0

දහක් දුක් කඳුළැලි මැද – ලද උපාධියෙ සතුට අපමණ

ගෞරවනීය උපාධි ප්‍රධානෝත්සවයකින් උපාධියක් ලබා ගැනීම පිටුපස පැවසිය යුතු කතාවක් සැවොම තුළ ඇත. මේ එසේ උපාධියක් ලබා ගැනීම පසුපස සැඟවී ඇති මගේ කතාවයි.

උපාධියක් ලබා ගැනීමේ සිහිනයත් සමඟ මා පොරබදින්නේ 2006 වසරේ සිටය. එනම් එතැන් පටන් 2017 වසරේ දී උපාධිය ලබා ගැනීම දක්වා හරියටම වසර 10 ක් ගතවී ඇත. කාලය අතින් සැලකීමේ දී එය ඉතා දිගු කාලයකි. එනිසා මා සමඟ උපාධි ලබා ගත් අනෙක් හැමෝටම වඩා මාගේ කතාව දීර්ඝ විය හැකිය. එය එක් අතකින් මාගේ මුළු ජීවිතයෙන් අඩකට මඳක් අඩු කාලයකි. එනම් මෙතෙක් ගතකළ ජීවිත කාලයෙන් අඩක් පමණ ගත කොට ලබා ගත් උපාධියේ වටිනාකම මෙතරම් යැයි කිව හැකිද? නොහැකිය. එබැවින් මේ උපාධිය ලබා ගැනීම දක්වා පැමිණි ගමන ජීවිතයට බොහෝ අත්දැකීම් ලබා දෙමින් විවිධ හැලහැප්පීම් මැදින් ආ ගමනක් බව අමුතුවෙන් කිව යුතු නැත. එනිසාය මෙහි වටිනාකම වචනයෙන් විස්තර කළ නොහැකි වන්නේ.

සරසවියට පිවිසීමට මා 2006 වසරේ සිට ගණිත අංශයෙන් උසස් පෙළ විභාගයට මුහුණ දීම සඳහා අමතර පන්ති වලට හා පාසලට ගිය නමුත් එය සාර්ථක නොවුණි. එය සාර්ථක නොවන බව දැන දැනම 2008 වසරේ දී ගණිත අංශයෙන් උසස් පෙළ විභාගයට මා පෙනී සිටියේ විභාග ප්‍රතිඵලය පිළිබඳ සියයට සියයක්ම පූර්ව නිගමනයක් ඇතුවය. ඒ අනුව මා බලාපොරොත්තු වූ පරිදිම එයින් මා අසමත් විය.

එසේ ගණිත අංශයෙන් උසස් පෙළට මුහුණ දී සරසවි ප්‍රවේශය ලැබිය නොහැකි බව මට ඉතාම හොඳින් පසක් වුවත් සරසවි පිවිසීමේ බලාපොරොත්තුව අත්හැරීමට මා කැමති වූයේ නැත. එනිසා දෙවන වතාවට ද ගණිත අංශයෙන් ‍උසස් පෙළ විභාගය නොලියා මා කලා විෂය ධාරාව හැදෑරීමට පටන් ගත්තේ කෙසේ හෝ එවර සරසවි පිවිසීමේ බලාපොරොත්තුව සාක්ෂාත් කර ගැනීම පිණිසය. එහෙත් ඒ ගමන අතරමඟ ද නොසිතූ විරූ බොහෝ බාධක වලට මුහුණ පෑමට මට සිදුවිය.

