අලුත් අවුරුද්දත් ඕං ලැබුවා එහෙනම් ඉතින්. හා හා පුරා කියලා අලුත් අවුරුද්ද ලැබුවට පස්සෙ ඉස්සිස්සෙල්ලාම ලියන බ්ලොග් පෝස්ටුව තමා ඕං මේක. අලුත් අවුරුද්ද නිසා අනිත් හැම රාජකාරියකටම නිවාඩු ලැබුණට බ්ලොග් අවකාශයේ අපේ බ්ලොග් ලියන මහත්තුරුන්ට නම් ඉතින් නිවාඩු නෑනෙ නොවෑ. මොකද බ්ලොග් ලියනවා කියන මේ දේවකාරිය වගේ රාජකාරියට ඇබ්බැහි වුණාම දවසකට දෙකකට සැරයක් බ්ලොග් පෝස්ටුවක් ලිව්වෙ නැත්තම් ඕං ඉතින් ඇඟට කිසි ෆිට් එකක් නෑ වගේ. නිකන් කෑවෙ බිව්වෙ නෑ වගේ දැනෙන්නෙ. ඒ හින්දම ඕං විවේකයක් ලැබෙන වෙලාවක් නැති නිසා විවේකයක් හොයාගෙනම අපේ උන්නැහේලා බ්ලොග් ලියනවා මේ මාත් ඇතුළුව. ඒක ඉතින් අවුරුද්දට හරි පෝයට හරි එහෙමත් නැත්තම් වෙන නිවාඩුවකට හරි කියලා නවත්තන රාජකාරියක් නෙවෙයිනෙ ඕං. ඒ හින්දම මොන නිවාඩුව ආවත් අපේ මේ බ්ලොග් ලියන ඇත්තන්ට නම් නිවාඩුවක් නෑ. ඕං ඒ හින්දා අද වගේ අවුරුදු දවසක වුණත් නෑදෑ ගෙවල් වල යන එන රාජකාරි කොච්චර තිබුණත් අවුරුද්ද ගැන ලියපු බ්ලොග් පෝස්ටු කිහිපක්ම බුකියේ ෂෙයාර් වෙනවා මං දැක්කා. කොහොමින් කොහොම හරි මාත් මේ රාජකාරියට ආලවන්තකම් පාන්න පුරුදු වෙලා ඉන්න හින්දා අවුරුද්ද කියලා බලන්නෙ නැතුවම පොස්ටුවක් ලියන්න ආරම්බ කොරා එහෙනම්.
මීට කලින් ලියපු බ්ලොග් පෝස්ටු දෙකකම මං කතා කොරේ නෙවිල් මහත්තයාගේ සයිටම් කැම්පස් එක ගැනනෙ. සමහරු නම් මං ඒ ලියපු දේවල් වලට ඒ තරම් මනාපයක් නැහැ. ඒත් ඉතින් මීට කලිනුත් මං කියලා තියෙනවා වගේ කොන්ද කෙලින් තියාගෙන කෙලින් කතා කොරන්න ඕන දේ මං කියනවා ඕං. හැබැයි ඉතින් මං ලියන දේවල් වලට ඕනම කෙනෙක් දාන ඕනම කොමෙන්ට් එකකට මං ගරු කරනවා. ඒ සමහර කොමෙන්ට් මගේ මතයට පටහැනියි කියලා මං මකලා දාන්නෙ එහෙම නෑ. මොකද මේ බ්ලොග් අවකාශය නාලක ගුණවර්ධන මහත්තයා හරි අපූරුවට පැහැදිලි කොරන විදිහට විසංවාද පිරුණු තැනක් නොවැ. ඒ නිසා මං ලියන පෝස්ටු සම්පූර්ණ වෙන්නෙ ඒවා කියවන උදවිය දාන කොමෙන්ට් වලින්.
කොහොමින් කොහොම හරි මගේ මේ හිතුවක්කාර සිතුවිලි වලට ලියන මේ තුන්වෙනි පෝස්ටුවෙත් ලියන්න පටන් ගත්ත කාරණාව මේ අතුරු කතා එක්ක ඕං මග ඇරෙන්න යන නිසා දැන් එහෙනම් කාරණාවට බහින්නම්. ඒත් ඉතින් අතුරු කතා නැත්තම් මේ හිතුවක්කාර සිතුවිලි රසවත් වෙන්නෙත් නෑ නොවෑ. ඒ හින්දමනෙ හිතට එන දඩබ්බර හැඟීම් මේ විදිහට හිතුවක්කාර සිතුවිලි වලට ලියන්ට මං පටන් ගත්තෙ.
