0

අසහාය කම්කරු නායක වී.අයි.ලෙනින් පිළිබඳ මා තැබූ ශ්‍රව්‍ය දෘෂ්‍ය සටහනක්

  • December 19, 2017

ජර්මන් ජාතික කාල් මාක්ස් ලෝකයට හඳුන්වා දුන් සමාජවාදී දේශපාලන දර්ශනය මෙතෙක් ලොව වැඩිම පිරිසක් අතර ව්‍යාප්ත වූ දේශපාලන දර්ශනය ලෙස සැලකෙනවා.
ධනවාදී සමාජ ක්‍රමයට විකල්පයක් ලෙස ඉදිරිපත් කළ එය බොහෝ කම්කරුවන් වැළඳගනු ලැබුවේ තම ජීවිත සුඛිත මුදිත කළ හැකි එකම මඟ ලෙස ඔවුන් එය විශ්වාස කිරීම හේතුවෙන්.
කාල් මාක්ස් විසින් සිය බුද්ධිමය දායකත්වයෙන් න්‍යායාත්මකව පෝෂණය කළ එම සමාජවාදී දේශපාලන දර්ශනය ප්‍රායෝගිකව යථාර්ථයක් බවට පත්කරනු ලැබුවේ වී.අයි.ලෙනින් නම් කම්කරු නායකයායි.


