මේ කතාව අතීතයත් වර්තමානයත් අතර තවමත් නිම නොවුණු කතාවක්. තවත් පැත්තකින් මහා ප්රතිරූප, ජ්‍යෙෂ්ඨයින් හා නවකයින් ගැන කතාවක්. හරියටම කිව්වොත් ජාතික ගුවන්විදුලියේ ප්රවෘත්ති අංශයේ මේ තුන් කල් සාමාජිකයින්ගේ මුණගැසීම ගැන කතාවක්. පහුගිය දවසක ගතවුණ ඒ් සුන්දර මොහොත ගැන කතාව අද මේ විදිහට ලියනවා.
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්රවෘත්ති අංශයේ වාර්ෂික සුහද හමුව ඉකුත් නොවැම්බර් පළමු වැනිදා හොරණ සෙන්ස් පැවීලියන් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණා. ප්රවෘත්ති අංශයේ හිටපු සාමාජිකයෙක් විදිහට මාත් මගේ පවුලේ අයත් එක්ක ඒකට සහභාගි වුණා. ඇත්තටම ඒ දවස අතීත මතක ඇවිස්සුණු රස පිරුණු හරි අපූරු දවසක්. එකට වැඩකරපු, එකට අභියෝගවලට මුහුණදීපු, එකට ප්‍රශ්න බෙදාගත්තු, එකට දුක සතුට බෙදාගත්තු වෘත්තීය සාමාජිකයින්ගේ සුන්දර හමුවීමක්. ඉතින් ඒ ගැන මෙහෙම අකුරු නොකර කොහොමද.
මේ වැඩේ ගැන ඉස්සෙල්ලාම මට ආරංචිය එන්නේ ප්රවෘත්ති අංශයේ දිනුක සහෝදරයාගෙන්. එක්තරා දවසක ප්රවෘත්ති අංශයේ පොදු දුරකථනයෙන් ආපු දුරකථන ඇමතුමකින් අනිත් පැත්තෙන් කතා කරේ දිනුක. අපේ ගෙට්ටුගෙදර් එක පළමු වැනිදා තියෙනවා එනවා නේද කියලා ඇහුවා. ආයෙ දෙපාරක් නොසිතාම මං හා කිව්වා. ඊට පස්සේ බිරිඳට ඒ ගැන කිව්වම එයත් පුතත් එක්ක එන්නම් කියලා කිව්වා. ඉතින් ඔන්න ඔහොම තමයි මේ ගමන යන්න ලැහැත්ති වුණේ.
මේ වැඩේ සංවිධාන කටයුතුවලට අප්සරා අක්කා වට්ස්ඇප් ගෲප් එකක් හදලා යන සාමාජිකයෝ හැමෝම ඒකට ඇඩ් කරලා තිබුණා. ඉතින් කුමුදු අයියා ඇතුළු කට්ටිය මේ වැඩේ බොහොම ලස්සනට මහන්සිවෙලා සංවිධාන කරලා තිබුණා. කට්ටියට හෝටලයට යන්න ගුවන්විදුලිය ළඟින් වෙනම බස් එකකුත් සූදානම් කරලා තිබ්බා.
කොහොම හරි එදා එතෙන්ට යනකොට දුර ඉඳන්ම දැකපු අතීත සගයින් ළඟට ගිහින් අතීතය, වර්තමානය ගැන විස්තර කතාවුණා. දැනට වැඩකරන අය වගේම අපිත් එක්ක එකට වැඩකරලා දැන් ඉවත් වෙලා ගිහින් ඉන්න අය ගොඩක් මේ වැඩේට ඇවිත් හිටියා.
ප්රවෘත්ති අංශයේ වැඩකරද්දි අපි නිවාඩු දානකොට කිසිම පැකිලීමක් නැතුව අපේ බර ඇදපු, දැනටත් වැඩ කරන ප්රවෘත්ති සංස්කාරක ජ්‍යෙෂ්ඨයා හේමන්ත අයියත් මේ වැඩේට ඇවිත් ඉන්නවා දැක්කම හරි සතුටක් දැනුණා. ඒ වගේම ඇලපාත අයියා. රුසියාවෙ ඉගෙනගෙන රුසියන් භාෂාවෙන් වැඩ කරපු බොහොම හිත හොඳ නිහතමානී චරිතයක්. තව මොහාන් අයියා, සජිතා අක්කා, අතිකා අක්කා, නිල්මිණි අක්කා, සම්පත් අයියා, කමල් අයියා, ඥානින්ද අයියා, නිශාන්ති අක්කා ඇතුළු නම් කියපු නොකියපු ගොඩක් දෙනෙක් එක්ක එදා මතක ගොඩක් බෙදා ගත්තා. ඒ වගේම මගේ ශාස්ත්‍රීය වැඩවලට ගොඩක් උදව්කරපු දර්ශන අශෝක සර් එයාගෙ පවුලෙ අයත් එක්ක මේ වැඩේට ඇවිත් හිටියා.