ඇත්තටම අද මං මේ කියන කාරණාවත් පහුගිය පෝස්ටු දෙක වගේම සයිටම් ගැන කතාවක්. ඒත් මේක මේ අලුත් අවුරුද්දත් එක්ක සයිටම් ගැන කියන්න මට හිතුණ දෙයක්. මේ කතාව අහලම තීරණය කොරන්නකො මොකක්ද වැරැද්ද නිවැරැද්ද කියලා.
දැනට මාස ගණනාවක ඉඳන් නෙවිල් මහත්තයාගෙ සයිටම් එක අහෝසි කොරන්න කියලා රජයේ විස්ස විද්‍යාල වල සිසුන් විවිද විදියට උද්ඝෝෂණ පෙළපාලි යනවානෙ. මතකනෙ මොරටුවෙ කොල්ලො සෙට් එකක් ඇබොලිෂ් සයිටම් කියලා විස්සයි විස්සෙ මැච් එකට ගිහින් ඇදගෙන නා ගත්ත විදිහ. ඒක ඉතින් සයිටම් එපා කියන්න ගිහින් මොරටුවෙ කැම්පස් එකට තිබුණ ගවුරවයයි ලකුණුයි කපා ගත්ත වැඩක්. ඒත් අද මං මේ කියන්න හදන්නෙ සයිටම් අහෝසි කොරන්න කියලා කොරන වැඩකින් අද මේ අවුරුදු දවසේ ලකුණු දා ගත්ත වැඩක් ගැන. ඒ අය හැබැයි මේ ලකුණු දමා ගැනිල්ල කොර ගත්තෙ එයාලගෙ ආත්මය විතරක් උගස් කොරලා නෙවෙයි. ඒ කියන්නෙ එයාලගෙ අහිංසක දෙමව්පියොත් මේ වැඩේට ගාවගෙන තමා රටේ මිනිස්සු ඉස්සරහා සයිටම් එපා කියලා එයාලා කොරන වැඩේට අපේ මිනිස්සුන්ගෙ බොක්ක උණු කරලා මෙහෙම ලකුණු දා ගත්තෙ. මං හිතන්නෙ තාම මේ මං කියන්න හදන්නෙ මොකක්ද කියලා තේරෙන්නෙ නැතුව ඇති. එහෙනම් තව හොඳට තේරුම් යන විදිහට පැහැදිලි කොරලා කියන්නම්කො මේ විදිහට.
සයිටම් කැම්පස් එක අහෝසි කරන්න කියලා බල කොරලා වෛද්‍ය පීඨ හයක් ඉස්සරහා දැනට මාස ගණනාවක ඉඳන් අට්ටාල අවටගෙන ඉන්නවා නොවෑ. එහෙම අට්ටාල හදන් ඉන්න උදවිය නම් කියන්නෙ එයාලගෙ ඒ වැඩේට දැන් අවුරුද්දකට වඩා වැඩියි කියලා. මෙයාලා මේ වැඩේ කොරන්නෙ අපේ වෛද්‍ය අධ්‍යාපනේ ගැන හිතලා කියලනෙ කියන්නෙ. මේ වැඩේ එක දවසක්වත් නවත්තන්නෙ නැතුව ඒ කියන්නෙ අවුරුදු සමරන්න තමන්ගෙ ගෙවල් දොරවල් වලටවත් යන්නෙ නැතුව මහා ලොකු කැප කිරීමකින් මේ වැඩේ කොරනවලු. හරියට මෙයාලා කවදහරි දොස්තරලා වෙලා ඉස්පිරිතාල වලට ආවම එක දවසක් වත් ස්ට්‍රයික් කොරන්නෙ නැතුව අපේ දුප්පත් ලෙඩ්ඩුන්ට බෙහෙත් කොරනවා වගේ. එහෙම හිතන කොට මගේ කටින් විතරක් නෙමේ පස්ස පැත්තෙනුත් හිනා යනවා ඕං.
