0

ජනතා විමුක්ති පෙරමුණේ රහස් රැසක් එළියට

  • September 1, 2019

දේශපාලන ක්‍රමයක් වශයෙන් සමාජවාදය වර්තමානයේ වලංගු නොවුණ ද සමාජවාදය මත ගොඩනැගුණු සාහිත්‍ය ධාරාව විසින් ලෝක සාහිත්‍යයට ඇතිකරනු ලැබූ අතිමහත් බලපෑම වර්තමානයේ ද බැහැර කළ නොහැකිය. ඒ අනුව මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ ද සමාජවාදී දේශපාලනය මත පදනම් වූ සාහිත්‍යය පාඨක ආකර්ෂණයට නිබඳව ලක්වන සාහිත්‍ය ධාරාවක් බවට පත්ව ඇත. සමාජවාදයේ දේශපාලන හරය ප්‍රතික්ෂේප කරන බොහෝ පුද්ගලයින් පවා සමාජවාදී හරයකින් යුත් සාහිත්‍ය නිර්මාණවලට ඇලුම් කිරීම බොහෝ විට දක්නට ලැබේ. මෙම සටහන මෙරට සාහිත්‍යයට එක්වන එම ධාරාවේ නවතම කෘතිය පිළිබඳවයි.

සමාජවාදී දේශපාලන හරයක් මත ගොඩනැගුණු ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය පිළිබඳව ද බොහෝ විවේචන පවතින නමුත් එහි දේශපාලන සංස්කෘතිය සම්බන්ධයෙන් සත්‍ය හෝ ප්‍රබන්ධ නිරූපිත සාහිත්‍ය පරිශීලනයට මේ අනුව විශාල පිරිසක් රුචිකත්වයක් දක්වන බව රහසක් නොවේ. විප්ලවීය මානසිකත්වයෙන් මෙහෙයවූ සාර්ථක නොවුණු කැරලි දෙකක ඉතිහාසයකින් සමන්විත ජනතා විමුක්ති පෙරමුණේ අතීතය පිළිබඳව වික්ටර් අයිවන් වැනි එහි සමකාලීනයන් මෙන්ම වෙනත් ලේඛකයින් විසින් ද ලියූ ග්‍රන්ථ ගණනාවක් ඇත. එසේ වුවත් එම පක්ෂය පිළිබඳ තවමත් හෙළිනොවුණු තොරතුරු රැසක් පවතින බව ප්‍රකාශ කළ හැකිය. එම තොරතුරු පසුකාලීන දේශපාලන ව්‍යාපාරවලට මෙන්ම මෙරට දේශපාලන ඉතිහාසය අධ්‍යයනය කරන්නන්ට ද අවශ්‍ය වන බැවින් ඒවා ග්‍රන්ථකරණය කිරීම වැදගත් වේ. එවැනි උත්සාහයන් තුළ හැකි උපරිමයෙන් සත්‍ය කරුණු ඇතුළත් කිරීමට ද කටයුතු යුතුය.

ඒ අනුව ජනතා විමුක්ති පෙරමු‍ණේ මෙම සැඟවුණු ඉතිහාසය පිළිබඳව ප්‍රාථමික මූලාශ්‍ර මගින් ලබාගත් තොරතුරු එලෙසින්ම ග්‍රන්ථයක් බවට පරිවර්තනය කිරීම එක්තරා අතකට අභියෝගයක් මෙන්ම කාලය විසින් සඟවන තොරතුරු සමූහයක් අනාගතයට සංරක්ෂණය කිරීම සඳහා දරන උත්සාහයක් ද වන්නේය. එබැවින් මෙම අභියෝගයට මුහුණ දී ලියවුණු කෘතියක් පාඨකයින් අතට පත්වීම ද සුවිශේෂී අවස්ථාවකි. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වන උපුල් ජනක ජයසිංහ රචනා කළ “ජවිපෙ විජේවීර සහ කල්‍යාණ” ග්‍රන්ථය එවැනි රහස් රැසක් අනාවරණය කරන කෘතියක් ලෙස සුවිශේෂී වන්නේ එබැවිනි.

මෙම කෘතියේ අන්තර්ගත වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ පළමු ලේකම් වන කල්‍යාණගේ සත්‍ය ජීවන අත්දැකීම්ය. ඔහු ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර සමඟ සමීපව කටයුතු කරමින් පක්ෂයේ අරමුණු ඉටුකර ගැනීම සඳහා දැඩි කැපවීමෙන් ක්‍රියාකළ අයෙකි. එහෙත් එම කැපකිරීමට ජනතා විමුක්ති පෙරමුණේ පසුකාලීන දේශපාලන ක්‍රියාකාරිත්වය තුළින් හා ඔවුන්ගේ ඉතිහාසය තුළින් සාධාරණ තක්සේරුවක් ලබා දුන්නා ද යන්න නැවත විමසා බැලිය යුතුය. එම පෙරමුණේ සැඟවුණු ඉතිහාසය සිය ස්මරණයෙන් ප්‍රකාශ කරන කල්‍යාන නම් මේ අපූරු මිනිසා ඉතිහාසයෙන් සැඟව යන්නට පෙර දේශපාලන ඉතිහාසයට සවිඥානික අනාගත පරපුරට ඔහුව මුණගස්වන්නට උපුල් මෙම කෘතිය තුළින් දරා ඇති උත්සාහය ප්‍රශංසනීය වේ.

කාලයත් සමඟ මියැදෙන්නට තිබූ මතකයක් පොතක පිටු අතරට ගෙනැවිත් එය පොදු පාඨක උරුමයක් බවට පත්කිරීම ජවිපෙ ඉතිහාසයේ සැඟවුණු චරිතවලට ද සාධාරණය ඉටුකිරීමකි. ජවිපෙ වර්තමානය කෙසේ වෙතත් එහි අතීතයේ වැරදි නිවැරදි සංධිස්ථාන පිළිබඳ මෙවැනි මතක සටහන් තුළින් විවරණයක යෙදෙන්නට හැකියාව ඇත. ඊට මනා පසුබිමක් “ජවිපෙ විජේවීර සහ කල්‍යාණ” කෘතියෙන් සපයයි. 2019 සැප්තැම්බර් 02 වැනිදා පස්වරු 3.00 ට කොළඹ මහවැලි කේන්ද්‍රයේදී සිදුවන මෙම කෘතියේ ජනගත කිරීමේ අවස්ථාව ඉතිහාසයෙන් මැකීගිය යුගයක් යළි ජීවමාන කිරීමක් වන බැවින් එහි සාක්ෂිකරුවෙකු වන්නට ඔබ සැමට මෙසේ ඇරයුම් කර සිටිමි.

 1,454 total views,  1 views today

Comments

comments