2

පාසල් දරුදැරියන්ගේ අපේක්ෂා සමඟ ගෙවුණු සොඳුරු දිනයක්

ජනමාධ්‍ය ක්ෂේත්‍රයට පැමිණීමට දහසක් බලාපොරොත්තු පොදිබැඳගෙන ඉන්නා පාසල් සිසු දරුදැරියන් පිරිසකට ඔවුන්ගේ එම සිහිනවලට යාමට මඟ කියා දීමට හැකි අවස්ථාවක් සදහා ආරාධනාවක් මාගේ මිතුරෙකුගෙන් පසුගිය දිනයක මා හට ලැබුණි. සතියට දින හයක ඒකාකාරී රාජකාරී කටයුතුත් සමඟ ගෙවෙන කාර්ය බහුල ජීවිතයට පැය කිහිපයක හෝ මානසික සහනයක් ලබාගැනීමේ අපේක්ෂාවෙන් මම එම ආරාධනාව එසැණින් පිළිගතිමි. එදින සන්ධ්‍යාව රාජකාරී වේලාවක් වුවත් ඒ සදහා යාමට මත්තෙන් පාසල් සිසු දරුදැරියන් සමඟ කාලය ගත කිරීමේ අවස්ථාව එදින මම මාගේ ප්‍රමුඛ කාර්යය ලෙස සැලකුවෙමි.

එම අවස්ථාව යෙදී තිබුණේ පසුගිය ඉරිදා දිනයි. පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය මාධ්‍ය දිනය වෙනුවෙන් සංවිධාන කළ වාගීෂණ – අන්තර් පාඨශාලීය මාධ්‍ය තරඟාවලියේ විනිශ්චය කටයුතු සඳහා සහභාගි වීම මට පැවරී තිබුණ රාජකාරියයි. එය ඉතා සතුටුදායක රාජකාරියක් වූයේ සිසු දරුදැරියන් එකිනෙකාට නොදෙවෙනි දක්ෂතා රැසක් එහිදී ඉදිරිපත් කිරීම හේතුවෙනි. මාගේ පාසල් කාලය තුළ මා එවැනි අත්දැකීමක් ලබා නොතිබුණු බැවින් මාධ්‍ය ක්ෂේත්‍රයට ඔවුන් දැක්වූ මෙම දක්ෂතා විටෙක මා පුදුමයට පත්කළේය. එසේම තරඟාවලියේ බොහෝ තරඟ අවස්ථා රැකියා කටයුතු හේතුවෙන් විඩාවට පත්ව සිටි මා ඇතුළු විනිශ්චය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ට දිය දෝතක් හා සමාන වූ බව නම් නිසැකය.

තරඟාවලියේදී එක් එක් පාසල් කණ්ඩායම් මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ අංශ තුනකින් සිය දක්ෂතා ඉදිරිපත් කළ යුතු විය. ප්‍රවෘත්තියක් සංස්කරණය කර ඉදිරිපත් කිරීම, සජීවී විස්තර ප්‍රචාරයක් ඉදිරිපත් කිරීම හා වෙළෙඳ දැන්වීමක් ඉදිරිපත් කිරීම එම අංශ තුනයි. එම අංශ ත්‍රිත්වය සංකලනයෙන් ඔවුන් සිය තරඟ අවස්ථාව නිරූපණය කළ යුතුය. එක් පාසල් කණ්ඩායමකට සහභාගි විය හැකි වූ උපරිම තරඟකරුවන් සංඛ්‍යාව අටකි. එහෙත් එක් පාසලක දරුවන් දෙදෙනෙකු පමණක් පැමිණ ඔවුන්ගේ තරඟ අවස්ථාවට සාර්ථකව මුහුණදීම මෙම තරඟාවලිය සඳහා ඔවුන් දැක්වූ උනන්දුව ප්‍රකට කරන්නක් විය. විනිශ්චය මණ්ඩල සාමාජිකයෝ සියලු දෙනා ඔවුන් දෙදෙනාගේ ධෛර්යය අගය කළහ. දරු දැරියන්ගේ තරඟ අවස්ථා දෙස සාවධානව බලා හිඳ විනිශ්චය මණ්ඩලයේ පොදු කැමැත්තෙන් අපි ඔවුන්ට ලකුණු පිරිනැමුවෙමු. ඒ අනුව වැඩිම ලකුණු පිළිවෙළට පාසල් පෙළගස්වා නිල ප්‍රතිඵල ලේඛනය අපි සංවිධායක මණ්ඩලයට භාර දුන්නෙමු. ලබන 24 වැනිදා පැවැත්වෙන මාධ්‍ය දිනයේදී එම ප්‍රතිඵල එළිදැක්වෙනු ඇත.

ප්‍රතිඵල ලේඛනය සංවිධායක මණ්ඩලයට ලබාදීමට පෙර විනිශ්චය මණ්ඩලයේ එක් එක් සාමාජිකයා දරුදැරියන්ගේ දක්ෂතා හා ඔවුන් වර්ධනය කර ගත යුතු කුසලතා පිළිබ‍ඳ කෙටි අදහස් දැක්වීමක් සිදුකළේය. මා ද එහිදී මාගේ අදහස් පළකළ අතර ප්‍රවෘත්ති සංස්කරණ කටයුතු සම්බන්ධයෙන් මාගේ කථාව තුළ මම වැඩි අවධානයක් යොමු කළෙමි. මෙම පාසල් දරුදැරියන් මාධ්‍ය ක්ෂේත්‍රයට පැමිණීමට තව වසර ගණනාවක් ගත වුවත් ඔවුන්ට මා පෙන්වා දුන් මඟ ගැනීමට කිසියම් හෝ උනන්දුවක් ඇතිවනු ඇති බව මාගේ හැඟීමයි. මා හැරුණු විට විනිශ්චය මණ්ඩලයේ සෙසු සාමාජිකයින් වූයේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ගයාන් කෞෂාල්, සම්පත් විලේගොඩ, වින්ද්‍යා කල්පනී හා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ දිස්නා යමුනාය.

එදින සන්ධාවේ රාජකාරී ස්ථානයට යෑමේ අරමුණින් මා මෙම අවස්ථාවට සහභාගි වුණ ද රාජකාරිය වෙනත් අයෙකුට පවරා එම සන්ධ්‍යාවම පාසල් දරුදැරියන් සමඟ මම ගත කළෙමි. ජීවිතය විඳීමට ලැබෙන අවස්ථා මඟ නොහැරීමෙන් අනාගතයේ යළියළිත් සිහිපත් කර සතුටු විය හැකි මතකයන් ගොන්නක් ජීවිතයට ලැබෙන බව නියතය. එම දරු දැරියන්ගේ දෑස් තුළින් මා එදා දුටුවේ ඔවුන්ගේ අනාගත අපේක්ෂාවන්වල ශේෂයයි. ඒවාට වචනයකින් හෝ රුකුලක් වන්නට හැකිවීම පිළිබඳ මම අතිශයින්ම සතුටට පත්වෙමි. එම මතකය සිහිපත් වන විට යළියළිත් කියවා බැලීමට අනාගතය වෙනුවෙන් මම එය මෙසේ සටහන් කර තබමි.

 2,390 total views,  1 views today

Comments

comments