0

Iranga.net ආරම්භ කර අදට වසරයි! පාඨක ඔබ සැමට ස්තූතියි!

  • September 30, 2016

පසුගිය වසරේ සැප්තැම්බර් මස 30 වන දින Iranga.net නමින් මා විසින් ආරම්භ කළ වෙබ් අඩවියට අදට වසරක් සම්පූර්ණ වේ. විවිධ සමාජයීය කරුණු පිළිබඳ මා විසින් ලියන ලද ලිපි පළ කිරීමේ අරමුණින් ආරම්භ කළ මෙම වෙබ් අඩවිය කෙටි කලක් තුළ දී පාඨක අවධානය දිනා ගත් බව ඉතා සතුටින් සඳහන් කරමි. විවිධ ප්‍රතිචාර මැද වසරක් පුරා පවත්වාගෙන ආ මෙම වෙබ් අඩවිය දෙවන වසරට පිවිසෙන මෙම මොහොතේ වසරක් පුරා පැමිණි ගමන් මඟ පිළිබඳ මෙසේ සටහනක් තබමි.

මෙම වෙබ් අඩවිය මා විසින් ආරම්භ කරනු ලබන්නේ මා කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යයනාංශයේ තෙවන වසර විද්‍යාර්ථියෙක් ලෙස සිටින අවධියේය. දැන් මා සිව්වන වසර විද්‍යාර්ථියෙකි. විශේෂයෙන්ම සරසවිය තුළ දී මා විසින් අධ්‍යයනය කරනු ලබන ජනමාධ්‍ය විෂය ධාරාවට අදාළව ද අන්තර්ජාලය පිළිබඳව සාකච්ඡා වන බැවින් එම කරුණු ප්‍රායෝගිකව අත්විඳිම සඳහා සරසවි අධ්‍යාපනය ලබන අතරතුරදීම මා හට මෙම වෙබ් අඩවිය තුළින් අවකාශය හිමිවිය.

Iranga.net වෙබ් අඩවිය තුළ මා විසින් ලියා පළකළ බොහෝ ලිපි මා ලියනු ලැබුවේ සරසවි ජිවිතයේ දී මා අත්විඳි අත්දැකීම් ඇසුරෙනි. මා ලියූ ලිපි අතර බොහෝ පිරිසක් විසින් කියවනු ලැබූ සහ බොහෝ ප්‍රතිචාර ලද “සල්ලාල පෙම්වතුන් අතින් වැනසෙන සරසවි සිසුවියන්ගේ ජීවිත” නැමැති ලිපිය එවැන්නකි. එසේම සරසවි ජීවිතය පදනම් කර ගනිමින් Iranga.net වෙබ් අඩවියට මා ලියූ තවත් ලිපි රාශියකි. එම ලිපි අතරින් බොහෝ ප්‍රතිචාර ලද තවත් ලිපියක් පිළිබඳව ද මෙහි දී සඳහන් කළ හැකිය.

එනම් මෙම සරසවියේ ගුවන්විදුලි මාධ්‍ය අධ්‍යයන සිසුන් විසින් සංවිධානය කළ එක්තරා ගායන තරඟයක් පිළිබඳව තරමක දරුණු විවේචනයක් සහිත ලිපියක් ලියා මා Iranga.net වෙබ් අඩවියේ පළ කළෙමි. එය පළකර විනාඩි කිහිපයක් ගතවීමත් සමඟම මාගේ එම ලිපියට විරුද්ධව Comments මුහුණු පොතේ පළවිය. එම ඇතැම් ප්‍රතිචාර අතිශය පෞද්ගලික මට්ටමින් මා හට ද්වේශ සහගතව එල්ල කළ ඒවා විය. තව ද එම ලිපිය නිසා පසුදින ඇතැම් සිසුන් මා සමඟ අමනාප වී තිබුණි.

කෙසේ වුවත් යම්කිසි අදහසක් පළ කිරීමේ දී හෝ මතවාදයක් ඉදිරිපත් කිරීමේ දී මල් මෙන්ම ගල් මුල් ද අප කරා එල්ල වන අප අමතක නොකළ යුතුය. එසේම සරසවියේ පළමු වසරේ සිටම මා ලියූ ලිපි සම්බන්ධව මා ලද විවිධ ප්‍රතිචාර හේතුවෙන් ගතවූ වසරක කාලය තුළ Iranga.net වෙබ් අඩවියේ මා පළ කළ ලිපිවලට ලද විවේචන පිළිබඳ මම පුදුමයට පත් නොවෙමි.

අවසාන වශයෙන් ගතවූ වසරක කාලය තුළ මා දිරිමත් කළ, මාගේ ලිපිවලට ප්‍රතිචාර දැක්වූ, විශේෂයෙන්ම මල් මෙන්ම ගල් මුල් ද මා වෙත එල්ල කළ හිතවත් පාඨක ඔබ සැමට මාගේ ගෞරවනීය ස්තූතිය පිරිනමමි. මන්ද යත් ඔබෙන් ලද එම ප්‍රතිචාර Iranga.net වෙබ් අඩවියට ලිපි ලිවීමට මා නිරන්තරයෙන් උනන්දු කළ බැවිනි.

 890 total views,  1 views today

Comments

comments