මෙම අත්දැකීම මා ඔබ හමුවේ තැබිය යුතුමය. එහෙත් එය කෙසේ කොතනින් ආරම්භ කළ යුතු දැයි තවමත් මා තුළ නිශ්චිත අදහසක් නොමැත. මෙම අත්දැකීමට මා මුහුණ දුන් මොහොතේ පටන් මේ මොහොත දක්වාම මම ඒ පිළිබඳව කල්පනා කළෙමි. එහෙත් ඒ පිළිබඳ අවසන් නිගමනයකට පැමිණීමට මම අසමත් වීමි. කෙසේ වුවත් මෙම සටහන ඔබ හමුවේ තැබීම මෙසේ ආරම්භ කරමි.
මෙම අත්දැකීමට මා මුහණ පෑවේ ඉකුත් සතියේ දිනක සන්ධ්‍යාවේ නිවස බලා පැමිණීමට මා බසයකට ගොඩවුණු විටය. බස් නැවතුමට මා පැමිණෙන විටත් ගමන් ආරම්භ කිරීමට එන්ජිම පණ ගන්වා තිබූ බස් රථයට දුවගෙන විත් මා ගොඩවුණි. මා ගොඩවී විනාඩි පහකට පමණ පසු බසය ගමන් ආරම්භ කළේය. බසය ගමන් ආරම්භ කිරීමෙන් ටික දුරක් පැමිණි පසු අතරමඟින් බසයට මාගේ මිත්‍රයෙක් ගොඩවුණේය.
ඔහු සාමාන්‍ය පෙළ තෙක් මා ඉගෙනුම ලැබූ පාසලේ සිටි මාගේ මිත්‍රයෙකි. පාසල් සමයේ සිට තරමක් ළඟින් ඇසුරු කළ අපි පාසල් සමයෙන් පසු ද ඉඳහිට මෙසේ මඟතොටේදී හමුවුණෙමු. එසේ හමුවූ විට ආ ගිය තොරතුරු, අතීතයේ අපේ මිතුරන් ආදී දේවල් ගැන තොරතුරු අපි කතා බහ කළෙමු. එදිනත් මා ඔහු හමුවූ විට එවැනි කතාවකට මුල පුරා මිතුරන් ගණනාවක් ගැන ඔහුත් මාත් දන්නා විස්තර හුවමාරු කර ගතිමු.
මාගේ එම මිත්‍රයා දැන් මෙරටේ ප්‍රධාන පෙළේ රක්ෂණ සමාගමක නිලධාරියෙකි. ඔහු උසස් පෙළ විභාගයෙන් පසු විශ්වවිද්‍යාලයට ඇතුළත් නොවුණි. ඒ පිළිබද මා විමසූ විට ඔහු පවසා සිටියේ ඉන් පසු ඔහු ටික කලක් ආරක්ෂක අංශයේ රැකියාවකට එක්වී එහිදී ඔහුගේ අතේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් ඉන් ඉවත් වී විවෘත විශ්වවිද්‍යාලයේ කළමනාකරණ උපාධියක් හදාරා ඒ ඔස්සේ රක්ෂණ ආයතනයේ සේවය සඳහා පිවිසුණු බවය.
ඔහු සහ මා අපේ පාසල් මිතුරන් පිළිබඳ කතාබහ කිරීමේ දී ඇතැම් මිතුරන් මේ වන විට විවාහ වී සිටින බව දැනගන්නට ලැබුණි. ඇතමුන් දැන් විදේශගත වී සිටියි. එසේ එම මිතුරන් විවිධාකාරයේ රැකියාවල නිරත වීම පිළිබඳ හා පාසල් සමයේ ඇතැම් සිදුවීම් ද අපි කතාබහ කරමින් අපි අපේ අතීත මිත්‍රත්වය අලුත් කර ගත්තෙමු. මෙසේ අපි කතාබහේ නිරත වෙමින් බසයේ පැමිණෙන අතර අපේ කතාවට බාධා කරමින් බසයේ කොන්දොස්තර අපගෙන් මුදල් ඉල්ලා සිටියේය.
මිතුරාත් මාත් මුදල් දීමට කොන්දොස්තර දිහා බැලීමි. ඔහු ද අපිත් සමඟ අපේ පන්තියේ සිටි මිතුරෙක් බව හඳුනාගැනීමට මටත් මා සමඟ කතාබහ කරමින් පැමිණි මිතුරාටත් අපහසු වූයේ නැත. මිතුරාත් මාත් අපේ පාසල් මිතුරන් පිළිබඳ කතාබහ කරමින් පැමිණෙන විට තවත් පාසල් මිතුරෙක් අප ගමන් කරමින් සිටින බසයේ කොන්දොස්තර ලෙස අපිට හමුවේවි යැයි අපි සිහිනෙකින්වත් නොසිතුවෙමු. එසේ කොන්දොස්තර ලෙස සේවය කරන මිතුරා ද අප වෙතින් අපේ විස්තර ටිකක් විමසා නැවතත් ඔහුගේ රාජකාරිය සඳහා අප සිටි තැනින් ඉවතට ගියේය. එහෙත් එම මොහොතේ දී මාගේ සිතු තුළ ඇතිවූ භාවමය කම්පනය තවමත් මාගේ සිත තුළ තිබේ.