ඉතින් මේ විදිහට තම තමන්ගෙ ගම්බිම් වලටවත් යන්නෙ නැතුව මෙයාලා මේ නිදහස් අධ්‍යාපනේ වෙනුවෙන් කොරන කැපකිරීම නිසා මේ අය අද අවුරුදු සැමරුවේ මේ අට්ටාල වල ඉඳන්මයි. එයාලා මෙහෙම කොරන්න සූජානමින් ඉන්නවා කියලා දවස් කීපයකට කලියෙන් පත්තර වල එහෙම දාලා තිබුණා. ඇත්තටම මං නම් මේක දකින්නෙ මෙයාලගේ අසාර්ථක සයිටම් අරගලේ ගැන අපේ මිනිස්සුන්ගෙ බොක්ක උණු කරලා ලකුණු දා ගන්න කරපු වැඩක් විදිහට. ඒක ඒ විදිහෙ වැඩක් කියලා හරියටම තහවුරු වෙන තවත් දේකුත් වුණා. ඒ තමා මෙයාලා අවුරුදු සැමරුවේ තනියම නොවන හින්දා.
ඒ කියන්නෙ මේ අවුරුදු සැමරුමට ඒ අයගෙ අම්මලා තාත්තලත් අද අට්ටාල වලට ගිහින් තිබුණා. තමන්ගෙ දරුවා අවුරුද්දට ගෙදරට එයි කියලා බලාගෙන ඉන්න අම්මලාගෙයි තාත්තලාගෙයි හිත් වල තියෙන අහිංසක බලාපොරොත්තුව මේ සයිටම් ප්‍රශ්නෙ නිසා කඩ වුණ හින්දා අම්මලා තාත්තලා තමන්ගෙ ළමයි ඉන්න අට්ටාලෙට ඇවිල්ලා අවුරුදු සැමරුවා කියන බොක්ක උණුවෙන මැසේජ් එක තමා මෙයාලා මේ විදිහට දුන්නෙ. මේ වැඩේට ලොකු මීඩියා සපෝර්ට් එකකුත් ලැබිලා තිබුණා. අද දවල් ප්‍රවෘත්ති විකාස කිහිපයකම මෙයාලා මේ ලකුණු දා ගත්ත වැඩේ හෙඩ් ලයින් වලට ගෙනල්ලා උස්සලා තියලා තිබුණා. අනේ ඉතින් දැන් මේක දැකපු අපේ මිනිස්සු නෙවිල් මහත්තයාගෙ අම්මා තාත්තවත් මතක් කොරලා හූල්ලනවා ඇති කියලා අට්ටාල උඩ ඉඳන් පිස්සු කෙලින විස්ස විද්‍යාල දරුවෝ හිතනවා ඇති.
ඕං ඕකයි ඉතින් අද මේ අවුරුදු දවසේ මං දැකපු පට්ට සිරාම වැඩේ. ඒ කියන්නෙ සයිටම් එක වහන්ට කියලා දාන දහං ගැට ඔක්කොම වරදින කොට මේ වගේ බොක්ක උණු කරලා ඒ වැඩේට අනුකම්පාව ගන්න හදනවා. අනේ පව්.
කියවපු හැමෝටම ස්තූතියි…!
ඊළඟ පෝස්ටුවෙන් හම්බෙමු…!
3,412 total views, 1 views today
මටත් සෑහෙන්න දුක හිතුන අප්පා. අවුරුදු කන්න නැතිව අප විඳින දුක බැලුවහම. පව් නේ ඒ ළමයි නේද?
සයිටම් වහන්ඩ නෙවෙයි ඒකෙ තත්වයේ අඩුපාඩුවක් තියෙනවා නම්(රජයේ වෙය්ද්ය පිටවල අඩුපාඩු ගැන අපි කතා නොකර ඉමු.) ඒවා හදාගෙන පවත්වාගෙන යායුතුයි කියලයි මගේ හැගීම.
ඔව් ගොඩක් පව්. තමන්ගෙ පව් විතරක් නෙමෙයිනෙ. අනුන්ගෙ පව්ත් මෙයාලා ගෙවනවනෙ.
ඔව් ඒ තත්ත්වයේ අඩුපාඩු හදාගන්න තමා ආණ්ඩුව මැදිහත් වෙලා දැන් විසඳුම් යෝජනාවලියක් ඉදිරිපත් කරලා තියෙන්නෙ. ඒකත් පිළිගන්නෙ නැත්තම් තවත් කරන්න දෙයක් නෑනෙ ඉතින්.
කුහක සයිටම් විරෝධය හා නූතන ශයිලොක්ලාගේ දේශපාලන නාඩගම – https://iranga.net/?p=750