරහිත සටන් ව්‍යාපාර බිහිවන්නේ දේශපාලන ව්‍යාපාර විසින් සිසුන්ගේ මනස තුළ ගොඩනඟන්නා වූ එවැනි ව්‍යාජ විරෝධාකල්ප මානසිකත්වය තුළය.
නවක සරසවි සිසුන් මෙසේ බංකොලොත් දේශපාලන ව්‍යාපාර වලට යොමු කර ගැනීමට ඔවුන් සඳහා ක්‍රියාත්මක කරනු ලබන නවක වධ ක්‍රියාවලිය තුළ ද සුවිශාල කාරය භාරයක් ඉටු කෙරේ. මන්ද යත් නවක වධ කාල සීමාව තුළ දී ස්වයං තීරණ ගැනීමේ අයිතිය නවක සිසුන්ට නොමැති බැවින් ජ්‍යෙෂ්ඨයින් විසින් සිය දේශපාලන මතය නවක සිසුන් මත පැටවීමට මෙම නවක වධ කාල සමය භාවිතයට ගනු ලබයි. එම කාලයේ දී සමාජ විරෝධීභාවය ඇතුළු සියලු විරෝධී ආකල්ප ඇති කිරීම සහ ඒවා නවක සිසුන් තුළ තහවුරු කිරීම සිදු කරනු ලබයි.
මෙම ක්‍රියාවලිය න්‍යායික ස්වරූපයෙන් මෙන්ම ප්‍රායෝගික ස්වරූපයෙන් ද ක්‍රියාත්මක වීම සිදුවේ. එනම් කාල් මාක්ස් ප්‍රම්‍රඛ දේශපාලන න්‍යායාචාර්යවරුන්ගේ අදහස් ඇතුළත් පොත් පත් ආදිය පරිශීලනය කිරීමට හුරු කරවන අතර උද්ඝෝෂණ ව්‍යාපාර ආදියට සහභාගි කරවා සමාජ විරෝධීභාවය සිසුන් තුළ ප්‍රායෝගිකව පුහුණු කිරීමත් සිදු කරනු ලබයි (ග්‍රන්ථ පරිශීලනය කිරීමට හුරුවීමේ කිසිදු වරදක් නොමැති අතර වරද ඇත්තේ ඒවායේ අන්තර්ගත වන කරුණු තාර්කිකවත් බුද්ධිමත්වත් යොදා ගැනීමට හැකිද යන්න සම්බන්ධයෙන් විග්‍රහයක් තමා තුළ ගොඩනඟා නොගැනීමයි.). ඒ ඔස්සේ ඉතා ආකර්ෂණීය සටන් ව්‍යාපාර හා දේශපාලන ව්‍යාපාර වශයෙන් දෘෂ්‍යමාන වන සිසුන්ගේ ජීවිත බිලිගන්නා මෙම ක්‍රියාවලියට බොහෝ සිසුන් සිය අනාගතය උකස් කර දමයි.
