0

රටම හිනස්සන මිහිර සිරිතිලකගේ අව්‍යාජ ජීවන සටහන් එකතුව හෙවත් “දෙහි දොඩම් ප්‍රේමය”

මිහිර සිරිතිලක කියූ සැනින් අපගේ මුවඟට සිනාවක් නැඟෙන තරමට දැන් ඔහු මෙරටේ හාස්‍යෝත්පාදන චරිත අතර සලකුණක් තබා තිබේ. මුලින්ම වේදිකාවට පය ගසා ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන ඔහු ඉන්පසුව රූපවාහිනී වෙළෙඳ දැන්වීම් වල මෙන්ම විවිධ රූපවාහිනී වැඩසටහන් තුළිනුත් ඔහු අප හමුවට පැමිණ තිබේ. ඒ අතරින් ඔහු විසින් චරිත නිරූපණය කළ මාගේ මතකයේ රැඳී ඇති මා විසින් ඉතා ආශාවෙන් නැරඹූ ටෙලි නාට්‍යයක් වන රජකඩුව හා මේ දිනවල විකාශය වන මෙඩිසිනා ටෙලි නාට්‍යය තුළින් ද මෙම අපූරු රංගන ශිල්පියා සිය හාස්‍යෝත්පාදන රංගනය තුළින් රටම හිනැස්සවීමට සමත් විය.

එහෙත් මේ කියන්නට යන්නේ මිහිරගේ කවුරුත් දන්නා එම හාස්‍යෝත්පාදන චරිත ගැන නොවේ. එනම් මේ කියන්නට හදන්නේ රටම හිනස්සන ඔහුගේ රටම නොදන්නා ජීවිත කතාව පිළිබඳ ඔහු විසින්ම සිදු කළ අව්‍යාජ හෙළිදරව්වක් සම්බන්ධයෙනි. එය වූ කලී ඔහු විසින්ම සටහන් තැබූ ජීවන සටහන් එකතුවකි.

මිහිරගේ මෙම සටහන් පෙළ හේතු දෙකක් නිසා ඉතා වැදගත් වේ. එනම් ඉන් පළමු හේතුව වන්නේ රටම හඳුනන ජනප්‍රිය නළුවෙකු බවට පත්වීම සඳහා ඔහු කළ කැපකිරීම් ආධුනික නළුවෙකුට සිය ජීවිතය ගොඩනඟා ගැනීම සඳහා ආදර්ශයක් බවට පත්කර ගැනීමට හැකියාව ලැබෙන බැවිනි. එසේම එයින් දෙවන හේතුව ජනප්‍රියත්වයට පත් ඕනෑම පුද්ගලයෙකුට ආදර්ශයක් වශයෙන් සැලකිය හැකි කරුණකි. එනම් පුද්ගලයෙකු ජනප්‍රියත්වයට පත්වූ පමණින් ඔහු හෝ ඇය විසින් වසන් කර තබා ගන්නා ඔවුන්ගේ අතීතය පිළිබද තතු මෙහිදී මිහිර විසින් අව්‍යාජව හෙළිදරව් කර තිබීමය. එය එක් අතකින් ඔහුගේ අව්‍යාජත්වය පිළිබඳ සාක්ෂියකි. එසේම අනෙක් අතින් එය තමන්ගේ ජීවිතයට තමන් අවංක වීම පිළිබඳ නිදර්ශනයකි. එබැවින් ඔහුගේ එම උත්සාහය පිළිබඳව මෙසේ සටහනක් තැබීමට සිතුණේ ඔහුගේ චරිතවලට ආදරය කරන ප්‍රේක්ෂකයෙකු වන මා තුළ ඔහු සම්බන්ධයෙන් වූ ආකල්පය වඩාත් ගෞරවනීය තත්ත්වයකට පත්වීමට ඔහුගේ එම සටහන් පෙළ හේතු වූ බැවිනි.

මිහිර එසේ ඔහුගේ ජීවන අත්දැකීම් අව්‍යාජව හෙළිදරව් කරනු ලබන්නේ කෙටි කතා පෙළක් වශයෙනි. “දෙහි දොඩම් ප්‍රේමය” නමින් නම් කර ඇති එය පසුගිය මැයි මාසයේ දිනයක එළිදක්වනු ලැබීය. එම අවස්ථාවට සහභාගි වීමට මා හට අවස්ථාව නොලැබුණත් පසුගිය දිනයක මාගේ හිතවත් රංගන ශිල්පියෙකුගේ නිවසට ගිය අවස්ථාවක දී මිහිරගේ එම කෘතිය කියවීමට මා හට අවස්ථාව ලැබුණු බැවින් ඒ සම්බන්ධයෙන් මෙසේ සටහනක් තැබීම වැදගත් බව සිතුවෙමි.