ඒ අනුව කලා විෂය ධාරාවෙන් මා උසස් පෙළ විභාගයට මුහුණ දීම සඳහා මා තෝරාගත් විෂයන් වූයේ භූගෝල විද්‍යාව, දේශපාලන විද්‍යාව හා සිංහල නැමැති විෂයන් තුනයි. 2008 වසරේදී මුල් වරට ගණිත අංශයෙන් මා උසස් පෙළ විභාගයට මුහුණ දී දෙවන වතාවේ ද එම විෂය ධාරාවෙන්ම පෙනී සිටීමට අයදුම් කර ඒ සඳහා පුනරීක්ෂණ පන්ති වලට පවා සහභාගි වුවත් විභාග ප්‍රවේශ පත්‍රය පවා ලැබී තිබිය දී එවර විභාගය නොලියා මා කලා විෂය ධාරාවේ පන්ති සඳහා යෑමට පටන් ගත්තේය.

කෙසේ වුවත් උසස් පෙළ නව විෂය නිර්දේශය යටතේ මුල් වරට 2011 දී විභාගය පැවැත්වුණු බැවින් ඒ සඳහා පෞද්ගලික අයදුම්කරුවන්ට පෙනී සිටිය නොහැකි බව ප්‍රකාශ වුණි. එහෙත් එය මා දැන ගන්නා විට කලා විෂය ධාරාවේ විෂයන් සඳහා මා අමතර පන්ති යාමට පටන් ගෙන වසරක් ගතවී තිබුණි. එහෙත් නව හා පැරණි විෂය නිර්දේශ වල අර්බුදය හේතුවෙන් භූගෝල විද්‍යා විෂයට මට පෙනී සිටීමට නොහැකි තත්ත්වයක් උද්ගත වූ අතර ඒ සඳහා අනුගමනය කළ හැකි වූ ක්‍රියාමාර්ගය වූයේ මා වෙනත් විෂයක් තෝරාගැනීමයි. ඒ අනුව වසරක් භූගෝල විද්‍යා විෂය සඳහා අමතර පන්ති ගොස් එම විෂයේ විෂය කරුණු ද වසරක් පුරා පාඩම් කර එම විෂය අතහැරීමට මට සිදුවිය. ඉන්පසුව මා තෝරා ගන්නේ ඉතිහාසය විෂයයි.

එහෙත් එය මා තෝරා ගත්තා යැයි කියනවාට වඩා එම විෂයට මා යොමු වීම අහම්බයක් බව පැවසීම වරදක් නැත. මන්ද යත් ඉතිහාස විෂය හැදෑරීමට මා කැඳවාගෙන යන්නේ මාගේ භූගෝල විද්‍යාව පන්තියේ ගුරුවරයාය. ඔහු නමින් ආතර් රණසිංහ ගුරුතුමාය. එතුමා වෙනත් ආයතනයක පැවැත්වෙමින් තිබූ ඉතිහාසය පන්තියක් වෙත මා කැඳවාගෙන ගොස් එම ඉතිහාසය පන්තියේ ගුරුවරයාට මාගේ අනාගතය භාර කරයි. එම ඉතිහාස ගුරුතුමා නිලන්ත විජයබණ්ඩාර ගුරුතුමාය. එතුමා පිළිබඳ ලිපියක් මා මීට පෙර “මගේ ලෝකයේ දුයිෂෙන්” නමින් ලියා පළ කර තිබේ. භූගෝලය පන්තියෙන් ඉතිහාසය විෂයට මා සංක්‍රමණය වීමේ සිදුවීම මාගේ ආනාගතය වෙනස් කිරීමට ප්‍රබලව බලපෑ මාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වූ බව පැවසිය හැකිය.

