0

තෙවන වසරේ සුභ පැතුම් මැද නික්මෙන අවසන් වසර…

වසර කිහිපයකට පසු ගෞරවාන්විත නික්මයාමේ සාදයක (Going Down Party) අත්දැකීම ඊයේ සරසවි භූමිය තුළ අත්විඳින්නට හැකි විය. ඒ 2010/2011 ශිෂ්‍ය කණ්ඩායමේ සමුගැනීමට සුභ පැතීම පිණිස 2011 /2012 ශිෂ්‍ය කණ්ඩායම විසින් සංවිධානය කර තිබූ “නික්මයාමේ සාදය” නිසාය .

වසර හතරක් සරසවිය තුළ ගත කිරීම යනු අත්දැකීම් සමූහයක් තම ජීවිතයට එකතුකර ගැනීමකි. විශේෂයෙන්ම ප්‍රධාන අරමුණ ලෙස සිය උසස් අධ්‍යාපනික අරමුණු සඵල කර ගැනීම මූලික කර ගනිමින් කටයුතු කරන අතරතුර වෙනත් කාර්යයන් රාශියක් තුළ නියැලෙන්නට සරසවිය තුළ දී  අවකාශය හිමිවේ. වාර්ෂික චාරිකා, ප්‍රාසාංගික ක්‍රියාකාරකම්, ආගමික කටයුතු ඇතුළු සරසවිය තුළට අනන්‍ය වන නේවාසිකාගාර සංස්කෘතිය හා සිය අයිතීන් දිනා ගැනීම උදෙසා සිදු කරන අරගලවල නියැලෙන්නට ද සරසවි බිම මනා තෝතැන්නක් වේ. එබැවින් සරසවියක් තුළ ගතවන වසර හතර හුදු කාලය ගතවීමක් නොවී මතකයන් රැසක එකතුවක් බවට පත්වන්නේ නිරායාසයෙනි.

මෙම ලිපිය ආරම්භයෙදීම සඳහන් කළ පරිදි මෙවැනි “ගෞරවාන්විත නික්මයාමේ සාදයක්”  මෙම සරසවිය තුළ පැවැත්වූයේ වසර ගණනාවකට පසුවය. මන්ද යත් පිළිගැනීමේ සාද (Social Nights) වසරක් පාසා පැවැත්වුවත් මෙවන් නික්මයාමේ සාදයක් පැවැත්විය නොහැකි වූ වාතාවරණයක් පසුගිය වසර ගණනාව තුළ ගොඩනැඟී තිබුණු නිසාවෙනි. එහෙත් එම තත්වයට තිත තබමින් නැවතත් සැබෑ සරසවි සංස්කෘතිය මෙම සරසවි භූමිය මත ජීවමාන කරනු වස් 2011/2012 ශිෂ්‍ය කණ්ඩායම විසින් මහත් වෙහෙසක් දරා සංවිධානය කළ මෙම සාදය ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් වන බව සඳහන් කිරීම වැදගත්ය.

එකම පවුලක සොයුරු සොයුරියන් පිරිසක් ලෙස ගත කළ වසර හතරක කාලයේ අවසානය සනිටුහන් වීම එක්තරා අතකින් කණගාටුදායකය. එහෙත් තනි තනිව සරසවියට පිවිස වසර හතරක් එක්ව ගත කොට නැවතත් වෙන් වෙන්ව සරසවියෙන් නික්මුණත් සහෝදරත්වයෙන් එකිනෙකා කෙරෙහි උපන් දයාවේ හා සහෝදරත්වයේ බැමි කිසිදා ඔවුන් කෙරෙන් වියැකී නොයනු ඇත. එනිසා වියෝගයේ කඳුළු බිඳු මැද නික්මුණත් සිනහා මල් මැද යළි හමුවන්නට අපි ඔවුන්ට මුළු හදවතින්ම සුභ පැතුම් එක් කරමු.

“වසර හතරක
සොඳුරු මතකය
තබා මේ බිම
නික්ම යන ඔබ
සිනහා මල් මැද
යළි දකින්නට
පැතුම් පතනෙමු
සුහද විලසින…”

 1,173 total views,  1 views today

Comments

comments