ජවිපෙ හෙවත් ජනතා විමුක්ති පෙරමුණ මෙසේ ඉතා අවාසනාවන්ත අන්දමින් සරසවි සිසුන්ගේ අනාගතය බිල්ලට ගන්නා දැවැන්තම බලවේගය වශයෙන් ඉතිහාසය පුරාම කටයුතු කර තිබේ. ඔවුන්ගේ එම ක්‍රියාවලියට නතුවී ඇතැම් සිසුන්ට මරණය උරුම කර ගැනීමටත් ඇතමුන්ට සිට අනාගතය අඳුරු කර ගැනීමටත් සිදුවී තිබේ. එය දැවැන්ත ඛේදවාචකයක් බවට පත්ව ඇත්තේ වාර්ෂිකව මෙම ක්‍රියාවලිය අඩු වැඩි වශයෙන් සරසවි තුළ ක්‍රියාත්මක වීමය. විශේෂයෙන්ම එම ක්‍රියාවලිය සිසුන් අතර වඩාත් තහවුරු කිරීම පිණිස එසේ දේශපාලන අතකොළු බවට පත්ව මරණයට පත්වූ සිසුන් සැමරීම සඳහා වාර්ෂිකව සිසු විරු සැමරුම නැමති සැමරුම් උළෙලක් පවත්වනු ලබයි. එය සිසුන් විසින් නිදහස් අධ්‍යාපනය සඳහා දිවි පිදූ සිය සහෝදර සිසුන් සැමරීමක් වශයෙන් උත්කර්ෂයට නැංවුව ද එය තුළින් සිදු කරනු ලබන්නේ ජවිපෙ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂවල පටු අරමුණු වෙනුවෙන් අනාගතය බිලි දෙන සිසු පරම්පරාවක් බිහිකිරීමේ ක්‍රියාවලියට සිසුන් නතු කර ගැනීමය. මම ද මාගේ සරසවි ජීවිතය තුළ දී මෙවැනි සැමරුම් දෙකකට සහභාගි වී තිබේ. ඉන් එක් සැමරුමක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දීත් අනෙක් සැමරුම රුහුණු විශ්වවිද්‍යාලයේ දීත් පැවැත්වුණි. ඒවා සංවිධානය කර ඇති ආකාරය අනුව ජවිපෙ හා පෙරටුගාමී සමාජවාදීන්ගේ දේශපාලන අරමුණු ඉතා ප්‍රබල අන්දමින් සිසුන් තුළ තහවුරු කරන අන්දම දැකිය හැකිය. ඒවා මෙරටේ තවත් අහිංසක දෙමව්පියන්ට සිය දරුවන් අහිමිකර ලීමේ දෘෂ්ටිවාදී ව්‍යාපෘති මිස සැබෑ විරු සැමරුම් නොවන බවත් මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය.
ඉකුත් සතියේ දී සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ නිරුවත් වූ ජවිපෙ නායක අනුර කුමාර දිසානායකගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කිරීම වැදගත් වන්නේ සිය පුත්‍රයාට අති සුඛෝපභෝගී ජීවිතයක් ලබා දීමට කටයුතු කර සමස්ත ජාතියක තරුණ පරපුරේ අනාගතය අඳුරු කිරීමට ඔහු සහ ඔහුගේ පක්ෂය ක්‍රියාකරමින් සහ එයින් පන්නරය ලැබූ පෙරටුගාමී සමාජවාදී පක්ෂ ක්‍රියාකාරීන් මෙන්ම ඔවුන්ගේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන වෙනත් සංවිධාන කටයුතු කරමින් සිටින බැවිනි. පන්ති පහ නැමැති ඔවුන්ගේ මොළ සේදීමේ ව්‍යාපාරය තුළින් තරුණයින්ට සිය ආගම ජාතිය පිළිබඳ අදහස් පමණක් නොව ඔවුන්ගේ දෙමව්පියන් පිළිබඳ හැඟීම් පවා අහිමි කිරීමට කටයුතු කොට අවසානයේ අඳුරු වූ අනාගතයක් ඔවුන්ට උරුම කර දේ. එහෙත් ජවිපෙ නායකයාගේ මෙම ක්‍රියාකලාපය සාධාරණය කරන ඇතමුන් පවසන්නේ ඔහු තමන්ගේ පුත්‍රයා සම්බන්ධයෙන් ඔහුගේ දේශපාලනය අදාළ කර නොගැනීම පියෙක් වශයෙන් ඔහු කටයුතු කිරීමේ දී සාධාරණ බවයි. එහෙත් ජවිපෙ නිරත වෙමින් සිටින්නේ හෘදසාක්ෂිමය දේශපාලනයක වන බැවින් ඔවුන්ට මෙසේ දෙබිඩ්ඩන් වශයෙන් කටයුතු කිරීමට නොහැකිය. එහෙත් ඔවුන් එසේ කටයුතු කරන්නේ නම් එයින් හෙළි වන්නේ ඔවුන්ගේ ව්‍යාජ දේශපාලන දර්ශනයේ නිරුවත මිස අනෙකක් නොවේ.