එසේ පාසල් සමයේ එක් මිතුරෙක් කොන්දොස්තරවරයෙක් බවටත් තවත් මිතුරෙක් රක්ෂණ ආයතනයක නිලධාරියෙක් බවටත් මා සරසවි අධ්‍යාපනයට පසුව උපාධියක් ලබා රැකියාවකට පිවිසීමටත් හේතු වූයේ අප විසින් ඒ ඒ අවස්ථාවලදී ගත් තීරණ බව මම එකහෙලාම විශ්වාස කරමි. පාසල් අධ්‍යාපනයේ දී සාමාන්‍ය පෙළ දක්වා අපට අප වෙනුවෙන් ගත හැකි වැදගත්ම තීරණය වන්නේ හොඳින් අධ්‍යාපනය කටයුතු වල නිරතවීමය. මන්ද යත් එම ප්‍රතිඵල ඔස්සේ උසස් පෙළ විභාගයේ දී අප යොමුවන ක්ෂේත්‍රය තීරණය වීමට බලපෑමක් වන බැවිනි.
කෙසේ වුවත් උසස් පෙළ විභාගයෙන් පසු අප සරසවි අධ්‍යාපනයට පිවිසීම හෝ වෙනත් රැකියාවකට යොමුවීම තුළ එය අපගේ සමාජ තත්ත්වය තීරණය කරන සාධකයක් බවට පත්වේ. මා මුලින් විස්තර කළ අත්දැකීම තුළ මා සහ මාගේ මිතුරන් දෙදෙනාට මිතුරන් වශයෙන් අපට හිතවත්කම පවත්වාගෙන යා හැකි වුවත් අපගේ රැකියාවන් අනුව යම් සමාජ තත්ත්ව තුනකට හා සමාජ පන්ති තුනකට අප තිදෙනා ඇතුළත් වී තිබේ. එය අප අපගේ ජීවිතය පිළිබඳ ගනු ලැබූ තීරණ හේතුවෙන් සිදුවී ඇති අතර එම සමාජ පන්තිය තුළ දී අප විඳිනා සැප පහසුකම්, අප විසින් ප්‍රශ්නවලට මුහුණ දෙන ආකාරය මෙන්ම ඒවායේ දී අප තීරණ ගන්නා ආකාරය ඇතුළුව අපගේ සමස්ත ජීවිතය පමණක් නොව තවමත් නූපන් අපගේ දරු මුණුබුරන්ගේ සමාජ තත්ත්වය හා සමාජ පන්තිය පවා තීරණය වී තිබේ. ඒ අනුව අප විසින් ගනු ලැබූ යම් තීරණයක් අපේ ජීවිත පමණක් නොව අප නොදුටු පරම්පරා ගණනාවක සමාජ තත්ත්වය පවා තීරණය කිරීමට තරම් බලපෑම් සහගත වීම එක්තරා ආකාරයකට පුදුම සහගතය.
මේ පිළිබඳ කල්පනා කිරීමේදී සමාජයේ ඇතැම් අර්බුද මෙම සමාජ තත්ත්වයට සිදුවන බලපෑම් වලට එරෙහිව සිදු කරන අරගල බව අවබෝධ කර ගත හැකිය. එවැනි එක් නිදසුනක් වන්නේ මේ දිනවල උත්කර්ෂයට නැංවී ඇති සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳ අර්බුදයයි. එම අර්බුදය තුළ රජයේ වෛද්‍ය විද්‍යාලවලින් බිහිවූ වෛද්‍යවරු තමන් බොහෝ කාලයක් වෙහෙස මහන්සි වී කැපකිරීම් රාශියක් කොට ලබාගත් වෛද්‍ය වෘත්තිය හා එම වෘත්තියට අදාළ සමාජ තත්ත්වයට මුදල් ගෙවා තවත් කෙනෙකු පැමිණීම දෙස බලන්නේ ඊර්ෂ්‍යා සහගත මානසිකත්වයකිනි. එම නිසාම රජයේ වෛද්‍යවරුන් තමන්ගේ එම සමාජ තත්ත්වය පවත්වාගෙන යාම සඳහා ඔවුන්ට හිමිවී ඇති ඒකාධිකාරිය මුදල් ගෙවන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඔස්සේ වෛද්‍යවරුන් බවට පත්වන වෛද්‍යවරුන් විසින් අහිමි කිරීම ඔවුන්ට එල්ල වන තර්ජනයක් වශයෙන් සලකයි. ඒ අනුව රජයේ වෛද්‍යවරුන්ගේ මෙම සයිටම් විරෝධී ප්‍රතිපත්තිය වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය හෝ වෙනයම් හේතුවක් මත උද්ගත වන තත්ත්වයකට වඩා තම සමාජ පන්තියට මුදල් ගෙවා වෙනත් පුද්ගලයින්ට පැමිණීමට හැකිවීම සම්බන්ධයෙන් උද්ගතව පවත්නා තත්ත්වයක් වශයෙන් ද විග්‍රහ කළ හැකිය.
