මගේ දෛනික ජීවිතයේ මම අත්විඳින බොහෝ දේවල් ගැන මං හිතුවක්කාර සිතුවිලිවලට ලියනවා. බොහෝ වෙලාවට ඒ දේවල් මගේ වෘත්තිය, සරසවි ජීවිතය, පාසල් කාලය, මිතුරන් ආදී දේවල්වලට සීමා වුණා. නමුත් අද ලියන සටහන ඒ සීමාවලින් ඔබ්බට ගියපු කෑම සංස්කෘතිය ගැනයි. ඒ අනුව ගතවුණ අවුරුදු පහක පමණ කාලයේ මං අත්විඳිපු රසවිඳිපු කෑම සංස්කෘතියේ එක පැතිකඩක් අද මේ විදිහට හිතුවක්කාර සිතුවිලිවලට ලියනවා.
සරසවි අධ්‍යාපනය නිසා නුවර ඉඳන් කොළඹට ඇවිත් ඊට පස්සෙ වෘත්තීය ජීවිතයත් එක්ක මට කොළඹ නවතින්න වෙනවා. ඒකත් එක්ක කෑම ගන්න වෙන්නේ කඩවල්වලින්. ඉතින් දැනට අවුරුදු පහක වගේ කාලයක ඉඳන් වැල්ලම්පිටියේ නැවතිලා ඉන්න නිසා ගොඩක් වෙලාවට කොළොන්නාවෙන් කෑම අරගෙන තියෙනවා. හවසට කොළොන්නාව පහුකරගෙන වැල්ලම්පිටියට යන නිසා කොළොන්නාවේ තියෙන කෑම සංස්කෘතිය හැමදාම දකිනවා.
කොළොන්නාව කියන්නේ කොහොමත් රෑ දහයටත් මිනිස්සු බහුලව පාරවල්වල ඉන්න, බැංකුවල ඒටීඑම්වල නිතරම පෝලිම් තියෙන, පාරවල්වල දෙපැත්තේ නිතරම වාහන නතර කරලා තියෙන නිසා යම් රථවාහන තදබදයකුත් තියෙන නගරයක්. ඒ වගේම හවස මිනිස්සු ගෙවල්වලින් එළියට ඇවිත් වීදිවල කෑම අරන් රසවිඳින තැනක්. එහෙම ගත්තම හවස හයෙන් විතර පස්සෙ වීදි කෑමත් එක්ක වෙනම සංස්කෘතියක් ගොඩනැගුණ නගරයක්.
මේ වීදි කෑම අතර නිතරම දකින්න තියෙන දෙයක් තමා ඉඳිආප්ප පිට්ටු තියෙන පොඩි කෑම කරත්ත. කොළොන්නාව නගරය මැදින් වැල්ලම්පිටියට එද්දි එහෙම පොඩි කරත්ත විස්සක් තිහක්වත් තියෙනවා ඉඳිආප්ප පිට්ටු පුරවගෙන ඉන්න. ඒ හැම කෑම කරත්තයක් ළඟම මිනිස්සු වටවෙලා ඒවා ගන්නවා. ඒ තැන්වල ගොඩක් වෙලාවට කඩදාසි කොළවල කෑම ඔතලා දෙන්නේ නැහැ. කෙළින්ම ෂොපින් බෑග් එකටම ඒවා දාලා දෙනවා හොදි වෙනම දාලා. කොහොමහරි රෑ දහය පහුවෙනකොට මේ හැම කෑම කරත්තයකම කෑම විකිණිලා අවසන් වෙනවා.
වීදි කෑම අතර තවත් නිතරම තියෙන දෙයක් තමා වඩේ පැටිස් වගේ දේවල්. විවිධ ප්‍රමාණවලින් විවිධ මිල ගණන් වලට මේවා තියෙනවා. ඒ වගේම බඩඉරිඟු තම්බපු කඩල වගේ ඒවත් මේ අතර තියෙනවා. ලොකු මිලගණන්වලට ලොකු අවන්හල්වලිනුත් කෑම කඩවලිනුත් මිනිස්සු පිරිලා කෑම ගන්න අතරේ මේ වගේ වීදි කෑමවලටත් ලොකු ඉල්ලුමක් තියෙනවා. මේ අතරේ නගරය මැදට වෙන්න ඒ වෙලාවෙම හදලා කෝමාරිකා බීම විකුණන තැනකුත් තියෙනවා. රෑ දහය පහුවෙලත් මිනිස්සු ඒ බීම අරන් බොන හැටි මම දැකලා තියෙනවා.