වර්තමානයේ දී මෙරට විශ්වවිද්‍යාල තුළ සිසුන් අතර වැඩි බලයක් හිමිකර ගෙන සිටින්නේ ජවිපෙන් කැඩී වෙන්වී ගොස් පිහිටුවා ගනු ලැබූ පෙරටුගාමී සමාජවාදී පක්ෂය වන අතර ජවිපෙ විසින් සිදුකරමින් ආ මොළ සේදීමේ ක්‍රියාවලිය වර්තමානයේ ක්‍රියාත්මක වන්නේ මෙම පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ එහි පූර්ණ අනුග්‍රහයෙන් සරසවි සිසුන්ගේ විමුක්තිදායකයා වශයෙන් පෙනී සිටින අන්තරය හෙවත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසිනි. මන්ද යත් සරසවි සිසුන්ව මෙහෙයවමින් සිටි ජවිපෙ දේශපාලන අතකොළුව වූ අන්තරය, ජවිපෙන් කැඩී වෙන්වුණු පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමඟ එක් වූ බැවිනි. කෙසේ වුවත් ජවිපෙ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරකම් සහ වෙනත් කටයුතු ඔස්සේ ජවිපෙ තවදුරටත් තරුණයින් බිල්ලට ගැනීමේ ක්‍රියාවලිය නොකඩවා ක්‍රියාත්මක කරමින් සිටියි.
මෙම ලිපිය ලිවීම සඳහා මා පෙළඹ වූ හේතුවක් වශයෙන් මා සඳහන් කළ පද්මසිරි ත්‍රිමා විතාන නැමැති ඝාතනය වූ වෛද්‍ය සිසුවා පිළිබඳ පළවූ පුවත්පත් ලිපි තුළ ද මා විසින් ඉහතින් විස්තර කළ කරුණු සඳහා ඌණපූරක සපයන සාධක ගණනාවක් අන්තර්ගත වී ඇති බව පැවසිය හැකිය. එනම් ඔහුගේ මව විදේශ රටක හිඳ ගෘහ සේවයේ යෙදෙමින් ඔහුගේ සරසවි අධ්‍යාපනය සඳහා මුදල් එවූ ආකාරය ඇතුළු කරුණු ගණනාවක් ඔහුගේ මව විසින් ඉතා සංවේදීව ප්‍රකාශ කර තිබේ. එසේම ඇය විසින් අවධාරණය කර ඇති එක්තරා සුවිශේෂී ප්‍රකාශයක් සම්බන්ධයෙන් ද මෙහිදී සඳහන් කිරීම වැදගත්ය. එනම් “දේශපාලන අතකොළු බවට පත්වන සිසුන්ගේ වේදනාව අන්තිමට විඳින්නේ අම්මලා විතරයි” යැයි ඇය පවසා තිබේ. ඇගේ මෙම ප්‍රකාශය තුළ වචන ගණනාවකින් පැවසිය යුතු අදහස් රාශියක් ගැබ්වී තිබේ.
තවද ඇතැම් මාධ්‍ය මඟින් මෙවැනි දේශපාලන අතකොළු බවට පත්ව සිදුවන මරණයට පත්වීම් හා වෙනත් සිදුවීම් වලට වීරත්වයක් ආරෝපණය කරමින් ඒවා සම්බන්ධයෙන් සමාජ කතිකාවන් නිර්මාණය වන පරිදි කටයුතු කරනු ලබයි. මාගේ අදහස අනුව නම් ඒවා මාධ්‍ය මඟින් වාර්තා කිරීම වැදගත් වුවත් ඒවාට වීරත්වයක් ආරෝපණය කරමින් ඒවා ඉදිරිපත් කිරීම නොකළ යුතු වන බවය. මන්ද යත් එම මාධ්‍ය වාර්තා තුළින් තවත් කිසිවෙකු හෝ එවැනි අවාසනාවන්ත තත්ත්වයක් කරා යොමුවීමට පෙළඹීමක් ඇතිවේ නම් එය අතිශය අවාසනාවන්ත තත්ත්වයකි. එබැවින් එවැනි අවාසනාවන්ත සිදුවීම් ඉදිරියටත් සිදුවීම වැළැක්වීම සඳහා මැදිහත් වීම මාධ්‍ය වල කාර්යභාරය විය යුතු වන අතර එසේ නොකර එවැනි සිදුවීම් තුළින් වීරත්වය උත්කර්ෂයට නැංවීමට කටයුතු කිරීම තවත් එවැනි ඛේදවාචක ගණනාවක් ඇති වීම සඳහා මඟ පෑදීමක් බව සිහි තබා ගත යුතුය.