මිහිරගේ මෙම කෙටි කතා කෘතිය තුළ කතා දහයක් ඔස්සේ ඔහු සිය ජීවන අත්දැකීම් හෙළිදරව් කර තිබේ. එනම් හර්තාල්, ක්‍රිෂ්ණජිනා තනියෙන්, සුදු, තාත්තා, කේන්තිය හෙළුවෙන්, සම්මානය, පෝය නැති දන්සල, පිනෝකියෝ, දෙහි දොඩම් ප්‍රේමය හා හුරතලය නැමති කෙටිකතා දහය ඔහුගේ මෙම කෘතියට ඇතුළත්ය.

මෙම සෑම කතාවක් තුළම ඔහු ළමා වියේ සිට විඳි විවිධ අත්දැකීම් ඉතා අව්‍යාජව සටහන් කර තිබේ. එනම් ඔහුගේ පාසල් වියේදී ඔහු විඳි අත්දැකීම් වල සිට රංගන ශිල්පියෙකු බවට පත්වීම සඳහා ඔහු කොළඹ පැමිණි අවධියේ දී ඔහු ලද අත්දැකීම් මෙන්ම රංගන ශිල්පියෙකු වශයෙන් කටයුතු කිරීමේ දී ඔහු ලද අත්දැකීම් ද මෙම කෘතිය තුළ අන්තර්ගතය. ඒ සෑම එකක්ම ඔහුගේ හදවතට දැනුණු ස්වරූපයෙන්ම එය කියවන්නාගේ හදවතටද දැනෙන අන්දමින් ඉදිරිපත් කිරීමට මිහිර දක්වා ඇති දක්ෂතාව අති විශිෂ්ටය.

එසේම ඔහුගේ අම්මා, තාත්තා පිළිබඳව මෙන්ම සිය සහෝදරයින් සම්බන්ධයෙන් ද ඔහු ඉදිරිපත් කරන අත්දැකීම් ඉතාම අව්‍යාජ අන්දමින් ඔහු ඉදිරිපත් කර තිබේ. විශේෂයෙන්ම අම්මා සහ තාත්තා පිළිබඳ ඔහු තුළ පවත්නා අප්‍රමාණ ආදරය මුසු ගෞරවය එම කෘතිය රසවිඳින අපගේ හදවත් තුළ ද ඒ අයුරින්ම ජනිත වේ. එය කෙතරම්දැයි කිවහොත් දෙනෙතට කඳුළු ඉනීමට තරම් ඔහුගේ එම ඇතැම් විස්තර කිරීම් හේතුවක් වන අතර පොත කියවන අපට ඒවා මෙතරම් සමීපව දැනෙන්නේ නම් ඒවා අකුරු කළ මිහිරට කෙතරම් තදින් ඒවා දැනෙන්නට ඇත්ද? එය සැබැවින්ම නළුකම ඉක්මවා ගිය අව්‍යාජ හදවතක් ඇති මිනිසෙකුට පමණක්ම කළ හැකි කාර්යයකි. විටෙක මිහිරගේ මෙම කාර්යය හාස්කමක් දැයි අපට සිතෙන්නේ ව්‍යාජ මිනිසුන් සමඟ අප ගත කරනා කෘතිම ජීවිත තුළ මිහිරගේ මෙම ක්‍රියාව අපගේ හදවත් වල ගැඹුරුතම ස්ථාන ස්පර්ශ කළ හැකි වියමනක් වන නිසාවෙනි.

මිහිරගේ මෙම ජීවන අත්දැකීම් අතර මාගේ සිත තදින්ම නතර වූ එක් තැනක් විය. එනම් ඔහු පවසන පරිදි සාර්ථක නළුවෙකු බවට පත්වීමේදී ඔහුට වැදගත් වූ හඬ හැසිරවීම පිළිබඳ පුහුණුව ඔහුට ලැබෙන්නේ පොලට ගොස් ඔහුගේම සුළු ව්‍යාපාරයක් වශයෙන් ලුණු විකිණීමේ දී පාරිභොගිකයින් කැඳවා ගැනීමට ඔහු කෑ ගැසීම හේතුවෙනි. “වතුරෙන්ම හැදෙනවා… වතුරෙන්ම නැසෙනවා…”  ආදී වශයෙන් කෑ ගසා ලුණු විකුණා හවසට කීයක් හෝ උපයා ගත්ත ද ඒ සොයා ගත් මුදලට වඩා ඔහු එයින් ලැබූ ජීවන පන්නරය කලා ක්ෂේත්‍රය තුළ ධෛර්යය සම්පන්නව නැඟී සිටීමට ඔහුට උපකාරී වී තිබේ. එසේම තාත්තා විසින් මුදලකට ඔවුන්ගේ වත්තේ වැඩ කිරීමට මොහුව යොමු කර ඊට ලබා දුන් මුදලට වඩා අතපය වෙහෙසා වැඩක් පලක් කර මහ පොළොව මත දෙපයින් නැගී සිටීමට තාත්තා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් මොහු ඉදිරිපත් කරන විස්තරය ද ඉතා වැදගත් හෙළිදරව් කිරීමක් බව මට සිතේ.

