ළඟදී දිනයක ටී.එම්.ජී. චන්ද්‍රසේකර මහතාගෙන් මට ෆේස්බුක් මිතුරු ඇරයුමක් ලැබුණි. එය හුදෙක් තව එක් ඇරයුමක් නොව මාගේ මතකය දශක ගණනාවක් ඈතට ගෙන ගිය දැවැන්ත විද්වත් චරිතයකින් මා ලද මාගේ ජීවිතයේ කිසිදු දිනක අමතක නොවන මතක සටහන් රැසක් ස්මරණය වූ අවස්ථාවක් ද වේ. මාගේ නිදහස් සිතුවිලි අවකාශය අරඹා දස වසරක් සපිරෙන මේ මොහොතේ මෙහි සටහනක් තැබිය යුතුම ඒ දැවැන්ත පුද්ගලයා පිළිබඳ මාගේ මතක සටහන් ගොන්න ඔබ හමුවේ මෙසේ ලියා තබමි.
ටී.එම්.ජී. චන්ද්‍රසේකර නාමය වූ කලී මා හට අන්තර්ජාලයට යොමුවීමට මාවත තැනූ අන්තර්ජාලයේ මාගේ පරමාදර්ශය බඳු පුද්ගලයා වේ. අන්තර්ජාලය පිළිබඳ මා තුළ කුතුහලය හා ආශාව ඇතිකළ මෙම විද්වතාගේ මගපෙන්වීම ඔස්සේ ලද පන්නරය, මා කුමන වෘත්තියක නිරතව සිටියද අන්තර්ජාලය තුළ යමක් කිරීමට නිරන්තරයෙන් මා තුළ පෙළඹවීමක් ඇති කිරීමට හේතුවිය.
අන්තර්ජාලය පිළිබඳ මා හට පළමුවෙන්ම දැනුවත්වීමට අවස්ථාව ලැබුණේ අදින් වසර 25 කට පමණ පෙර, එනම් 2000 දශකයේ මුල් අවධියේය. මාගේ මතකය අනුව 2001 වසරේදී පමණ අන්තර්ජාලය ශ්‍රී ලාංකේය ජනතාවට හඳුන්වාදීම සඳහා ජාතික රූපවාහිනිය මගින් සෙනසුරාදා දින උදෑසන 7 සිට 8 දක්වා සජීවී වැඩසටහනක් විකාශය කළ අතර “e @ ශනිදා” (ඊ ඇට් ශනිදා) ලෙස එය නම්කර තිබුණි. එය ඉදිරිපත් කළේ ටී.එම්.ජී චන්ද්‍රසේකර මහතා විසිනි. එම වැඩසටහන අන්තර්ජාලය පිළිබඳ අපගේ දැනුම වර්ධනය කළ විශ්වකෝෂයක් වූ අතර සතිපතා එම වැඩසටහන විකාශය වන තුරු මම ඉතා ආශාවෙන් බලා සිටියෙමි.
සමාජ මාධ්‍ය වර්තමානයේ මෙන් ප්‍රචලිතව නොතිබුණු එම අවධියේ අන්තර්ජාලයේ විවිධ භාවිතයන්, සෙවුම් යන්ත්‍ර භාවිත කිරීම වැනි අන්තර්ජාලයේ ජනප්‍රිය අංග, අලුත් ප්රවණතා ආදිය පිළිබඳ නව දැනුම චන්ද්‍රසේකර මහතා මෙම වැඩසටහන මගින් සතිපතා අප වෙත රැගෙන ආවේය. පරිගණක, අන්තර්ජාලය හා ඩිජිටල් තාක්ෂණය පිළිබඳ පැවැත්වෙන ප්‍රදර්ශන ආදී විවිධ අවස්ථා සම්බන්ධයෙන් ද මෙම වැඩසටහන මගින් දැනුවත් කිරීම සිදුවූ අතර මා පාසලේ 6 වසරේ සිසුවෙකුව සිටි එම අවධියේ ජාතික රූපවාහිනියේ e @ ශනිදා වැඩසටහන මගින් ගෙන ආ මෙම මහඟු දැනුම අතිශය වැදගත් විය.
මෙම වැඩසටහනට ඉතා තදින් ඇබ්බැහිවූ ප්‍රේක්ෂකයෙකු වූ මා හට මෙම වැඩසටහන නිසාම තවත් අපූරු අවස්ථාවක් උදා වූ අතර පරිගණක හා අන්තර්ජාලය පිළිබඳ මාගේ දැනුම වර්ධනය කර ගැනීමට එම අවස්ථාව ද මනා පිටිවහලක් විය. එනම්, මෙම වැඩසටහන ඇසුරින් විමසූ ප්‍රශ්නයකට පිළිතුර තැපැල්පත් මගින් යොමු කරන ප්‍රේක්ෂකයෙකුට වසරක් පුරා “විජය පරිගණක” සඟරාව නොමිලේ නිවසට තැපැල් මඟින් එවීම සිදුවූ අතර, ඒ සඳහා මා යොමුකළ තැපැල්පත අහඹු ලෙස තෝරාගෙන චන්ද්‍රසේකර මහතා විසින් මාගේ නම ජාතික රූපවාහිනියේ e @ ශනිදා වැඩසටහනෙන් ප්‍රකාශ කිරීම මා මට අතිශය ප්රීතිජනක අවස්ථාවක් විය.