සමාජයේ මෙම පන්තිය නැමැති සාධකය විවිධ ගීත නිර්මාණ තුළද විවිධ අරුත් වලින් භාවිත වී තිබේ. ඒ පිළිබඳව මේ මොහොතේ දී මාගේ මතකයට නැඟෙන ගී දෙකක පද මාලා ඇසුරෙන් ද සටහනක් තැබීම මෙම සටහන වඩාත් අර්ථවත් සටහනක් බවට පත්වීමට හේතු වේ යැයි මම විශ්වාස කරමි.
ඒ අනුව මහින්ද චන්ද්‍රසේකර නැමති ගී පද රචකයා අතින් රචනා වී රෝහණ වීරසිංහ අතින් සංගීතවත් වූ දීපිකා ප්‍රියදර්ශනී විසින් ගායනා කරන යුද්ධයේ අඳුරු පැතිකඩක් හෙළිකරන “මා තොටින් උතුරු හුළගේ….” නැතහොත් බොහෝ දෙනා හඳුනන “සරෝජා” නැමති ගීතයේ සමාජ පන්තිය පිළිබඳ හෙළිදරව් කරන පද මාලාවක කොටසක් වෙත ඔබේ අවධානය යොමු කරමි. ඒ අනුව එම ගීතයේ එක් තැනක මෙසේ සඳහන් වේ.
“ගුරුතුමී මා සිසුවියයි නුඹ
ඒත් අපි එක පංතියේ…”
මෙහි ගුරුතුමිය හා සිසුවිය එක පන්තියේ යනුවෙන් අදහස් වන්නේ ඔවුන් දෙදෙනාම එකම සමාජ පන්තියේ එනම් පීඩිත පන්තියේ සාමාජිකයින් වන බවය. බිහිසුණු යුද්ධයේ දී ඔවුන් දෙදෙනාටම අත්විඳීමට සිදුවන්නේ එකම ඉරණමය. එම ඉරණම තුළ ඔවුන් යුද්ධයෙන් සිදු කරන අඩම්තේට්ටම් වලට ලක් වී දුක්විඳිමින් සිටියි.
සමාජ පන්තිය පිළිබඳව මාගේ සිත තදින්ම නතර වුණු තවත් එක් ගීතයක පද මාලාවක කොටසක් පිළිබඳව ද මෙසේ ඔබ හමුවේ ඉදිරිපත් කරමි. එම ගීතය වන්නේ ලූෂන් බුලත්සිංහල අතින් ලියවී රෝහණ වීරසිංහ විසින් සංගීතවත් කර ඔහු විසින්ම ගායනා කරන “මුතුකුඩ ඉහලන මල් වරුසාවේ…” නැමති ගීතයයි. එහි එක් තැනක මෙවැනි අපූරු යෙදුමක් ඇතුළත් වේ.
“අඳුරු ලලා සෙංකඩගල වැස්සේ
දියදහරා පාටයි දේදුන්නේ
තෙමී තෙමී ආදර මධු වැස්සේ
ගිය දෙදෙනා අද යනවා දෙමංතලේ”
අඳුර ගලමින් වැස්ස වහින මොහොතක එම වැස්ස ආදරයේ මධු වැස්සක් බවට පත්කර ගනිමින් එක මඟක ගියපු දෙදෙනා අද දෙමංතලයක ගමන් කරයි. මෙහි දෙමංතලය යනු සමාජ පන්ති දෙකක දැන් ඔවුන් ඉන්නා බව ඉදිරිපත් කිරීමකි. සරසවි සමයේදී එකම සමාජ පන්තියක සිටි පෙම්වතිය සහ පෙම්වතා දැන් සමාජ පන්ති දෙකකට වෙන් වී සිටියි. පෙම්වතිය සැප පහසු රියක යන ධනවත් පාන්තිකයෙකු බවට පත්වී සිටියි. එහෙත් ඇය යන එම රථයෙන් ඉහෙන මඩ වතුරට නැහැවෙන පාරේ පයින් ගමන් කරන පෙම්වතා නිර්ධන පාන්තිකයෙකි. සරසවියේ දී ආදරයෙන් බැඳී සිටින විට එම ආදරය තුළ මෙසේ සමාජ පන්ති වලට බෙදීමක් නොතිබුණත් දැන් ඒ සියල්ල වෙනස් වී තිබේ. ඔවුන්ගේ එම අතීත ආදරය ඉමිහිරි මතකයක් පමණක් බවට පත්කරමින් සමාජ පන්තිය ඔවුන්ගේ සතුරෙකු බවට පත්වී තිබේ.