ඒ අනුව අවසාන වශයෙන් පැවසිය යුතු වන්නේ තරුණ පරපුර බිල්ලට ගනිමින් ඔවුන්ගේ අනාගතය අඳුරේ හෙළීමට කටයුතු කරන ජවිපෙ හා පෙරටුගාමී සමාජවාදීන්ගේ මෙම ක්‍රියාකලාපයට මුළු මහත් සමාජයේ දැඩි විරෝධය එල්ල විය යුතු බවය. විශේෂයෙන්ම සරසවි සිසුන්ගේ ප්‍රශ්න වලට මැදිහත් වන ආකාරය පෙන්වමින් සිසුන් සිය දේශපාලන අතකොළු බවට පත්කර ගෙන ඇතැම් සිසුන් පූර්ණකාලීනව සිය දේශපාලන අවශ්‍යතා සඳහා භාවිතා කිරීමට කටයුතු කරන මෙම පක්ෂ වලට එරෙහිව හඬනැගිය යුතුය. සමස්ත ජාතියක තරුණ පරපුරේ අනාගතය බිල්ලට දෙමින් තම පුත්‍රයින්ගේ අනාගතය සැපවත් ජීවිත බවට පත් කිරීම සඳහා මෙම පක්ෂ නායකයින් කටයුතු කරන අන්දම අනුර කුමාර දිසානායකගේ පුත්‍රයාගේ සිදුවීමෙන් ඉතා හොඳින්ම පැහැදිලි වන බැවින් තවදුරටත් ආකර්ෂණීය දේශනවලට රැවටීමෙන් තම ජීවිතය අඳුරු කර ගැනීම යුක්ති සහගතදැයි උගත් බුද්ධිමත් තරුණ පරපුර දෙවරක් නොව කිහිපවරක්ම සිතා බැලිය යුතුය. තම දෙමව්පියන්ට කඳුළු උරුමකර දෙමින් දේශපාලන අතකොළුවක් බවට පත්වී අකාලයේ මරණයට පත්වීම හෝ අනාගතය අඳුරු කර ගැනීමට කටයුතු කිරීම දෙමව්පියන්ගේ දහසක් බලාපොරොත්තු කඩ කිරීමක් පමණක් නොව රටට මෙන්ම සමාජයටත් ඉතා වටිනා පුරවැසියෙකුගෙන් ඉටු විය යුතු සේවය අහිමි වී යාමකි. එබැවින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය, ජනතා විමුක්ති පෙරමුණ හෝ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු කවර හෝ කණ්ඩායමක දේශපාලන අතකොළුවක් වීමට පෙර බුද්ධිමත්ව සිතා කටයුතු කිරීම වැදගත් වන අතර එසේ නොවී අවසානයේ දෙමව්පියන්ගේ නෙතඟට කඳුළක් එක් කිරීම කිසිසේත් නොකළ යුතු වන බව ද අවධාරණය කරමි.
ආශ්‍රිත ලිපි
කුහක සයිටම් විරෝධය හා නූතන ශයිලොක්ලාගේ දේශපාලන නාඩගම
මෙම ලිපිය පිළිබඳ ඔබගේ අදහස් පහතින් සටහන් කරන්න.
ඔබ මෙහි පළ කරන අදහස් මම ඉතා අගය කොට සලකමි.
මාගේ නවතම ලිපි පිළිබඳ දැන ගැනීමට මාගේ Facebook පිටුවට Like කරන්න. නැතහොත් ඔබගේ E-mail ලිපිනය Subscribe කරන්න.
1,709 total views, 1 views today