0

හාරකෝටියේ රංජි හෙවත් රොහාන් ජනප්‍රියම නළුවාට හිමි කිරුළ කරා රැගෙන යමු

ස්වර්ණවාහිනී නාලිකාවෙන් සතියේ දිනවල රාත්‍රී 7.30 ට සහ රාත්‍රී 9 ට විකාශය වන “හාරකෝටිය” ටෙලි නාට්‍යය මේ දිනවල මෙරටේ රූපවාහිනී ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රියතම ටෙලි නාට්‍යයක් බවට පත්වී ඇති බව පැවසිය හැකිය. මන්ද යත් එම ටෙලි නාට්‍යය සම්බන්ධයෙන් සමාජය තුළ නිර්මාණය වී ඇති කතාබහ මෙන්ම ඒ සඳහා සාක්ෂි සපයන තවත් ප්‍රධාන හේතුවක් ද ඉදිරිපත් කළ හැකි බැවිනි. එම හේතුව වන්නේ එළඹෙන 24 වන දින පැවැත්වීමට නියමිත රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ ජනප්‍රියතම නළුවා සහ ජනප්‍රියතම නිළිය සඳහා වන සම්මාන සඳහා මෙම හාරකෝටිය ටෙලි නාට්‍යයේ නළු නිළියන් කිහිපදෙනෙකුම නිර්දේශ වී තිබීමය. ඔවුන් එසේ නිර්දේශ වන්නේ ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයින් විසින් ලබා දෙන කෙටි පණිවුඩ ඔස්සේ වන බැවින් හාරකෝටිය ටෙලි නාට්‍යය කෙතරම් ආදරයෙන් ප්‍රේක්ෂකයින් විසින් වැළඳගෙන ඇති ටෙලි නාට්‍යයක් ද යන්න ඒ ඔස්සේ වඩාත් තහවුරු වේ.

එසේ මෙම හාරකෝටිය ටෙලි නාට්‍යය ප්‍රේක්ෂකයින් අතර වඩාත් ජනප්‍රිය වීම සඳහා බලපෑ එක් සුවිශේෂී නළුවෙකුගේ රංගන හැකියාව පිළිබඳව ද මේ දිනවල කතාබහට ලක් වේ. ඔහු ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට නවක නළුවෙක් වුවත් ඔහු සතු රංගන කෞෂල්‍යය ඔස්සේ හාරකෝටිය ටෙලි නිර්මාණය තුළ ඔහුට හිමිවී ඇති චරිතයට ඉතා ආකර්ෂණීය අන්දමින් පණ පොවමින් ප්‍රේක්ෂකයින්ගේ අවධානය දිනා ගැනීමට ඔහු සමත් වී තිබේ. ඔහු නමින් රොහාන් විජේතුංග හෙවත් හාරකෝටියේ රංජිය. ඔහු වෙනුවෙන් මා මෙම සටහන තබන්නේ මෙරටේ බොහෝ ජනප්‍රිය නළුවන් සමඟ කරට කර සටනක නියැලෙමින් ප්‍රේක්ෂකයින්ගේ මනාප විශාල ප්‍රමාණයක් ලබා ගෙන මෙවර රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ ජනප්‍රියම නළුවාට හිමි සම්මානය සදහා ප්‍රේක්ෂකයින් වෙතින් නිර්දේශ වී සිටින ජනප්‍රියම නළුවන් පස් දෙනා අතර මොහුගේ නමත් ඉදිරියෙන්ම ඇති නමක් බවට පත් වී ඇති නිසාවෙනි.

රොහාන් මට මුණගැසෙන්නේ මාගේ සරසවි ජීවිතයේ මිත්‍රයෙකු වශයෙනි. පසුව සරසවියේ දී ඔහු රඟපෑ වේදිකා නාට්‍ය නැරඹීමෙන් ඔහුගේ ප්‍රේක්ෂකයෙකු බවට පත්වන මා හාරකෝටිය ටෙලි නිර්මාණය නැරඹීම ඔස්සේ ඔහුගේ රංගනයට ඇලුම් කරන්නෙක් බවට පත්වේ. එබැවින් මෙම සටහන එක් අතකින් මා රොහාන් සමඟ පවත්නා හිතවත්කම හේතුවෙන් මෙන්ම ඔහුගේ අති දක්ෂ රංගන කුසලතාවන් වලට ආකර්ෂණය වූ ප්‍රේක්ෂකයෙකු වශයෙන් ද තබන සටහනකි.