ඒ 1917 වසරේදී ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයට සිය නායකත්වය සහ මඟපෙන්වීම ලබා දී ලොව ප්‍රථම සමාජවාදී රාජ්‍ය බිහිකිරීම නිසාවෙනි.
ව්ලැඩිමීර් අයිලිච් උල්යානොව් යන නමින් බොහෝ දෙනා හඳුනන්නේ නැති වුණත් වී.අයි.ලෙනින් කියූ සැනින් හඳුනන මේ කම්කරු නායකයාගේ උපත සිදුවන්නේ රුසියාවේ සිම්බ්‍රිස්ක් නම් නගරයේදීයි.
ධනවත් මධ්‍යම පාන්තික පවුලක උපත ලැබූ මොහුගේ පියා වෘත්තියෙන් අධ්‍යාපන නිලධාරියෙක් ලෙස කටයුතු කළා.
ළමා ව්ලැඩිමීර් යොවුන් වියට පත්වීමේ දී සම වයසේ වෙනත් යෞවනයින්ට වඩා හැමවිටම කාලය ගත කළේ ජනතා සුබ සිද්ධිය සඳහා ජීවත් වන්නේ කෙසේද යන්න පිළිබඳ සිය මනස මෙහෙයවමිනුයි.
දෙවියන් විශ්වාස නොකළ හෙතෙම සමකාලීනව පැවති සාර් පාලනයට ද දැඩි ලෙස විරුද්ධත්වයක් දැක්වුවා.
පාසල් අධ්‍යාපනයෙන් පසුව ව්ලැඩිමීර් කාසන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වන්නේ තම විප්ලවීය අදහස් දැනුමෙන් ද සන්නද්ධ කර ගැනීමේ අරමුණින්.
අසාධාරණකම්වලින් බැට කමින් මරණය තෙක් වෙහෙසී වැඩ කරන දුප්පත් ජනතාවගේ ඉරණම ගැන ඉතා හොඳින් අවබෝධ කර ගත් ව්ලැඩිමීර් ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා දේශන පැවැත්වීමට සහ විප්ලවවාදී සංවිධානයක් ගොඩනඟා ගැනීමටද කටයුතු කරන්නේ මේ අතරවාරයේදී.
ව්ලැඩිමීර්ගේ අදහස් වටා එකතු වූ පීඩිත ජනයා සාර් පාලනය හමුවේ සිය විරෝධය පෑමට යොමුවීම නිසා බොහෝ පිරිසක් කැරලිකරුවන් ලෙස අත්අඩංගුවට පත්වනවා.
ජනතාව වෙතින් පළවූ එම විරෝධය බොහෝ විට යකඩ තුවක්කුවලින් එල්ලකළ වෙඩිවරුසාවලින් යටපත් කිරීමට සාර් ආණ්ඩුව උත්සාහ කළත් එය සාර්ථක වන්නේ නැහැ.
ව්ලැඩිමීර්ට ද අත්අඩංගුවට පත්වීමට සිදුවන අතර එහිදී මාස 17 ක් බන්ධනාගාර ගතවීමට ද ඔහුට සිදුවනවා.
අනතුරුව පිටුවහල් ජීවිතයක් ගත කිරීමට ද සිදුවුවත් ඒ කිසිදු දඬුවමකින් සාර් පාලනයට එරෙහිව ඔහුගේ සිත තුළ නැඟුණු සිතුවිලිවල කිසිදු අඩුවක් සිදුවීමට එය සමත් වුණේ නැහැ.
සාර් පාලනයට එරෙහිව වඩාත් සංවිධානාත්මකව කටයුතු කිරීමේ අරමුණ සහිතව රුසියානු සමාජවාදී කම්කරු පක්ෂයේ පළමු සම්මේලනය මින්ස්ක් නගරයේදී පැවැත්වුණේ මේ අතරවාරයේ දී.
ඒ වන විටත් ඔහුගේ සංවිධායකයින් බොහෝ පිරිසක් ආණ්ඩුවේ අත්අඩංගුවට පත්ව සිටියා.
විප්ලවවාදී අදහස් ජනතාව අතර ප්‍රචාරය කිරීම සඳහා එම පක්ෂයේ පුවත්පත වශයෙන් ව්ලැඩිමීර් ප්‍රධාන කතෘ ලෙස කටයුතු කළ “ගිනි පුපුර” පුවත්පත රහසිගතව බෙදා හැරීමට ද ක්‍රියා කරනු ලබන්නේ එය නීති විරෝධී දේශපාලන පුවත්පතක් වීම හේතුවෙන්.
1901 වසරේ දෙසැම්බර් මස දී ව්ලැඩිමීර් ලෙනින් නමින් ලිපි අත්සන් කිරීම කටයුතු කිරීමත් සමඟ ලෙනින් නැමති අමරණීය නාමය ලෝක ඉතිහාසයට එකතු වනවා.
සාර් පාලනය පෙරළා දමමින් සමාජවාදී පාලන තන්ත්‍රයක් බිහිකිරීම සඳහා සිය තීක්ෂණ බුද්ධියෙන් සහ නායකත්වයෙන් ජනතාව මෙහෙය වූ ලෙනින්ට 1917 වසරේ ඔක්තෝබරයේදී සිය අරමුණ සාක්ෂාත් කර ගැනීමට හැකි වන්නේ ලොව ප්‍රථම සමාජවාදී රාජ්‍යය බවට සෝවියට් දේශය පත්කරමින්.
1922 වසරේ දී දැඩි ලෙස ගිලන් වන ලෙනින් වසර 2 ක් පුරා ජීවිතයත් මරණයත් අතර සටනක නියැලී 1924 වසරේ ජනවාරි 21 වන දින සදහටම සිය දෙනෙත් වසා ගන්නේ මුළු මහත් ලෝකවාසී කම්කරු ජනතාවගේම අසහාය නායකයා ලෙසයි.

මෙය පිළිබඳ ඔබගේ අදහස් පහතින් සටහන් කරන්න.
ඔබ මෙහි පළ කරන අදහස් මම ඉතා අගය කොට සලකමි.
මාගේ නවතම ලිපි පිළිබඳ දැන ගැනීමට මාගේ Facebook පිටුවට Like කරන්න. නැතහොත් ඔබගේ E-mail ලිපිනය Subscribe කරන්න.

 2,061 total views,  1 views today

Comments

comments