2

දෙමව්පියන්ගේ කඳුළු වලට සාධාරණය ඉල්ලන රූපවාහිනී දැන්වීම්

මෙරටේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ නව රූපවාහිනී දැන්වීම් දෙකක් මේ දිනවල උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ මැදිහත් වීමෙන් රූපවාහිනී නාලිකාවල විකාශය කරනු ලබයි. “දරුවනි මේ කඳුළටද පිළිතුරක් සොයන්න” යනුවෙන් විකාශය වන මේවා ඔස්සේ දෙමව්පියන් දුක් මහන්සි වී උපයන මුදලින් සරසවි පැමිණ බංකොලොත් දේශපාලන ව්‍යාපාර වල අරමුණු ඉටු කර ගැනීම සඳහා පවත්වන උද්ඝෝෂණ ව්‍යාපාර හේතුවෙන් උපාධිය ලබා ගැනීම කල්ගත වීමේ අර්බුදය ඉතා මානුෂීය ස්වරූපයෙන් සාකච්ඡා කරනු ලබයි.

ඉතිහාසයේ පළමු වරට දුටු මෙවැනි ස්වරූපයේ දැන්වීම් තුළින් ආමන්ත්‍රණය කිරීමට උත්සාහ දරන්නේ සරසවි සිසුන්ගේ දෘෂ්ඨි කෝණයට හා සරසවි සිසුන් දෙස සමාජයෙන් එල්ල වන්නා වූ දෘෂ්ඨි කෝණයටය. විශේෂයෙන්ම මේ දිනවල සයිටම් විරෝධය දඩමීමා කරගනිමින් පටු දේශපාලන අරමුණු වල අතකොළුවක් බවට පත්වී සිටින රාජ්‍ය සරසවි වල වෛද්‍ය පීඨ වල සිසුන් විසින් ගෙන යනු ලබන විවිධ විරෝධතා ව්‍යාපාර ඇතුළු විවිධ විරෝධතා දැක්වීම් හේතුවෙන් ඔවුන්ගේ වෛද්‍ය උපාධිය සම්පූර්ණ කිරීම සඳහා ගතවන කාලය අනවශ්‍ය ලෙස දීර්ඝ වීම සිදුවේ. එනම් වසර පහක් තුළ නිමකළ යුතු අධ්‍යයන කටයුතු දීර්ඝ වීම පුද්ගලිකව එම වෛද්‍ය සිසුන්ගේ අනාගතයට සිදුවන බලපෑමක් වන අතර ඒ ඔස්සේ පොදුවේ රටට හා ඔවුන්ගේ වෛද්‍ය උපාධිය සඳහා බදු මුදල් ගෙවමින් වසර පහක් පුරා ඔවුන්ව නඩත්තු කරනු ලබන රටේ දුප්පත් පුද්ගලයාගේ සිට ධනපතියා දක්වා වන පිරිසටත් ඔවුන් විසින් සිදු කරන්නේ විශාල අසාධාරණයකි.

එසේම මෙම රූපවාහිනී දැන්වීම් තුළ ඉතා සංවේදීව ආමන්ත්‍රණය කරනු ලබන්නේ එම වෛද්‍ය සිසුන්ගේ දෙමව්පියන් විසින් ඔවුන්ව එම තත්ත්වයට රැගෙන ඒම සඳහා විඳි දුක් කම්කටොළු පිළිබඳවය. මෙම දැන්වීම් සයිටම් විරෝධයට ප්‍රතිකර්ම ලෙසින් ඉදිරිපත් කරන දැන්වීම් යැයි කියමින් දෙමව්පියන් විඳිනා එම කටුක සත්‍යය අවඥාවෙන් බැහැර කරනු ලබන “අන්තරය” හෙවත් “අන්තර් විශ්විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ” ශිෂ්‍ය ක්‍රියාකාරීන් ද තේරුම් නොගන්නා සත්‍යය වන්නේ ඔවුන්ගේ දෙමව්පියන් ද ඔවුන්ව සරසවි අධ්‍යාපනය දක්වා රැගෙන ඒමට කෙතරම් දුෂ්කරතා විඳින්නට ඇතිද යන්නයි. එහෙත් සරසවි පැමිණ ජවිපෙ හෝ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අතකොළුවක් බවට පත්වී ඔවුන්ගෙන් පෙරළා දෙමව්පියන්ට ඉටුවිය යුතු යුතුකම් අමතක කර දමා රට ජාතිය වෙනුවෙන් යැයි කියමින් ඔවුන් ඊනියා විප්ලව වල නිරත වී තම අනාගතය අඳුරු කර ගනියි.

