මෙම සටහන තැබිය යුතු බව සිතුණේ මේ දිනවල සමාජ මාධ්‍ය අවකාශයේ හා විශේෂයෙන්ම බ්ලොග් අවකාශය තුළ සංවාදයට බඳුන්වන සමාජයේ ඉමහත් ආන්දෝලනයකට ලක්වී ඇති ඉරාජ්ගේ අලුත්ම වීඩියෝ නිර්මාණය සම්බන්ධයෙන් මාගේ අදහස කුමක්දැයි පැවසීම සඳහාය. මා එය ගීත රූප රචනාවක් වශයෙන් හැඳින්වීමෙන් වැළකී හුදු වීඩියෝ නිර්මාණයක් වශයෙන් පමණක් හැඳින්වීමට ද හේතුවක් තිබේ. එනම් ගීත රූප රචනයක් තුළින් ගීතය හා ගායකයා ඉස්මතු විය යුතු වුවත් ඉරාජ්ගේ එම වීඩියෝව තුළින් එවැන්නක් සිදුනොවී හුදු වීඩියෝව පමණක් ඉස්මතු වීම හේතුවෙන් එය වීඩියෝවක් වශයෙන් පමණක් හැඳින්වීම සුදුසුවන බව මාගේ හැඟීමයි. ඒ අනුව ඉරාජ්ගේ එම වීඩියෝවට මෙරටේ අතිප්‍රවීණ ගායන ශිල්පියෙකුගේ අතිශය පෞද්ගලික ජීවිත කතාව පදනම් කරගෙන තීබීම සම්බන්ධයෙන් මාගේ මෙම සටහන තබමි.
ඉරාජ්ගේ මෙම නවතම වීඩියෝව නිකුත් වීමටත් පෙරම ප්‍රසිද්ධියට පත්වී තිබුණේ එහි රඟපාන පියුමි හංසමාලි නැමැති නිරූපිකාව එම වීඩියෝවට සිය නිරුවතින් දායක වූ බව අන්තර්ජාලය තුළ පැතිරී යාම හේතුවෙනි. විශේෂයෙන්ම මෙම නිරූපිකාව ද සමාජ මාධ්‍ය තුළ වැඩි වශයෙන් කතාබහට ලක්වන නිරූපිකාවක් වීම මෙන්ම මීට පෙරද ඇගේ යැයි පැවසුණු අඩනිරුවත් ඡායාරූපයක් අන්තර්ජාලයේ සංසරණය වීම ආන්දෝලනයක් ඇතිකළ සිදුවිමක් වූ බැවින් ඇගේ නිරුවත කෙසේ වෙතත් ඇගේ අඩ නිරුවත හෝ දැක ගැනීමට සෙක්ස්වලින් ලෝකයෙන්ම කප් ගැසූ අපේ රටේ පුද්ගලයින් තුළ තිබුණු නොසන්සිඳෙන ආශාවට ඉරාජ් මෙම වීඩියෝවෙන් සාධාරණයක් ඉටු කරනු ඇතැයි බොහෝ දෙනා දෙනෙත් දල්වා බලා සිටිය ද සිදුවූයේ වෙනත් දෙයකි. මන්ද යත් ඉරාජ් සිතා සිටි අන්දමට මෙම වීඩියෝවෙන් ඔහු වික්ටර් රත්නායක නැමති මෙරටේ විශිෂ්ට සංගීතඥයාගේ නිරුවත ලෝකය හමුවේ ප්‍රදර්ශනය කර, තමන් තරම් නිර්භීත වැඩකාරයෙක් අපේ රටේ තවත් නැතැයි සිතුවත් සැබැවින්ම සිදුවී තිබුණේ ඉරාජ්ගේ නිරුවත මෙම වීඩියෝවෙන් ප්‍රදර්ශනය වීමය. එනම් පියුමිගේ නිරුවත දකින්නට පුලපුලා බලා සිටි අපේ රටේ මිනිස්සුන්ට පෙනුණේ වික්ටර්ගේවත්, හෂිනිගේවත්, පියුමිගේවත් නිරුවත නොව ඉරාජ්ගේම නිරුවතයි.