මේ අතරින් විශේෂයෙන්ම කියන්නම ඕන කෙනෙක් තමයි මේ වැඩේට ඇවිත් හිටපු සෝමපාල සර්. සෝමපාල සර් කියන්නේ පොඩි තැනකින් ගුවන්විදුලියෙ ජීවිතය පටන් අරන් ගොඩක් ඉහළට ගියපු කෙනෙක්. මගේ දක්ෂතා දිහා බලලා මට ගොඩක් අවස්ථා හදලා දීපු කෙනෙක්. හරියට කිව්වොත් තාත්තෙක් වගේ උපදෙස් දීපු අදටත් මං කතා කරලා විස්තර දුක සැප කතා කරන බොහොම සරල මනුස්සයෙක්. සර්ගෙ වැඩවලදී මොකක් හරි පරිගණක සම්බන්ධ ගැටලුවක් ආවොත් අදටත් මට කතාකරලා ඒ ගැන අහනවා. මං ගුවන්විදුලියට යන්නත් කලින් සර් ගුවන්විදුලියේ ස්ථිර සේවයෙන් ඉවත් වෙලා හිටියත් අපි ගියාට පස්සෙත් කාලයක් ඇවිත් වැඩකරපු, අපේ ප්රවෘත්ති සංස්කරණ කටයුතු ඔපවත් කරපු අත්දැකීම් පිරුණු මනුස්සයෙක්. ඉතින් ගොඩක් දවසකට පස්සෙ සර්ව හම්බෙලා ආගිය තොරතුරු ගැන කතා කරන්නත් මේ දවසෙ අවස්ථාව ලැබීම ලොකු සතුටක්.
ඉතින් මේ වැඩේදි විවිධ විනෝදාත්මක තරඟ ගොඩක් තිබ්බා වගේම ඒවාට තෑගිත් හම්බුණා. මාත් ඒකෙදි සංගීත පුටු තරඟයෙන් තුන්වැනි තැන දිනලා ඒකෙ තෑගි විදිහට නවකතා පොත් දෙකක් මට හම්බුණා. ඒ තෑග්ග දුන්නෙත් හේමන්ත අයියා. ඒ අවස්ථාවේ ෆොටෝ එකක් තමයි උඩින් දාලා තියෙන්නේ.
ගෙට්ටුගෙදර් එකක් තියන්නෙ අයෙ ඉතින් කෑමෙන් බීමෙන් අඩුවක් නැති තැනක්නෙ. ඉතින් කෑම වගේම විවිධ වර්ගවල බීමත් අඩුවක් නැතුව තිබුණා. දැක්කම ආසා හිතෙන විවිධ වර්ගවල රසවත් බයිට් වර්ග ගොඩක් එදා හදන් ඇවිත් තිබ්බෙ විජයානි අක්කා.
කාලා බීලා නටලා ඉවර වෙලා අන්තිමට නෝනයි පුතයි එක්ක පූල් එකටත් බැහැලා තමයි මේ සුන්දර දවස නිමා කළේ.
ඉතින් මේ වගේ සුන්දර දවසක් අරන් එන්න මහන්සි වුණු කැපවුණු කුමුදු අයියා, අප්සරා අක්කා ඇතුළු හැමෝටම ගොඩක් ස්තූතියි. කාර්යබහුල වෘත්තිය ජීවිතයෙන් පොඩ්ඩක් ඈත් වෙලා අතීත රස මතක පිරුණු තැන් අලුත් කරගන්න ඒ දවසෙ හිතේ හැටියට අවස්ථාව ලැබීම ගැන ලොකු සතුටක් තියෙනවා. කාලය ගතවෙනවා. අපි දවසින් දවස වයසට යනවා. අපි වැඩකරපු තැන්වල අලුත් අය දැන් වැඩ කරනවා. ජ්‍යෙෂ්ඨයෝ ඒ අයට මඟපෙන්වනවා. ඉතින් ආයෙත් ඊළඟ අවුරුද්දෙ මේ සුන්දර බැඳීම් එක්ක හමුවෙනකත් මේ හැමෝගෙන්ම සමුඅරන් ආවා. අපි ඊළග අවුරුද්දෙත් මේ විදිහට හම්බෙනකොට කාලයත් එක්ක අපෙ ජීවිත ගොඩක් වෙනස් වෙලා තියෙයි. හැබැයි මේ බැඳීම් කවදාවත් වෙනස් වෙන්නේ නෑ කියලා නම් සහතිකයි.
![]()










මෙම උත්සවය සඳහා ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපති අවසර හඩ්සන් සමරසිංහ මැතිතුමා සහභාගී වුයේ නැතිද?
එය විශාල අඩුවක්.