එබැවින් මෙම දැන්වීම් එක් අතකින් දේශපාලන අතකොළු බවට පත්ව කටයුතු කරන වෛද්‍ය සිසුන්ට ඔවුන්ගේ දෙමව්පියන් විඳිනා දුක පිළිබඳව අවධානය යොමු කරවීමේ අරමුණ ඉස්මතු කරනු ලබයි. එසේම අනෙක් අතින් ව්‍යාජ පෞද්ගලික අධ්‍යාපන විරෝධයක් මවා පාමින් මහමඟ උද්ඝෝෂණ කරනු ලබන වෛද්‍ය සිසුන් පිළිබඳ පවත්නා සමාජයීය දෘෂ්ඨි කෝණයට බලපෑමක් කිරීමට උත්සාහ කරයි. මේ දිනවල රූපවාහිනී නාලිකා වල වඩාත් ජනප්‍රිය වැඩසටහන් විකාශය වන අතරතුර මෙම දැන්වීම් ප්‍රචාරය කිරීම තුළ ඇතැම් විට එම වැඩසටහන් නරඹන දෙමව්පියන් හා සරසවි සිසුන් මෙන්ම සරසවියට ප්‍රවේශ වීමට බලාපොරොත්තුවෙන් සිටින සිසුන් අතර ද සංවාද ගොඩනැඟීමට සමත් වී තිබේ. ඒ අනුව සැලකීමේ දී උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ මෙම නව නිර්මාණාත්මක වෑයම සරසවි සිසුන්ට සිය ආත්මය අහිමි කරමින් ඔවුන්ව පටු දේශපාලන අරමුණු සඳහා යොදා ගන්නා පුද්ගලයින්ගේ ක්‍රියාකලාපයට එරෙහිව සාර්ථකව ක්‍රියාවට නංවනු ලැබූ වැඩපිළිවෙලකි.

වෛද්‍ය සිසුන් සයිටම් සරසවියට එරෙහිව ගෙන යනු ලබන විරෝධයේ අර්ථ විරහිත බව සම්බන්ධයෙන් ද මෙහි සටහනක් තැබීම වැදගත්ය. එනම් පෙර පාසලේ සිට උසස් පෙළ දක්වා වූ පෞද්ගලික පාසල් හා පෞද්ගලික රෝහල් ආදිය කිසිදු ප්‍රමිතියකින් තොරව ක්‍රියාත්මක වෙමින් පවතින විට වෛද්‍ය අධ්‍යාපනය සඳහා ප්‍රමිතියක් අවශ්‍ය බව කියමින් තවදුරටත් විරෝධතා ව්‍යාපාර වල නියැලීම කිසිදු පදනමක් නොමැති ක්‍රියාවකි. මන්ද යත් ඒ සඳහා අවශ්‍ය වන ප්‍රමිතිය සකස් කිරීමට රජයේ මැදිහත් වීමෙන් මේ වන විට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බැවිනි.

එසේම පසුගිය දිනවල රජයේ රෝහල් වල වර්ජන වල නියැලී පෞද්ගලික රෝහල් වල රාජකාරී වල නියැලුණු වෛද්‍යවරු පිළිබඳව ද සමාජය තුළ කතාබහට ලක්විය. වෛද්‍යවරුන් මෙසේ වෛද්‍ය අධ්‍යාපනයට ප්‍රමිතියක් ලබා දෙන ලෙස කරනු ලබන ඉල්ලීමට සාපේක්ෂව පෞද්ගලික රෝහල් වල ප්‍රමිතිය සම්බන්ධයෙන් ඔවුන් කෙළ බිඳකුදු නොහෙළන්නේ එසේ ඔවුන්ගේ පුද්ගලික වාසි පිණිස බව රහසක් නොවේ. ඔවුන් සැබැවින්ම මෙරටේ රෝගීන් පිළිබඳ සිතන්නේ නම් වර්ජන ක්‍රියාත්මක කර දුප්පත් රෝගීන්ගේ ජීවිත සිය පටු ඉල්ලීම් ඉටු කර ගැනීම සඳහා බිල්ලට ගැනීම කෙතරම් යුක්ති සහගත ද? එසේම රෝගීන් විසින් වෙහෙස වී උපයාගන්නා ලද මුදල් වැය කරමින් පැමිණෙන පෞද්ගලික රෝහල් වල ප්‍රමිතිය පිළිබඳව අවධානය යොමු කර එම රෝගීන්ට ප්‍රමිතියෙන් යුතු සේවාවක් ලබා දීම වෛද්‍යවරුන්ගේ වගකීම නොවන්නේද? එනම් වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය පිළිබඳව පමණක් විරෝධය දක්වමින් රෝගින් සම්බන්ධයෙන් කිඹුල් කඳුළු හෙළන වෛද්‍යවරුන් පෞද්ගලික රෝහල් වල ප්‍රමිතිය රෝගීන්ට සෘජුවම බලපාන බව නොසිතන්නේ මන්ද? එමෙන්ම වෛද්‍යවරුන් පවසන පරිදි ප්‍රමිතියෙන් තොර වෛද්‍යවරුන් සයිටම් ආයතනයෙන් බිහිවීම රෝගීන්ට සෘජුව බලපෑමක් වනවා මෙන්ම ප්‍රමිතියෙන් යුතු වෛද්‍ය අධ්‍යාපනයක් තුළින් බිහිවන වෛද්‍යවරයා ප්‍රමිතියෙන් තොර පෞද්ගලික රෝහල් තුළ සේවය ලබා දීමේ දී එයින් රෝගීන්ට බලපෑමක් නොවන්නේද යන ප්‍රශ්නවලට පිළිතුරු පෙරළා අප වෛද්‍යවරුන්ගෙන් විමසිය යුතුය. එසේම මෙම බොරදියේ තම දේශපාලන වාසි පිණිස සරසවි සිසුන්ව භාවිත කරනු ලබන දේශපාලන පක්ෂ හා ඔවුන්ගේ අතකොළු බවට පත්වී සිටින අන්තරය වැනි සංවිධාන ද වෛද්‍යවරුන්ගේ මෙම දෙබිඩි ප්‍රතිපත්ති ප්‍රශ්නගත නොකරමින් කටයුතු කරමින් සිටින බව පැවසිය යුතුය.

