3

බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු ඩෙංගු ව්‍යාප්තියට බලපාන තවත් හේතුවක් ගැන හෙළිදරව්වක්

මෙම වසරේ මුල සිට මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන් යැයි සැක කෙරෙන රෝගීන්ගේ ප්‍රමාණය දැන් ලක්ෂය ඉක්මවා තිබේ. එම සංඛ්‍යාවට සාපේක්ෂව ඩෙංගු රෝගයෙන් මරණයට පත්වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව අඩු අගයක් ගනු ලැබුව ද දිනෙන් දින වාර්තා වන රෝගීන්ගේ සංඛ්‍යාවේ අඩුවක් දක්නට ලැබෙන්නේ නැත. විශේෂයෙන්ම මාධ්‍ය ඔස්සේ ඩෙංගු වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වන දැනුවත් කිරීම් හා ග්‍රාමසේවා වසම් මට්ටමෙන් ඩෙංගු මර්දන වැඩසටහන් දියත් කිරීම සිදු කළත් රෝගීන් වාර්තා වීමේ අඩුවීමක් දක්නට නොලැබීම මෙහිදී සැලකිලිමත් විය යුතු සුවිශේෂතම කරුණයි. එබැවින් තවදුරටත් එසේ ඩෙංගු ව්‍යාප්ත වීම සදහා බලපාන හේතු පිළිබඳ අප විසින් සිදුකළ සොයා බැලීමේදී ඇතැම් ප්‍රදේශ තුළ අවධානයට ලක්කළ හැකිවූ හේතුවක් සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය වහා යොමු වීම පිණිස මෙම හෙළිදරව් කිරීම සිදු කරමි.

ඩෙංගු රෝගය වැළදී ඇතැයි සැක කොට රෝගියෙක් රෝහල් ගත කළ පසු එම රෝගියා පිළිබඳ තොරතුරු අදාළ රෝගියා පදිංවි ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය (MOH) වෙත යවනු ලබයි. ඉන්පසු එම ප්‍රදේශය භාරව කටයුතු කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් එම තොරතුරු අනුව අදාළ රෝගියාගේ නිවස වෙත ගොස් ඩෙංගු වලට අදාළ පරීක්ෂා කිරීම් සිදුකර නැවත එවැනි තත්ත්වයක් ඇති නොවීම සඳහා අවශ්‍ය වන ක්‍රියාමාර්ග ගැනීම සිදු කරනු ලබයි. මෙසේ රෝගීන් පිළිබඳ තොරතුරු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත යැවීම ක්‍රම දෙකක් ඔස්සේ සිදු කරනු ලබන අතර ඉන් එක් ක්‍රමයක් වන්නේ අදාළ රෝගියාගේ තොරතුරු අඩංගු පත්‍රිකාවක් රෝහල මඟින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත තැපැල් කර යැවීමය. එසේ යවනු ලබන පත්‍රිකාව “බෝවෙන රෝග පිළිබඳ නිවේදනය” ලෙස හඳුන්වනු ලබයි. එම ක්‍රමයට අමතරව රෝගියා පිළිබඳ තොරතුරු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත දැනුම් දීම සඳහා අනුගමනය කරනු ලබන අනෙක් ක්‍රමය වන්නේ අන්තර්ජාලය මඟින් රෝගීන් පිළිබඳ තොරතුරු වසංගත රෝග විද්‍යා අංශයේ වෙබ් අඩවිය වෙත ලබාදීමය.

කෙසේ වුවත් මෙම ක්‍රම දෙක ඔස්සේම රෝගීන් පිළිබඳ තොරතුරු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත ලබා දීම රෝහල් මඟින් සිදු කළත් එසේ සිදුකිරීමේ දී ඇතැම් ප්‍රදේශවල රෝහල් තුළ රෝගීන් පිළිබඳ තොරතුරු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත ලබාදීමේ දී යම් ප්‍රමාදයක් සිදු වන බව අප විසින් කළ නිරීක්ෂණයේ දී හෙළිදරව් විය. එසේ තොරතුරු ලබා දීම ප්‍රමාද වීම අදාළ ප්‍රදේශය තුළ ඩෙංගු රෝගය තවදුරටත් ව්‍යාප්ත වීමටත් තවත් පුද්ගලයින් ගණනාවක් ඩෙංගු රෝගයට ගොදුරු වීමටත් හේතුවක් වන බවත් පැවසිය යුතුය.

