විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක්, කතුවරයෙක් මෙන්ම සුවිශේෂී පරිවර්තකයෙකු වූ පසන් කොඩිකාරයන් සදාතනික මතකයක් සහෘද සිත් තුළ රඳවා අපෙන් වියෝ වී මේ වන විට වසර එකහමාරක් ගත වී හමාරය. පසන් ‘සු’පසන් වන්නේ ද, සුවිශේෂී වන්නේ ද අන් කවරෙකුගෙන් හෝ ණයට ගත් ගති සිරිත් හෝ විලාශයන් ඔහුට නොමැති නිසාය. පසන් පසන් ම ය. පසන්ගේ සිනහාව ඇත්තේ පසන්ට ම ය. පසන්ගේ කතා බහ හෝ ජීවන රටාව ඇත්තේ ද පසන්ට ම ය. එය ඔහු තවෙකෙකුගෙන් අනුකරණය නොකළ නිසා ඔහුව අනුකරණය කිරීමට ද තවෙකෙකුට අපහසුය. වත්මන් ලංකාවේ එකම විදේශීය කෘතිය පරිවර්තකයන් කිහිප දෙනෙක් ම තරඟයට සිංහලයට නගද්දී ඔහු පමණක් අන් අය ඉවත දමන විශිෂ්ට කෘති සිංහලයට නැගීය. එය ඔහුගේ විනෝදාංශය ද විය. “මාස්ටර් සහ මාගරීටා” සිංහලයෙන් කියවූ පාඨකයන් ඔහුගේ රස හඳුනාගන්නට ඇත. පසන් සුවිශේෂී පරිවර්තකයෙකු වන්නේ එබැවිනි. පරිවර්තකයෙකු වීමට කිසියම් භාෂාවක් පිළිබඳ පරිණත දැනුමක් තිබිය යුතුය. ‘බස’ යනු ඥානය වඩවන මූලද්‍රව්‍යයි. එබැවින් පසන් අනෙක් බස දන්නා තරමට ම බුද්ධියෙන් ද පරිණතව සිටියේය. වත්මන් පරිභෝජනවාදී සමාජයේ දැනුම හුදෙක් පරිභෝජනය සඳහා ම පමණක් වන විට ද පසන්ට දැනුම කණවැල සැපයූවේ තව තවත් නිහතමානී වීමට ය. එබැවින් මියෙන තුරා පසන් පොළවේ පය ගසා ජීවත් විය. ඔහුගේ ඇමතුම සදා ආදරණීය විය. එම ආදරණීය ඇමතුම වියැකී ගිය ද කෙසේ නම් අමතක කරමුද?
පසන් දෙස බැලූ ඇතැමුන්ට පසන් බොහෝ සංකීර්ණ චරිතයක් විය. ඒ පසන්ගේ වරදක් නිසා නොව සරල බව තේරුම් ගැනීමට නොහැකි තරම් ඔවුන් සරල බවට ආගන්තුක නිසාය. පසන් අනෙකාට කතා කළේ තම නිර්මාණ හරහාය. ඔහු ලෝක සාහිත්‍ය තුළ තමන්ට රස වැටුණු කෘති සිංහල පාඨකයාට ද කියවීම පිණිස සිංහලයට නැගුවේ එම නිසාය. මක් නිසාද යත් බුද්ධිය යනු එක් බසකට සීමා නොවන දෙයක් නිසා මෙන්ම ඕනෑම මිනිසෙකුගේ හැඟීම් ක්ෂේත්රය පෝෂණය වන්නේ ඔහුගේ බුද්ධි මට්ටම අනුව නිසාය.
ඉතිං…. , පසන් ගැන ලියුමට, කියුමට හැකි නම් වැයුමට, ගැයුමට තහංචි කිම? ඔහු පිළිබඳ හද පිරි භක්ත්‍යාදරය එළි දැක්වීමට ශී‍්‍ර පාලී විද්‍යාර්ථීන් පියවර තැබුවේ එම නිසාය. “පසන් සුපසන් මිතුර ඇවිදින්…” පසන්ට පහසුවෙන් වියැකී යාමට ඉඩ නොදී හද තුළම, සවන් තුළම, දෑස් තුළම රඳවා තබා ගැනීමට කළ එම අව්‍යාජ උත්සාහයයි. කේ.කේ. සමන් කුමාර, ආචාර්ය ටියුඩර් වීරසිංහ, ප්‍රභාත් චාමින්ද, නදීක ගුරුගේ මහතුන්ගේ අදහස් දැක්වීමෙන් එළි දැක්වෙන “පසන් සුපසන් මිතුර ඇවිදින්…” දැකීමට පසන් කොඩිකාර නම් අද්විතීය මිනිසාට ආදරය කරන ඔබ සැමට 2016 සැප්තැම්බර් මස 09 වන සිකුරාදා දින සවස 6.30 ට කොළඹ විශ්වවිද්‍යාලයේ ශී‍්‍ර පාලී මණ්ඩපයේ අරුන්දතී ශාලාවේ එළිමහන් පරිශ්‍රයට ගෞරවයෙන් ආරාධනා කර සිටිමු. මේ හා සමගාමීව “Everything else” සහ “පියවි” කෙටි චිත්‍රපට ද්විත්වය ද තිරගත කෙරේ.
814 total views, 2 views today