මෙසේ සමාජ පන්තිය පිළිබඳ මගේ අත්දැකීමක් ඇසුරෙන් මට දැණුනු සිතුවිලි සහ ඒ ඔස්සේ වර්තමාන සමාජ අර්බුදයක් සම්බන්ධයෙන් කළ විග්‍රහය මෙන්ම ගීත තුළ මෙම සමාජ පන්තිය පිළිබඳ මගේ හදවතට දැනුණු අවස්ථා දෙකක් මම මෙම සටහන තුළ දී අවධානයට බඳුන් කළෙමි. මා බස් රථයේ දී අත්විඳි අත්දැකීම මෙන්ම මුතුකුඩ ඉහලන මල් වරුසාවේ වැනි ගීත තුළින් සමාජ තත්ත්වය ප්‍රේමය පිළිබඳ අත්දැකීමකට හේතුවක් වන ආකාරයේ අත්දැකීම් වලට ඔබට ද ජීවිතයේ දී කවර හෝ අවස්ථාවක මුහුණ දීමට සිදුවිය හැකිය.
ජීවිතය නොනැවතී ඉදිරියට ගලායයි. ඒ අතරතුර මොහොතක් නතර වී නැවතත් සිතා බැලීමට සිත යොමුවන මෙවැනි අත්දැකීම් ජීවිතයේ ඉදිරියේදීත් හමුවනු ඇත. එවිට එම අත්දැකීම් ඔබ සමඟද බෙදා ගැනීමේ බලාපොරොත්තුවෙන් මම මෙසේ මෙම සටහන අවසන් කරමි. මෙම සටහන තුළින් ඔබට ඔබේ ජීවිතය පිළිබඳව නැවතත් හැරී බැලීමට සුළු හෝ පෙළඹවීමක් ඇති වූයේ නම් මාගේ මෙම උත්සාහයේ බලාපොරොත්තුව වන්නේ එයයි. මන්ද යත් මා ජීවිතය පිළිබඳ විඳින සංවේදී අත්දැකීම් තුළින් තවත් කිසිවෙකුට හෝ ඔවුන්ගේ ජීවිත තුළට එබී බැලීමට කවුළුවක් විවර කර දිය හැකි නම් එය ඉතා වැදගත් වන බැවිනි.
1,533 total views, 1 views today
ඔබ තිදෙනා එකම බසයක් තුල හමුවීම සෑහෙන්න ෆිල්මී නේද..!
“ මා මුලින් විස්තර කළ අත්දැකීම තුළ මා සහ මාගේ මිතුරන් දෙදෙනාට මිතුරන් වශයෙන් අපට හිතවත්කම පවත්වාගෙන යා හැකි වුවත් අපගේ රැකියාවන් අනුව යම් සමාජ තත්ත්ව තුනකට හා සමාජ පන්ති තුනකට අප තිදෙනා ඇතුළත් වී තිබේ.“
ඇත්තෙන්ම මේ කියන “රැකියාව මත සමාජ පන්ති වලට බෙදීම“ හැම සමාජයකම , රටකම අඩුවැඩි වශයෙන් දකින්නට ලැබුණත් , ආර්ථික-සමාජීය අතින් සංවර්ධනය වූ රට වල මේ තත්ත්වයේ කැපී පෙනෙන අඩුවක් දකින්නට ලැබෙනවා. ඒ දියුණූවට මේ වෙනසත් හේතු වේදැයි විමසන්නට තරම් මගේ දැනුම ප්‍රමාණ නොවුවත් , “රැකියාව මත පන්ති වලට බෙදීමේ“ බලපෑම අඩුවූ තරමට සේවා ඵලදායීතාවයේ දියුණුවක් ඇති බවනම් කිවයුතුමයි.
“මුතුකුඩ ඉහලන මල් වරුසාවේ…” මේ ගීතය අපට අහන්න ලැබුණේ සාපෙළ කරන දවස් වල වගේ , එදා වගේම අදත් හිතට දැනෙන සුන්දර ගීතයක්.
රසවත් ලිපියක් , ස්තුතියි ඔබට.
ඒක අහම්බයක්. එවැනි අහඹු දේවල් ජීවිතයේ ඕනෑම මොහොතක සිදුවිය හැකියි.
බොහොම ස්තූතියි ඔබට.