රෝගියා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින විට දී බෝවෙන රෝග පිළිබඳ නිවේදනය තැපැල් කිරීම සිදුවුවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට එය තැපැල් මඟින් ලැබීමේ දී රෝගියා රෝහලෙන් පිටව ගොස් ඇති බව ද වාර්තා වේ. එවිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් විසින් එම රෝගියාගේ නිවස අවට ප්‍රදේශ පරීක්ෂා කිරීමට යාමේ දී අදාළ ඩෙංගු රෝගියා ඩෙංගු රෝගයට ගොදුරු වීමට බලපෑ තත්ත්ව තවදුරටත් ව්‍යාප්ත වීම සිදුවී තවත් පුද්ගලයින් කිහිපදෙනෙකුගේ ජීවිත ද ඩෙංගු රෝගයේ ගොදුරු බවට පත්වීමේ අවදානමට ලක්වී තිබේ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිදු කරන පරීක්ෂා කිරීම්වලදී එසේ සිදුවූ අවස්ථා වාර්තා වූ බව මේ පිළිබඳ අප විසින් කළ සොයා බැලීමේ දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් අප සමඟ පවසා සිටියේය.

එසේම ඇතැම් ප්‍රදේශවල දැකිය හැකි වූ මෙම අභාග්‍ය සම්පන්න තත්ත්වයේ ස්වභාවය කෙතරම් ද යත් බෝවෙන රෝග පිළිබඳ නිවේදනය ලැබී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් පරීක්ෂා කිරීම් සිදු කිරීමට යන කාලය අතරතුර එක් රෝගියෙකුට ඩෙංගු රෝගය බෝකළ ඩෙංගු මදුරුවාගේ ඊළඟ පරම්පරාවෙන් බිහිවූ මදුරුවන් විසින් ද ඩෙංගු රෝගය ව්‍යාප්ත කිරීමට කටයුතු කරන කාලය දක්වා මෙම ප්‍රමාද විම් සිදුවීම දක්නට ලැබේ. එම නිසා ඇතැම් ප්‍රදේශවල ඩෙංගු රෝගීන් වාර්තා වීම දිනෙන් දින ඉහළ යෑම සඳහා මෙම තත්ත්වය හේතුවක් බවට පත්වන බව ද සඳහන් කළ හැකිවේ.

තැපැල් මඟින් මෙසේ බෝවෙන රෝග පිළිබඳ නිවේදනය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ඔස්සේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත ලබා දීමේ දී සිදුවන ප්‍රමාද වීම් වළක්වා ගැනීම සඳහා අන්තර්ජාලය යොදා ගනිමින් දෛනිකව රෝහල්වලට ඇතුළත් වන  රෝගීන් පිළිබඳ විස්තර දිස්ත්‍රික්ක මට්මමෙන් වසංගත රෝග විද්‍යා අංශයේ වෙබ් අඩවියට ඇතුළත් කිරීම සිදු කරයි. එවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් විසින් දෛනිකව එම වෙබ් අඩවියට ප්‍රවේශ වී අදාළ රෝගීන් සම්බන්ධව තොරතුරු ලබා ගෙන ඒවා අදාළ ප්‍රදේශ භාරව රාජකාරියේ නියැලෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත ලබා දීම සිදු කරයි. මෙම ක්‍රියාවලිය තැපැල් මඟින් රෝගීන් පිළිබඳ තොරතුරු ලබා දෙන ක්‍රමයට වඩා කාර්යක්ෂම වුවත් ඇතැම් ප්‍රදේශවල රෝගීන්ගේ තොරතුරු වෙඩ් අඩවියට ඇතුළත් කිරීමේ ප්‍රමාදයක් පවතින බව ද දැකිය හැකි විය.

එසේ වෙබ් අඩවියට රෝගීන්ගේ තොරතුරු ඇතුළත් කිරීම සඳහා ඇතැම් රෝහල් තුළ පවතින පහසුකම් ප්‍රමාණවත් නොවීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත එම රෝගීන්ගේ තොරතුරු ලබා දීම මන්දගාමී වීම සඳහා හේතු වී තිබේ. එසේම ප්‍රධාන රෝහල් තුළ මෙම කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම සඳහා රෝහල තුළ සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ සේවය ලබා ගැනීම සිදු වුවද එසේ නොමැති රෝහල් තුළ තොරතුරු ලබා දීමේ දී යම් ප්‍රමාද වීම් සිදුවන බවද දැකිය හැකි විය.

එහිදී අප විසින් නිරීක්ෂණය කළ තත්ත්වයක් වූයේ ඇතැම් රෝහල් තුළ එසේ අන්තර්ජාලයට ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් නොමැති වීම හේතුවෙන් වෙබ් අඩවියට තොරතුරු ඇතුළත් කිරීම සිදු නොවන බවය. එසේම ඇතැම් රෝහල් තුළ රෝගීන්ගේ තොරතුරු ඇතුළත් කිරීම සඳහා පවතින ප්‍රමාදය හේතුවෙන් රෝගියා රෝහලට ඇතුළත් වී සතියකටත් වඩා කාලයක් ඉක්ම ගිය පසු එම තොරතුරු වෙබ් අඩවියට ඇතුළත් කිරීම සිදුවන බව ද දැකිය හැකි විය.

