නුවන් ජයතිලක නම් තරුණ නිර්මාණකරුවාගේ “සුළඟ අප රැගෙන යාවි” නැමති කුළුඳුල් චිත්‍රපටය මේ දිනවල සිනමා ශාලාවල ප්‍රදර්ශනය වේ. එම සිනමා නිර්මාණය පිළිබඳ සමාජ මාධ්‍ය අවකාශය හා බ්ලොග් අවකාශය තුළ මෙන්ම පුවත්පත් ඇතුළු ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය අවකාශය තුළ ද විවිධ අදහස් පළවෙමින් තිබේ. නුවන්ගේ එම චිත්‍රපටය නවකයෙකුගේ තවත් හුදු චිත්‍රපටයක් ලෙස පමණක් සලකා බැහැර කළ නොහැකි බව මාගේ අදහසයි. මේ ඒ පිළිබඳව තබන සටහනකි.
ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී තිරගත වූ නුවන්ගේ “සුළඟ අප රැගෙන යාවි” චිත්‍රපටයේ මංගල දර්ශනය නරඹා පැමිණ චිත්‍රපටය පිළිබඳ මට දැනුණ හැඟීම විස්තර කර එදින රාත්‍රියේදීම මම සටහනක් තැබුවෙමි (මාගේ මුල් සටහන මෙතනින්). විශේෂයෙන්ම බොහෝ චිත්‍රපට නරඹා ශාලාවෙන් පිටතට පැමිණෙන විට හිසට දැනෙන බර ගතියත්, සංකීර්ණ සිතුවිලිවල පැටලීම නිසා ඇතිවන ව්‍යාකූලත්වයත් වෙනුවට නුවන්ගේ “සුළඟ අප රැගෙන යාවි” චිත්‍රපටය සෞම්‍ය විඳීමක උත්කර්ශය කරා අප රැගෙන යන බව ප්‍රකාශ කළ හැකිය. ප්රචණ්ඩත්වය හා වෛරය පිරි සිතුවිලි වෙනුවට නිවුන සිතුවිලි මනසේ ඇති කරන රූප රාමු මෙන්ම කතා වස්තුවකින් ද නුවන්ගේ චිත්‍රපටය අපට මානසික ඔසුවක් බවට පත්වෙයි.
කර්මාන්තයක් ලෙස ලාංකේය සිනමාව ගොඩනැඟීමේ කාලීන අවශ්‍යතාව හමුවේ සංකීර්ණ කතා තේමා, සංකීර්ණ සිදුවීම් පදනම් කර ගත් චිත්‍රපට ඉහළ සිනමා සාක්ෂරතාවක් සහිත ප්‍රේක්ෂකයින් වෙනුවෙන් නිර්මාණය කිරීම හෝ ප්රචණ්ඩත්වය ඉස්මතු කෙරෙන චිත්‍රපට නිර්මාණ කිරීම මෙන්ම අවර ගණයේ හාස්යෝත්පාදන චිත්‍රපට නිර්මාණය කිරීම තුළ සෑම විටම සීමා සහිත ප්‍රේක්ෂක සංඛ්‍යාවක් සිනමා ශාලා තුළට පැමිණීම පිළිබඳ ගැටලුවකට නිෂ්පාදකයා මුහුණපායි. මන්ද යත් එම සිනමා පට සිය පුද්ගලික රුචි අරුචිකම් මත නැරඹීමෙන් වැළකී සිටින ප්‍රේක්ෂක ප්‍රජාවක් ද සිටින බැවිනි. එහෙත් නුවන්ගේ “සුළඟ අප රැගෙන යාවි” චිත්‍රපටයට මනසට සැහැල්ලු වින්දනයක් අපේක්ෂා කරන ප්‍රේක්ෂකයින් අතරට යමින් අනෙකුත් බොහෝ චිත්‍රපටවලින් අත්විඳිය නොහැකි රසාස්වාදයක් ලබාදිය හැකි නිර්මාණයක් ලෙස මම දකිමි.