මිහිරගේ මෙම සෑම විස්තර කිරීමක්ම ඉතා සිත් ගන්නා සුළු ආකාරයෙන් හා සරල මෙන්ම රසවත් බස් වහරකින් ද ඔහු විසින් සටහන් කර තිබේ. කෘතිය අතට ගත් සැනින් එක හුස්මට එය කියවා අවසන් කිරීමට ආශාවක් ඇති වන්නේ ඔහුගේ එම රචනා ශෛලිය ඉතා ආකර්ෂණීය බසක් වන නිසාවෙනි. එය එතරම් රසවත් වී ඇත්තේ කිසිදු පුහු ආටෝපයක් ඔහු විසින් ඉදිරිපත් නොකරන බැවිනි. එනම් කොටින්ම කිවහොත් එම සෑම හිස්පිල්ලක්ම පාපිල්ලක්ම පවා ඔහුගේ අව්‍යාජ සිතුවිලි වල ජීවයෙන් පිරී තිබේ. එබැවින් මිහිරගේ නළුකම අමතක කර නළුකමට ඔබ්බෙන් ඇති ඔහුගේ සුන්දර මිනිසත්කම ස්පර්ශ කිරීමට ඔහුගේ මෙම අව්‍යාජ සටහන් පෙළ ඔස්සේ අපට අවස්ථාව ලැබී තිබේ.

මෙම සටහන අවසාන කිරීම සඳහා මිහිර ඔහුගේ එම කෘතියේ ස්තූතිය තුළ තබා ඇති සටහනක් මෙසේ ඉදිරිපත් කිරීම සුදුසු යැයි සිතුණි. මන්ද යත් ඔහුගේ මෙම ජීවන සටහන් එකතුව කෙතරම් අව්‍යාජදැයි තේරුම් ගැනීමට එයම පමණක්ම ප්‍රමාණවත් වන බැවිනි. ඔහුගේ එම සටහනින් මාගේ මෙම ලිපිය අවසන් කිරීමට පෙර මෙවැන්නක් ප්‍රකාශ කරමි. එනම් ඔබ ද අනිවාර්යයෙන්ම මෙම කෘතිය කියවා රස විඳිය යුතුය. ඒ මිහිර සිරිතිලක නැමති සොඳුරු රංගන ශිල්පියා ගැන දැන ගැනීමට පමණක් නොව ඔහුගේ එම ජීවන අත්දැකීම් හරහා ඔබට ද ඔබේ ජීවිතයේ ඔබ නොදුටු ඉසව්වකට පිවිසීමට මිහිරගේ මෙම “දෙහි දොඩම් ප්‍රේමය” තුළින් දොරටුවක් විවර කර ගත හැකි බැවිනි.

“මේ මගේ ජීවිතේ මට මුහුණ දෙන්න වුණ, මට සංවේදී වුණ සිදුවීම් කිහිපයක්. ඒ මිනිස්සු මට හමුවුණා. එකට හිනාවුණා. කතා කළා. ඔවුන් ඔවුන්ගේ ලෝකවල ගනුදෙනුව දිහා මං බලාගෙන හිටියා. සම්මාදන් වුණා. ඒ මෙහොතේ මට දැනුණු සංවේදනා එක්ක ඒ සිදුවීම ලියලා තියන්න පටන් ගත්තා. ඔබටත් එය විඳලා බලන්න දෙන්න හිතුණ නිසා පොතක් හැටියට පළකළා. ඔබත් එය විඳ බලන්න. යමක් හිතට දැණුනොත් කතා කරන්න.”  (ස්තුතිය – දෙහි දොඩම් ප්‍රේමය)

මෙම ලිපිය පිළිබඳ ඔබගේ අදහස් පහතින් සටහන් කරන්න.
ඔබ මෙහි පළ කරන අදහස් මම ඉතා අගය කොට සලකමි.
මාගේ නවතම ලිපි පිළිබඳ දැන ගැනීමට මාගේ Facebook පිටුවට Like කරන්න. නැතහොත් ඔබගේ E-mail ලිපිනය Subscribe කරන්න.

 1,667 total views,  1 views today

Comments

comments