ඒ අනුව වසරක කාලයක් විජය පරිගණක සඟරාව නොමිලේ ලබාගැනීමට හා කියවීමට මා හට අවස්ථාව ලැබුණු අතර අන්තර්ජාලය හා පරිගණක පිළිබඳ මාගේ දැනුම පුළුල් වීමට විජය පරිගණක සඟරාවෙන් ලද දායකත්වය අපමණය. වසරක් පුරා නොමිලේ සඟරාව ලබාදුන් කාලය අවසන් වූ පසුව ද සෑම මසකම එම සඟරාව මිලදී ගෙන කියවීමට මා කටයුතු කළ අතර එසේ වසර ගණනාවක් පුරා ශ්‍රී ලාංකේය සමාජය පරිගණක දැනුමෙන් පෝෂණය කිරීමට අමිල මෙහෙයක් ඉටු කළ විජය පරිගණක සඟරාව මුද්‍රණය කිරීම මීට මාස කිහිපයකට පෙර නතර කර දැමූ කණගාටුදායක පුවත ද මෙසේ සනිටුහන් කර තබමි.
ටී.එම්.ජී. චන්ද්‍රසේකර මහතාගේ පූරකත්වයෙන් එසේ විකාශය වූ e @ ශනිදා වැඩසටහන අන්තර්ජාලය පිළිබඳ ලාංකේය සමාජය තුළ පිබිදීමක් ඇති කිරීමට සමත් වූ බව අවිවාදිතය. රූපවාහිනී නාලිකා අද මෙන් බහුලව නොතිබුණු එම අවධියේ ජාතික රූපවාහිනිය ජාතික වගකීමක් ලෙස සලකා මෙවැනි වැඩසටහන් විකාශය කිරීමට මූලිකත්වය ගැනීම පිළිබඳ ජාතික රූපවාහිනියට ද තුති පුද කරමි. ජාතික රූපවාහිනිය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව තුළ කවර විවේචන පැවතිය ද ජාතික රූපවාහිනියේ එකල පැවති හරවත් හා ගුණාත්මක වැඩසටහන් සම්ප්රදාය අද දක්වා නොවෙනස්ව පවතින බව ජාතික රූපවාහිනියට ගෞරවයක් ලෙස සඳහන් කරමි.
ටී. එම්.ජී. චන්ද්‍රසේකර මහතා මා විසින් මුලින්ම හඳුනාගත් එම වැඩසටහන විකාශය වී දශක දෙකකටත් වැඩි කාලයක් ගතවූ පසුව මාගේ වෘත්තීය ජීවිතයේදී එතුමා සමඟ සම්බන්ධවීමට අවස්ථාවක් ලැබුණි. ඒ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ යම් වෘත්තීය කාර්යයට අදාළවය. මාගේ ජීවිතයේ අතිශය ගෞරවනීය චරිතයක් වූ එතුමා එසේ හඳුනාගැනීමට හැකිවීම ද මා හට ඉතා සුවිශේෂී අවස්ථාවක් විය. එතුමාගේ වැඩසටහන මගින් මා ලද පන්නරය පිළිබඳ එතුමාට පැවසීමට ද මා මට හැකියාව ලැබුණි.
මෙසේ ටි.එම්.ජී. චන්ද්‍රසේකර නමැති දැවැන්ත විද්වත් චරිතය වර්තමානයේ ද භූමිකා ගණනාවක නිරත වෙමින් මාධ්‍ය හා තාක්ෂණය පිළිබඳ ඔහු සතු දැනුම හා විශේෂඥභාවය තුළින් පරම්පරා ගණනාවකට සිය අත්දැකීම් බෙදාදෙමින් තවමත් නොනැවතුණු ගමනක නිරත වී සිටියි. එතුමාගේ එම මෙහෙවර තවත් පරම්පරා ගණනාවක අනාගතය තනන බව නිසැකය. මෙම සටහන එතුමාට ගෞරවයක් ලෙස නිදහස් සිතුවිලි අවකාශයේ මෙසේ ලියා තැබුවෙමි.
ආශ්රිත ලිපි
අන්තර්ජංජාලෙ මගේ ජීවිත කතාව හෙවත් බ්ලොග් සහ මම!
![]()