නුවන්ගේ චිත්‍රපටයේ කතාව සරලය. එසේම ආයාසයෙන් නිරවුල් කරගත යුතු සිදුවීම් හෝ පැටලිලි සහගත අවස්ථා ද නොමැත. එනම් නුවන් කටයුතු කර ඇත්තේ නිරායාසයෙන් රසවිඳිය හැකි තේමාවක් තුළ අනායාසයෙන් රූප රාමු පෙළගැස්වීමටයි. ග්‍රාමීය පරිසරයක කතාවක් ළමුන් ඇසුරින් ගොඩනඟා ඇති නුවන් ගැමි සෞන්දර්යය ද භාෂාවක් ලෙස භාවිත කරමින් චිත්‍රපටය ප්‍රේක්ෂකයා හමුවේ ඉදිරිපත් කරයි. මාගේ අදහස අනුව නම් එය ළමුන් යොදා ගනිමින් පොදු ප්‍රේක්ෂකයා වෙනුවෙන් තැනූ සිනමා පටයකි. එය කිසිසේත් ළමා චිත්‍රපට තේමාවක් ලෙස ගෙන චිත්‍රපටයේ වටිනාකම අඩුවෙන් තක්සේරු නොකළ යුතු බව ද මම විශ්වාස කරමි.
නුවන්ගේ මෙම සිනමාත්මක ප්රයත්නය කර්මාන්තමය නව සිනමාවක් මෙරට තුළ බිහිකිරීම සඳහා දරණ ලද උත්සහයක් ලෙස ද හැඳින්විය හැකිය. එනම් නගරවල ජීවත් වන හෝ දෛනිකව නගරවලට යමින් එමින් බොහෝ පිරිසක් ගත කරන කාර්යබහුල ජීවන රටාව හමුවේ මනස නිවන, මනස සුවපත් කරන මෙන්ම වර්තමානයේ බොහෝ දෙනෙකුට අත්විඳීමට නොහැකිවී මඟහැරුණු සුන්දර ගැමි දිවිය පැයකට දෙකකට හෝ විඳීමට අවස්ථාව ලැබෙන මෙවැනි චිත්‍රපටයක් නිර්මාණය වීම වැදගත් බව මාගේ හැඟීමයි. එය නැවත සිනමා ශාලාවට ප්‍රේක්ෂකයින් කැඳවන සිනමාත්මක ප්රයත්නයක ඇරඹුමක් වන බව ද සඳහන් කළ යුතුය.
ඒ අනුව නුවන්ගේ “සුළඟ අප රැගෙන යාවි” චිත්‍රපටය කර්මාන්තමය සිනමාවට විකල්පයක් බව මගේ හැඟීමයි. එනම් කර්මාන්තමය සිනමාව යළි ගොඩනැඟීමට කාර්යබහුල ජීවන රටාව තුළ මනස නිවන චිත්‍රපට වැඩි වශයෙන් නිර්මාණය කරමින් සැහැල්ලු රසවින්දනයක් අපේක්ෂා කරන ප්‍රේක්ෂක ප්‍රජාවට ආමන්ත්‍රණය කළ යුතුය. එමඟින් බහුතර ප්‍රේක්ෂකයින් පිරිසක් සිනමා ශාලා වෙත කැඳවමින් නව කර්මාන්තමය සිනමාවක් ලාංකේය සිනමාව තුළ යළි ගොඩනැංවීමට කටයුතු කළ යුතුය. නුවන් ඒ සඳහා ආරම්භක පියවර තබා තිබේ. මෙසේ ලාංකේය සිනමාවේ නව පරිච්ඡේදයක් ඇරඹිය හැකි “සුළඟ අප රැගෙන යාවි” ඔබ නැරඹිය යුතුම චිත්‍රපටයක් වන්නේ එබැවිනි.
චිත්‍රපටය පිළිබඳ වැඩිදුර විස්තර සඳහා එහි ෆේස්බුක් පිටුවට පහතින් පිවිසෙන්න.
https://www.facebook.com/TheWindBeneathUs
1,064 total views, 1 views today