එසේ වසරක් එක් විෂයක් හදාරා වෙනත් විෂයකට මාරු වී එම විෂය වසරක් හදාරා සරසවි පිවිසීමේ අභියෝගය ජය ගැනීමට මට සිදුවිය. විශේෂයෙන්ම එම කිසිදු විෂයක් පිළිබඳව පාසල් අධ්‍යාපනයක් මා ලබා නොතිබූ බැවින් අමතර පන්ති වලින් ලබා ගන්නා දැනුමෙන් පමණක් විභාගය ජය ගත යුතු විය. ඒ අනුව පන්ති පැවැත්වෙන දින තුන හැරුණු විට අනෙක් දින පහම සම්පූර්ණයෙන්ම වැය කළේ පාඩම් කටයුතු කිරීම සඳහාය. එසේම නිවසේ සිට පාඩම් කිරීමට අමතරව බොහෝ විට පුස්තකාලයට ගොස් පාඩම් කිරීම හා විෂය කරුණු වලට අදාළ පොත් පරිශිලනය කිරීමට ද මම කටයුතු කළෙමි. ඒ පිළිබඳව “පුස්තකාල ඇතුළෙම ලොකු මහත් වුණ මගේ ජීවිතය” නැමැති ලිපිය තුළ දී මා විස්තර කර තිබේ.

මෙසේ සරසවි වරම් ලබා ගැනීම සඳහා උපරිම කැපවීමෙන් විභාගයට පාඩම් කර ඉමහත් වූ විශ්වාසයකින් මම විභාගයට මුහුණ දුන්නෙමි. එවර ප්‍රතිඵල එන විට මාගේ ප්‍රතිඵලය වූයේ ඒ දෙකක් හා බී එකකි. එහෙත් මාගේ බලාපොරොත්තුව තවදුරටත් දුරස් කරමින් ඉසෙඩ් අගයන් සම්බන්ධව ගැටළුවක් පැන නැගුණු බැවින් සරසවි ප්‍රවේශය නොලැබෙතැයි බලාපොරොත්තු කඩවීමත් තුළ සරසවි සිහිනය සාක්ෂාත් කර ගැනීමේ සිහිනය තවත් දුර යන බව දැනුණි. මෙම ඉසෙඩ් අගය සම්බන්ධ අර්බුදයට සාධාරණයක් ලබා ගැනීම සඳහා සිසුන් අධිකරණයේ සහාය පවා පැතීය. ඉසෙඩ් අගය සම්බන්ධයෙන් වූ එම නඩුව අවසානයේ දී විෂය මාලා දෙකට අදාළව වෙන් වෙන් වශයෙන් ඉසෙඩ් අගයන් ලබා දීමට තීරණය විය. අවසානයේ ඉසෙඩ් අගය සංශෝධනය කළ පසු සරසවි ප්‍රවේශය සඳහා නැවතත් බලාපොරොත්තු දල්වා ගැනීමට මට හැකි විය.

එසේ අපේක්ෂාවන් කඩවීම්, මානසිකව සිදුවූ වැටීම් අතරතුර සරසවි ප්‍රවේශය හිමිවීමේ සිහිනය යථාර්ථයක් බවට පත්වන්නේ එකල සරසවි සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක වූ නායකත්ව පුහුණු කඳවුරු වැඩපිළිවෙලේ හතරවන අදියරට එනම් අවසාන අදියරට මා තේරී ඇති බව අන්තර්ජාලය ඔස්සේ දැන ගැනීමත් සමඟය. එම දිනය ද මට අද මෙන් මතකය. එම සුභාරංචිය මා දැන ගන්නේ පරිගණක පාඨමාලා පවත්වන ආයතනයක මා සේවය කරමින් සිටියදීය. එතැන් පටන් මාගේ ජීවිතය නැවත උපන්නාක් මෙන් පරිවර්තනයකට ලක්විය.

එයින් පසු රන්ටැඹේ ශිෂ්‍යභට බලකා මූලස්ථානයේ දී සති දෙකක නායකත්ව පුහුණු කඳවුරකට සහභාගි වීමෙන් පසු සරසවියට ඇතුළත් වීමට මට අවස්ථාව උදාවිය. එම නායකත්ව කඳවුරේ සිටින අවස්ථාවේ දී අප තෝරා ගනු ලැබූ සරසවිය කුමක්දැයි යන්න අන්තර්ජාලයේ පළ කර තිබුණි. ඒ අනුව මා තේරී තිබුණේ රජරට විශ්වවිද්‍යාලයටය. එහෙත් ශ්‍රී පාලි මණ්ඩපයේ ජනමාධ්‍ය උපාධියට තෝරා ගැනීමට පැවති යෝග්‍යතා පරීක්ෂණයෙන් මා සමත්ව සිටි නිසා මා විසින් යොමු කළ අභියාචනය පිළිගැනීමෙන් පසු 2013 වර්ෂයේ මැයි මස 06 වන දින මා ශ්‍රී පාලි මණ්ඩපයට ඇතුළත් විය.