මෙසේ සිය අලුත්ම වීඩියෝවෙන් තමාගේම නිරුවතේ ස්වරූපය ලෝකය හමුවේ ප්‍රදර්ශනය කළ ඉරාජ් මියුසික් වීඩියෝ නැමති ලේබලයට මුවාවී නිරූපිකාවන්ගේ අඩනිරුවත අන්තර්ජාලය තුළ මාකට් කිරීමේ පුරෝගාමියා බවට පත් වූ ආකාරයටම, එනම් අපේ රටේ සංස්කෘතියට එරෙහි ඉරාජ්ගේ කැරැල්ලේ දෙවන අදියර මෙම වීඩියෝව තුළින් සනිටුහන් කරන බව මාගේ අදහසයි. එනම් මියුසික් වීඩියෝ යැයි කියා ගනිමින් ගීත ජනප්‍රිය කිරීම අරමුණු කරගත් අඩ නිරුවත් කාම සංස්කෘතිය අපේ රටට හඳුන්වා දුන් ඉරාජ් එහි දෙවන සංස්කරණය වශයෙන් දැන් රට හමුවේ ඉදිරිපත් කර ඇත්තේ අපේ රටේ ජනකාන්ත පුද්ගලයින්ගේ අතිශය පුද්ගලික ජීවිත සිය වීඩියෝ තුළින් නිරූපණය කිරීමේ ක්‍රියාවලියයි. කෙසේ වුවත් ඇතැම් ගීත රූප රචනා තුළ මීට පෙර ද එවැනි දෑ සිදුවී නොමැතිදැයි කිසිවෙකු හෝ ප්‍රශ්න කළ හැකිය. එහෙත් ඔවුන්ට ලබා දිය හැකි සරලම පිළිතුර වන්නේ යම් කලාත්මක ආකෘතියක් තුළ පිහිටා සංයමයකින් යුතුව ජනප්‍රිය පුද්ගලයින්ගේ ජීවිත ඇසුරින් කලා නිර්මාණ සිදු කිරීම වරදක් වශයෙන් දැකිය නොහැකි වුවත් ඉරාජ් සිදුකර ඇති අන්දමට ජනප්‍රිය පුද්ගලයෙකුගේ ජීවිත කතාවක් පහත් ලිංගික හැඟීම් ඉස්මතු කරන අන්දමට නිරූපණය කිරීම සහ කලා නිර්මාණයකින් රසිකයින් තුළ ඇතිකළ යුතු මානසික සංයමය වෙනුවට කවර හෝ පාර්ශවයකට මානසික පීඩාවක් ඇතිවන අන්දමින් කටයුතු කිරීම කිසිසේත් සුදුසු නොවන බවයි. විශේෂයෙන්ම ඉරාජ්ගේ මෙම නවතම වීඩියෝව තුළින් ලිංගික ක්‍රියා පහත් කාමුක රසයක් ඇතිවන අන්දමින් නිරූපණය කිරීම සහ නිර්මාණයකට කිසිසේත් නොගැළපෙන ආකාරයේ නිරූපණය කිරීම් සිදුකීරීම අප විසින් දැඩිව හෙළා දැකිය යුතු වේ.
ඉරාජ් විසින් මීට පෙර හඳුන්වා දුන් නිරූපිකාවන් මාකට් කිරීමේ ප්‍රවණතාව ඉරාජ්ට පසුව වෙනත් වීඩියෝ අධ්‍යෂක්ෂකවරු විසින් ඉරාජ්ටත් වඩා හොඳට ඉදිරියට පවත්වාගෙන ආ ආකාරයට ඉරාජ්ගේ මෙම නවතම හඳුන්වාදීම ද අනාගතයේ දී අපේ රටේ අලුත් ප්‍රවණාතවක් බවට පත්වීමට ඉඩ ඇත. එසේ වුවහොත් අපේ රටේ බොහෝ ජනප්‍රිය කලාකරුවන්ගේ ජීවිත කතා අතිශය පහත් අන්දමට ලිංගික හැඟීම් ඉස්මතු වන පරිදි ප්‍රතිනිර්මාණය වීමට ඉඩ තිබේ. එය කිසිසේත් සිදු නොවිය යුත්තක් වන අතර ඉරාජ්ගේ මෙම වීඩියෝවට එරෙහිව විරෝධතා එල්ල වී ඇති අයුරින් එම සෑම විඩියෝවක්ම ප්‍රතික්ෂේප කිරීමට කළ යුතුය.