ප්‍රේක්ෂකයින් විශාල පිරිසකගේ ආදරයට හා  ප්‍රේක්ෂකයින් විශාල පිරිසක් අතර ජනප්‍රියත්වයට පත්වන නළුවෙකු බවට පත්වීම සඳහා නළුවෙකු තුළ දක්ෂතාවට අමතරව වාසනා ගුණය ද පැවතිය යුතුය. ඒ අනුව රොහාන් මෙම සාධක දෙකෙන්ම පරිපූර්ණ වූ පුද්ගලයෙකු බව පැවසිය හැකිය. සරසවියේ වේදිකාව මතදී ඔහු ප්‍රකට කළ රංගන කෞෂල්‍යය අනාගතයේ දී ඔහු මෙරටේ ඉතා දක්ෂ හා ජනප්‍රිය නළුවෙකු බවට පත්වන බවට වූ ඉඟියක් වුවත් එම තත්ත්ව නළුවෙකුට ලබා ගත හැකි වන්නේ ඔහුට හිමිවන අවස්ථා සහ එම අවස්ථා ඔහු විසින් සිය දක්ෂතා ප්‍රදර්ශනය වන අයුරින් භාවිතා කළහොත් පමණි. ඒ අනුව හාරකෝටිය ටෙලි නාට්‍යයේ රඟපෑමට අවස්ථාව හිමිවන රොහාන්ගේ  ජීවිතයට වාසනාව කැන්දාගෙන එන්නේ එහි ඔහු විසින් රඟපෑ චරිතය වඩාත් සාර්ථක අයුරින් ඉදිරිපත් කිරීමට ඔහු කටයුතු කළ බැවිනි. එය එම ටෙලි නාට්‍යයේ එක් ප්‍රධාන චරිතයක් තරමටම ප්‍රේක්ෂකයින් අතර කතාබහට ලක්වීම තුළ හාරකෝටියේ වාසනාව හාරකෝටියේ හිමිකරුවන් බව සිතා ඉන්නා පුද්ගලයින්ට නොව රොහාන්ට හිමිවූ බව නිසැකය.

මෙම සටහන අවසන් කිරීමට පෙර රොහාන් සම්බන්ධයෙන් තවත් එක් කරුණක් ද මෙහි සිහිපත් කළ යුතුය. ඔහුට මෙසේ හාරකෝටිය තුළින් සිය රංගන දිවිය සාර්ථක කර ගැනීමට හැකි වන්නේ ඔහු තමා කෙරෙහි තැබූ විශ්වාසය හේතුවෙන් බව නිසැකය. එනම් රජයේ පාසලක ගුරුවරයෙකු බවට පත්වීම සඳහා ඔහුට ලැබුණු අවස්ථාව ඔහු අතහැර සිය රංගන හැකියාව පිළිබඳ විශ්වාසය තබා දැඩි ආත්ම විශ්වාසයෙන් යුතුව රංගනයේ නියැලීම සිය වෘත්තිය බවට පත්කර ගත් ඔහුට එහි ප්‍රතිඵල දැන් අත්වී තිබේ. එබැවින් ඔහුගේ එම උත්සාහය හා කැපවීම ජීවිතය සාර්ථක කර ගැනීමට උත්සාහ දරණ ඕනෑම අයෙකුට එම අරමුණ ඉටු කර ගැනීම සඳහා මහඟු ආදර්ශයක් සපයයි.

හිතවත් රොහාන් සොයුරානෙනි, මෙවර රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ ජනප්‍රිය නළුවාට හිමි සම්මානය ලබා ගැනීමට ඔබට හැකියාව ලැබේවායි මම හදවතින්ම ප්‍රාර්ථනා කරමි. ඒ සඳහා සියලු දෙනාගේ සහයෝගය ඔහුට ලබා දී එම කිරුළ කරා ඔහුව රැගෙන යමු.

 1,262 total views,  1 views today

Comments

comments