එතැන් පටන් වසර හතරක් පුරා අධ්‍යාපන කටයුතු මෙන්ම තවත් බොහෝ කාර්යයන් ගණනාවක නියැලීමට මට හැකිවිය. එහිදී ලද අත්දැකීම් පිළිබඳ මා මීට පෙර ලිපි ගණනාවකින්ම කරණු ඉදිරිපත් කර තිබේ. එසේ වසර හතරක් පුරා වෙහෙස වී බොහෝ කැපකිරීම් කර සම්පූර්ණ කළ උපාධියේ අවසානය ඉකුත් අගෝස්තු 2 වන දින පැවති ගෞරවනීය උපාධි උත්සවයෙන් සාර්ථකව නිමාවට පත්විය.

මෙසේ දහසක් දුක් කඳුළු විඳ ලබා ගත් උපාධියේ වටිනාකම මිල කළ නොහැකිය. එහි වටිනාකම ඇත්තේ ඒ සඳහා කළ කැපකිරීම් තුළය. එසේම මෙසේ මා පැමිණි ගමනේ දී මට නිබඳව දිරියක් වූ මාගේ ආදරණීය අම්මාට සහ තාත්තාට උපාධිය ලබා ගැනීම පිටුපස මාගේ කතාවේ සුවිශේෂී ගෞරවය හිමි වන බව නිහතමානීව සඳහන් කරමි. එමෙන්ම මාගේ පෙර පාසල් අවධියේ සිට මාගේ පාසල් සමය තුළත් ඉන්පසු මා සරසවි අධ්‍යාපනය ලබන විටත් ගුරුභවතුන්ගෙන් මා ලද දැනුම, කුසලතා හා ආකල්ප ද මෙම ජයග්‍රහණයට හේතු විය. තවද සරසවියේ දී මට හමුවූ මාගේ ආදරණීය පෙම්වතිය ද මෙම ගමනේදී මට දැවැන්ත ශක්තියක් විය.

උපාධි ප්‍රධානෝත්සවයෙන් පසු සරසවි ජීවිතය නිමා වුවත් සරසවිය ගැන කීමට තවත් බොහෝ දේ මා හට ඇත. ඒවා ඉදිරියේ දී පවසමි. එසේ උපාධිය ලබා ගැනීම සඳහා පැමිණි දුෂ්කර මඟ පිළිබඳව වූ මාගේ කතාව මෙතනින් අවසන් කළත් ඒ අතරතුර ලැබූ තවත් බොහෝ අත්දැකීම් ගැන ඉදිරියේ දී ඔබට පැවසීමේ බලාපොරොත්තුවෙන් මෙම ලිපිය නිමා කරමි.

මෙම ලිපිය පිළිබඳ ඔබගේ අදහස් පහතින් සටහන් කරන්න.
ඔබ මෙහි පළ කරන අදහස් මම ඉතා අගය කොට සලකමි.
මාගේ නවතම ලිපි පිළිබඳ දැන ගැනීමට මාගේ Facebook පිටුවට Like කරන්න. නැතහොත් ඔබගේ E-mail ලිපිනය Subscribe කරන්න.

ආශ්‍රිත ලිපි
මිනිසුන්-නොමිනිසුන්, මිතුරන් හා ප්‍රේමය මැද සරසවියේ සිව් වසරක මතකය

 1,890 total views,  1 views today

Comments

comments