ඒ අනුව පැවසිය යුතු වන්නේ ඉරාජ් වැනි පුද්ගලයින් රටේ ජනප්‍රිය පුද්ගලයින් ලෙස පිළිගත් අපේ රටේ ජනතාවම ඔහුගේ මෙවැනි අනුමත කළ නොහැකි ක්‍රියාවන්වලට එරෙහිව නැඟී සිටීමින් නිර්මාණ යැයි කියා ගන්නා පහත් ගණයේ වෙළෙඳභාණ්ඩ ප්‍රතික්ෂේප කිරීමට දෙවරක් නොසිතා කටයුතු කළ යුතු බවය. එවැනි ආකාරයට ඉරාජ්ගේ මෙම වීඩියෝවට එරෙහිව යම් විරෝධතා ව්‍යාපාරයක් මේ වනවිට සමාජ ජාල වෙබ් අඩවි තුළ ක්‍රියාත්මක වෙමින් පැවතීම ද සාධනීය තත්ත්වයකි. එනම් ඉරාජ් විසින් නිර්මාණ යැයි කියා ගනිමින් සමාජය හමුවේ තබන ඕනෑම දෙයක් ෂා මරු යැයි කියමින් වැළඳගන්නා අවිඥානික රසිකයන් පිරිසක් වෙනුවට ප්‍රතික්ෂේප කළ යුතු දෑ වෙනුවෙන් හඬනගන පිරිසක් ඉන්නා බව දැනගැනීමට ඉරාජ්ට ද මෙය ඉතා වැදගත් අවස්ථාවකි. එබැවින් මෙවැනි ආකාරයේ පහත් වීඩියෝ නිර්මාණය කරමින් තම සාක්කුව පුරවා ගැනීමට පමණක් කටයුතු කරන ඉරාජ්ගෙන් වහනය වන කුණු වූ මානසිකත්වයේ දුඟඳ සුවඳක් සේ භාර ගැනීමට අපේ රටේ පුද්ගලයින් තවදුරටත් සූදානම් නැති බව පමණක් අවසාන වශයෙන් පැවසිය යුතුය.
ආශ්‍රිත ලිපි
ලංකාවේ සෙක්ස් මියුසික් වීඩියෝ වලින් ගොඩ යන නිරූපිකාවන්ගෙයි වල පල්ලට යන ගායකයින්ගෙයි කතාව
මෙම ලිපිය පිළිබඳ ඔබගේ අදහස් පහතින් සටහන් කරන්න.
ඔබ මෙහි පළ කරන අදහස් මම ඉතා අගය කොට සලකමි.
මාගේ නවතම ලිපි පිළිබඳ දැන ගැනීමට මාගේ Facebook පිටුවට Like කරන්න. නැතහොත් ඔබගේ E-mail ලිපිනය Subscribe කරන්න.
1,503 total views, 1 views today
ඔබ කියා ඇති පරිදිම ඕනෑම දෙයක් මරු යැයි කියමින් වැළඳගන්නා අවිඥානික රසිකයන් පිරිසක් මේ රටේ ඉන්නා නමුත් එවැනි පහත් රසය දනවන කසි කබල් නිර්මාණ ප්‍රතික්ෂේප කළ යුතුයැයි හඬ නගන බුද්ධිමත් රසිකයන් පිරිසක්ද ඉන්නා බව දැනගැනීමට ලැබීම මහත් සතුටට කරුණකි. ඔබේ විචාරය මැදහත් ලෙස, ශිෂ්ඨ බසින් කර ඇතද, ඉරාජ්ට හොඳින් තේරෙන “බජාර්” එකේ භාෂාවෙන් කළ ඉතා තියුණු අදහස් දැක්වීම් ගණනාවක් මා දැක ඇත. ඉතින් අපට සතුටු විය හැක්කේ ගැහැණියකගේ නිරුවත පෙන්වා නිහීන ලෙස මුදල් ඉපැයූ කාලයත් ළඟදීම අවසන් විය හැකි බව සිතෙන විටය.
මාගේ ලිපිය සම්බන්ධයෙන් ඔබ දැක්වූ අදහසට ස්තූතිවන්ත වනවා. ඔබ පවසන පරිදි ගැහැණියකගේ නිරුවත පෙන්වා පහත් අන්දමට මුදල් ඉපයීමට එරෙහිව අපේ රටේ ජනතාව එරෙහි වන කාලයක් ඉදිරියේදී එළඹිය හැකි වුවත් ඒ සඳහා අපේ රටේ පුද්ගලයින්ගේ මානසිකත්වය දැන් පවතින තත්ත්වයට වඩා බොහෝ දියුණු මානසිකත්වයක් දක්වා පරිවර්තනය වීම අවශ්‍ය බවයි මාගේ අදහස වන්නේ.