මිරිස් තෙල් පිටි දාලා හදන කෑම වගේම පැණි රස කෑම විකුණන පොඩි කරත්තත් මේ විදි කෑම සංස්කෘතියේ තියෙනවා. ඊයේ මම දැකපු විශේෂ දෙයක් තමයි මීට කලින් තිබ්බෙ නැති එක කෑම කරත්තයකින් කෑම ගන්න තරමක දිගු පෝලිමක් තිබ්බා. දැකපු විදිහට එතන විකිණුවේ වටලප්පන් වගේ දෙයක්. ඒක හැමතැනම දකින්න නැති දෙයක් නිසාත් ගොඩක් වෙලාවට මිලෙන් අඩු නිසාත් පෝලිමේ ඉඳලා හරි ඇවිත් මිනිස්සු ඒවා මිලදී ගන්න පෙළඹිලා ඉන්නවා.
කොළොන්නාව පහුකරන් උඩට වැල්ලම්පිටිය පටන්ගන්න හරියට එනකොට ඉස්සෝ වඩේ කකුළුවෝ එහෙම විකුණන කරත්තයකුත් දවස් කිහිපයක්ම මම දැකලා තියෙනවා. මාත් එතනින් ලොකු ඉස්සෝ වඩේ අරන් කාලා තියෙනවා. ඒ වගේම කොළොන්නාව නගර සභාව ඉස්සරහා රෝස් චිකන් බැදපු මාළු වගේ විවිධ රසවත් බයිට් වර්ග විකුණපු කරත්තයකුත් කලාතුරකින් දැකලා තියෙනවා. ඒත් ඒක හැමදාම නෑ. ඒත් තියෙන දවසට මිනිස්සු පිරිලා ඒවා ගන්නවා.
මෙහෙම ගත්තම කොළොන්නාව කියන්නේ කෑම පුරවරයක්. මේ වීදි කෑමවල ඉඳන් පීසා දක්වා කෑම තියෙන සුපිරි අවන්හල් ගණනාවකුත් මේ නගරේ තියෙනවා. විවිධ සමාජ පන්තිවල විවිධ ආදායම් මට්ටම්වල විවිධ ජාතීන් මේ හැමතැනම පිරිලා ඉන්නවා. ඉතින් මේ සංස්කෘතිය විවිධාකාරයි. ගම්වල මිනිස්සු තුන් වේලම තමන්ගෙ ගෙවල්වල උයන කෑම කෑවට මේ වගේ නගරවල මිනිස්සු රෑ කෑම වේල හරි පිටින් අරන් කනවා. ඒක ඇත්තටම ඒ මිනිස්සු ජීවිතය විඳින තවත් එක විදිහක්. මේක ඇත්තටම තීරණය වෙන එක සාධකයක් තමයි මුදල් වියදම් කිරීමේ හැකියාව. කොහොම වුණත් මේ අපූරු වීදි සංස්කෘතිය විවිධ සමාජ මට්ටම්වල මිනිස්සුන්ගෙ ආහාර රටා, ඔවුන්ගෙ සමාජ ජීවිතය ගැන සමාජ විද්‍යාත්මක පැතිකඩක් අපිට පෙන්නලා දෙනවා. ඒ ගැන අධ්‍යයනය කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒ ගැන හිතන්න ඉඩක් තියමින් මේ සටහන අවසන් කරනවා.
![]()










එක වරක් පාවිච්චි කර ඉවතලන ප්ලාස්ටික් බදුන් බෑග් වැනිදෑ අවම වුනා නම් ගොඩාක් හොදයි
බොහොම රසවත් ලිපියක්. ඒකටම ගැලපෙන් අපුරු පිංතූරයක්.👌💐
ෆොටෝ එක අගෙයි දුටු විට මන බැඳුනා
විස්තරවලින් එය තව තව ඔප වැටුණා
කොලොන්නාව පැත්තේ යන්නට හිතුණා
හිතුනට මදිනෙ ළඟදිම යන්නට ඕනා
ආවොත් මුණගැසෙමු.
ස්තූතියි