මගේ ජීවිතයට අදට අවුරුදු 31 ක් (ජනවාරි 26). ඒ කියන්නේ හරියටම ජීවිතේ තුනෙන් එකක ප්‍රමාණයක් ගෙවිලා ඉවරයි. මේ කාලයේ ලැබූ අත්දැකීම් බොහෝමයි. ඒ වගේම කළ කී දෑ ගැන සතුටක් තෘප්තියක් තියෙනවා. කැම්පස් ගියා, පොත් තුනක් ලිව්වා. දැනුම දෙන ලංකාවේ පිළිගත් වෙබ් සයිට් එකක් පටන් ගත්තා. ඒ ආපු දුර ගැන සතුටුයි. මාව මේ තත්ත්වයට ගේන්න අම්මයි තාත්තයි ගොඩක් මහන්සි වුණා. ගොඩක් දුක් වින්දා. ඒ අය නොදැකපු ලෝකයක් එයාලා මට පෙන්නුවා. අද මම යම් තැනක ඉන්නවා නම් ඒ ඉන්නෙ එයාලා මට දුන්න ශක්තිය හා ධෛර්යය නිසා. අදටත් ඒ ශක්තියත්, ඔවුන්ගේ සෙවණැලලත් මගේ පසුපසමයි. කැම්පස් එකේදි හම්බුණ පෙම්වතිය ඊට පස්සේ බිරිඳ වෙලා ඇගෙන් ජීවිතයට ලැබෙන සහායත් අපමණයි. තවත් ඉටුකර ගත යුතු බලාපොරොත්තු ගණනාවක් තියෙනවා. ඒ වෙනුවෙන් අඛණ්ඩව කැපවිය යුතුයි. ජීවිතය අරගලයක් බව පාසල් අවධියේම මං තේරුම් ගත්තා. කුමන අංශයකින් හෝ කැම්පස් යා යුතුය යන අදිටනෙන් වැඩ කරලා ඒ අරමුණ ජයගත්තේ ඒ නිසාමයි. දැන් මං රටේ ප්රධාන ජනමාධ්ය ආයතනයක වගකිව යුතු රැකියාවක් කරනවා. ඒත් ජීවිතය වෙනුවෙන් කරන අරගලය එහෙමමයි. කාලයත් එක්ක ඒකේ ස්වරූපය වෙනස් වුණත් අරගලය වෙනස් වෙලා නෑ. ජීවිතයේ ඉතුරු කාලයේ දැන් ඒ අරගලයට මුහුණ දෙන්නේ බිරිඳත් එක්ක. තවත් බොහෝ දේ කිරීමට ඉතිරිව තියෙනවා. ගතවූ අවුරුදු 31 ට වඩා එළඹෙන කාලය වඩාත් අභියෝගාත්මක වේවි. නමුත් සෑම ඉලක්කයක්ම ජයගන්නා තෙක් අරමුණ අත්නොහැර කටයුතු කිරීමයි වැදගත්. ඊට අවශ්ය උත්සාහය මා සතු බව මට විශ්වාසයි.
2,701 total views, 1 views today
අඅධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා යන්නට හැකි වේවා……. ජය වේවා……
Please accept my felicitations on this happy day and wish you all success for the long life that is ahead .Also I greatly value your gratitude to your parents and wife.
❤️💪
Thanks
Thank you so much
බොහොම ස්තූතියි අයියා