ඒ අනුව සිය පෞද්ගලික සුඛ විහරණයන් එලෙසින්ම පවත්වාගෙන යාමට හේතුවන කරුණු සම්බන්ධයෙන් ප්‍රශ්නගත නොකර කටයුතු කරන වෛද්‍යවරුන් මෙන්ම සරසවි සිසුන් මෙහෙයවමින් කටයුතු කරනු ලබන සිසු සංවිධාන හා දේශපාලන පක්ෂ විසින් මෙරටේ වෛද්‍ය සිසුන්ගේ අනාගතය හා ඔවුන්ගේ දෙමව්පියන්ගේ බලාපොරොත්තු බිල්ලට දෙමින් කටයුතු කරමින් සිටීම සම්බන්ධයෙන් මුළු මහත් සමාජයේම විරෝධය අත්තනෝමතිකව කටයුතු කරනු ලබන වෛද්‍යවරුන්ට හා ඊනියා සිසු සංවිධානවලට මෙන්ම සිසුන්ව මෙහෙයවමින් තම පටු දේශපාලන අරමුණු සාධනය කර ගැනීම සඳහා උත්සාහ දරණ දේශපාලන පක්ෂ වලට එරෙහිවත් එල්ල විය යුතුය. ඒ සඳහා යම් සමාජ මතයක් ඇති කිරීමට හා දෙමව්පියන් විඳින දුක් ගැහැට සම්බන්බන්ධයෙන් වෛද්‍ය සිසුන්ගේ නෙත් විවර වීමට මෙම නිර්මාණාත්මක වෑයම යම් තරමකින් හෝ හේතුවනු ඇත.

ඒ අනුව මෙම ලිපිය අවසන් කිරීමට පෙර මෙසේ ප්‍රකාශ කරමි. දෙමව්පියන්ගේ කඳුළුවලට සාධාරණය ඉල්ලන එම දැන්වීම් තුළින් ඉදිරිපත් කරන දෙමව්පියන්ගේ වේදනාව මඟහැර සිටීමට කිසිදු සංවේදී සරසවි සිසුවියකට හෝ සිසුවෙකුට නොහැකිය. එබැවින් දේශපාලන පක්ෂවල හා ඒවායේ අතකොළු බවට පත්ව ඇති සිසු සංවිධාන වලට තවදුරටත් ඔබේ අනාගතය බිලිගැනීමට ඉඩනොදී කටයුතු කළ යුතු වන්නේ එය ඔබේ දෙමව්පියන් වෙනුවෙන් ඉටු කළ යුතු පරම යුතුකමක් හා එය ඔබේ උර මත පැවරී ඇති අත්හැරිය නොහැකි වගකීමක් ද වන බැවිනි.

මෙම ලිපිය පිළිබඳ ඔබගේ අදහස් පහතින් සටහන් කරන්න.
ඔබ මෙහි පළ කරන අදහස් මම ඉතා අගය කොට සලකමි.
මාගේ නවතම ලිපි පිළිබඳ දැන ගැනීමට මාගේ Facebook පිටුවට Like කරන්න. නැතහොත් ඔබගේ E-mail ලිපිනය Subscribe කරන්න.

ආශ්‍රිත ලිපි
ජවිපෙ – පෙරටුගාමී මොළ සේදීම් වලින් බිල්ලට ගන්නා තරුණ පරපුර රැකගනිමු!

 2,108 total views,  1 views today

Comments

comments