රෝගියෙකුට ඩෙංගු රෝගය වැළඳීමෙන් පසු එම රෝගියාගෙන් වෙනත් තැනැත්තෙකුට රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා මුල් දින 5 තුළ කටයුතු කිරීම වැදගත්ය. එහෙත් එම ඩෙංගු රෝගියා පිළිබඳ තොරතුරු ලබා දීම මෙසේ ප්‍රමාද වීම හේතුවෙන් ඩෙංගු පැතිරීම වැළැක්වීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රමාද වීම තුළ නැවතත් එම රෝගියාගෙන් වෙනත් පුද්ගලයින්ට රෝගය ව්‍යාප්ත වීම සිදුවිය හැකිය. ඒ අනුව මෙම තත්ත්වය අතිශයින් කණගාටුදායක තත්ත්වයක් වන බැවින් මේ සඳහා වහා ක්‍රියාත්මක වී මෙම ප්‍රමාද වීම් සිදුවීම වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතු වේ.

එසේම මෙහිදී විශේෂයෙන් අවධාරණය කළ යුතු කරුණක් වන්නේ ඩෙංගු මර්දනය සඳහා කවර ආකාරයේ වැඩසටහන් ක්‍රියාත්මක කළද ඇතැම් ප්‍රදේශවල දැකිය හැකි වන මෙවැනි ආකාරයේ ප්‍රමාද වීම්වලට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කිරීම ද වැදගත් වන බව ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන අතරතුර අදාළ බලධාරීන් විසින් අවධානය යොමු කළ යුතු කරුණක් වන බවයි. ඒ අනුව යම් පුද්ගලයෙකු ඩෙංගු රෝගයට ගොදුරු වූ පසු එම පුද්ගලයා ඩෙංගු රෝගියෙකු බවට පත්කළ පරිසරය තුළ තවත් පුද්ගලයින් ඩෙංගු රෝගීන් බවට පත්කරන සාධක අනිවාර්යයෙන්ම දැකිය හැකි වන බැවින් රෝගීන් පිළිබඳ තොරතුරු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල තුළ යාවත්කාලීන කිරීම කාර්යක්ෂමව සිදු කිරීම අත්‍යවශ්‍ය වේ.

කෙසේ වුවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ඔස්සේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට රෝගීන් පිළිබඳ තොරතුරු ලබා දීම කාර්යක්ෂම කිරීම සඳහා ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කරන සෑම රෝහලක් තුළම ඒ සඳහා ක්‍රියාකළ යුතු නිලධාරියෙක් සේවයේ යෙදවීම කළ හැකිය. එම නිලධාරියාට අන්තර්ජාලය ඔස්සේ රෝගීන්ගේ  තොරතුරු ඇතුළත් කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දීම තුළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කාර්යක්ෂමව අදාළ ස්ථාන පරීක්ෂා කිරීමේ කාර්යයයේ නිරතවිය හැකිය.

ඒ අනුව අවසාන වශයෙන් අවධාරණය කළ යුතු වන්නේ දිවයිනේ ඇතැම් රෝහල් තුළ දැකිය හැකි ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම සඳහා බලපාන මෙම තත්ත්වයට පිළියම් යෙදීමට කටයුතු කිරීම ඉතා ඉක්මනින් සිදු කළ යුතු බවය. ඒ සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය අප විසින් හෙළිදරව් කරනු ලැබූ මෙම තත්ත්වය කෙරෙහි වහා යොමු කර එම ප්‍රමාද වීම් වළක්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග හැකි ඉක්මනින් ක්‍රියාවට නැංවීමට කටයුතු කළ යුතුය. මන්ද යත් එසේ නොවුණහොත් ඩෙංගු රෝගය තවදුරටත් ව්‍යාප්ත වීමෙන් තවත් බොහෝ පිරිසක් ඩෙංගු රෝගීන් බවට පත්වීම නියත වශයෙන්ම සිදුවන බැවිනි.

2017.07.25 – අද පුවත්පත

මෙම ලිපිය පිළිබඳ ඔබගේ අදහස් පහතින් සටහන් කරන්න.
ඔබ මෙහි පළ කරන අදහස් මම ඉතා අගය කොට සලකමි.
මාගේ නවතම ලිපි පිළිබඳ දැන ගැනීමට මාගේ Facebook පිටුවට Like කරන්න. නැතහොත් ඔබගේ E-mail ලිපිනය Subscribe කරන්න.

 1,406 total views,  1 views today

Comments

comments