“නිදහස් සිතුවිලි අවකාශය” නමින් 2015 වසරේදී ආරම්භ කළ මෙම ශාස්ත්‍රීය වෙබ්අඩවිය අද දින සිය 6 වැනි සංවත්සරය සමරයි. ශ්‍රී ලාංකේය අන්තර්ජාල අවකාශයේ දැනුම සොයා පැමිණෙන්නන් වෙනුවෙන් අඛණ්ඩව වසර 6 ක් මෙම වෙබ්අඩවිය පවත්වාගෙන යෑමට හැකිවීම සතුටට කරුණකි. එහිදී විශ්වවිද්‍යාල විද්‍යාර්ථින් ඇතුළු අධ්‍යාපන කටයුතුවල නියැලෙන බොහෝ පිරිසකට දැනුම ලබාදීමට හැකිවූ අතර ඒ ඔස්සේ ඔවුන්ට සිය අධ්‍යාපනික අරමුණු ජය ගැනීමට අත්වැලක් වන්නට හැකිවිය. මෙම සටහන “නිදහස් සිතුවිලි අවකාශය” වසර 6 ක් පුරා පැමිණි මඟ ආවර්ජනය කිරීම වෙනුවෙනි.
වසර 06 කට පෙර මෙම වෙබ්අඩවිය ආරම්භ කරන අවධියේ මෙරට පැවති අධ්‍යාපන සංස්කෘතියට වඩා හාත්පසින්ම වෙනස් අධ්‍යාපන සංස්කෘතියක් දැන් අපි අත්විඳිමින් සිටිමු. විශේෂයෙන්ම කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මාර්ගගතව හෙවත් ඔන්ලයින් ක්‍රමවේද ඔස්සේ අන්තර්ජාලය භාවිත කරමින් අධ්‍යාපනය ලබාගැනීමට දැන් වැඩි පිරිසක් යොමුවී සිටින නමුත් සිංහල බසින් ඔවුන්ට දැනුම ලබාගැනීමට අවශ්‍ය ශාස්ත්‍රීය කරුණුවලින් පොහොසත් ප්‍රමිතිගත මාර්ගගත මූලාශ්රවල අඩුවක් පැවතීම කණගාටුවට කරුණකි. මේ හේතුවෙන් ගතවූ වසර දෙකක පමණ කාලයේ සිංහල බසින් අන්තර්ජාලයේ ප්‍රමිතිගත ශාස්ත්‍රීය මූලාශ්‍ර සොයා පැමිණි බොහෝ දෙනෙකු මෙම වෙබ්අඩවිය වෙත දෛනිකව පැමිණීමේ වැඩිවීමක් දක්නට ලැබුණි. ඒ අනුව ඉකුත් දෙවසරක පමණ කාලයේ ඇතිවූ මාර්ගගත ප්‍රමිතිගත අධ්‍යාපනික මූලාශ්‍ර ඌණතාව යම් තරමින් හෝ සැපිරීමට “නිදහස් සිතුවිලි අවකාශය” ට හැකිවූ බව පැවසිය යුතුය.
Iranga.net වෙබ් ලිපිනයෙන් ආරම්භ කළ මෙම වෙබ්අඩවියට ශ්‍රී ලාංකේය නිල වෙබ් සන්නාමයක් ලෙස Iranga.lk වෙබ්ලිපිනය ලබාගැනීමට පසුගිය වසරේ දෙසැම්බර් 06 වැනිදා හැකිවීම ද “නිදහස් සිතුවිලි අවකාශය” මෙතෙක් පැමිණි ගමනේ සුවිශේෂී සංධිස්ථානයකි. විශේෂයෙන්ම ශ්‍රී ලාංකේය අනන්‍යතාව අන්තර්ජාලයේ නිල වශයෙන් නියෝජනය කරන .lk සන්නාමය යටතේ ලියාපදිංචි වීමට හැකිවීම තුළ නිල පිළිගැනීමක් හිමිවූ අතර ඒ ඔස්සේ අතළොස්සක් වූ සිංහල ඩොමේන් නාම ලැයිස්තුවට ද ඉරංග.ලංකා නමින් ඇතුළත් වන්නට අවස්ථාව හිමිවීම ද සුවිශේෂී වේ.
මේ අනුව වසර 06 ක් පුරා “නිදහස් සිතුවිලි අවකාශය” පැමිණි ගමන් මඟ සහ විවිධ සමාජීය ප්රවණතා හමුවේ ඇතිවූ ශාස්ත්‍රීය අවශ්‍යතා සැපිරීමට ද සහායක් වීමට හැකිවීම පිළිබඳ ඇත්තේ නිහතමානී ආඩම්බරයකි. අන්තර්ජාලය තුළ සිංහල බසින් ප්‍රමිතිගත දැනුම සුලබ කිරීම කාලීන අවශ්‍යතාවකි. “නිදහස් සිතුවිලි අවකාශය” ඒ සඳහා ආරම්භක පියවර තබා ඇත. මෙවැනි වෙබ්අඩවි තව බොහෝ ඇරඹිය යුතුය. ඒ සඳහා ආරාධනා කරමින් ඊට අවශ්‍ය ඕනෑම සහායක් ලබාදීමට සූදානම් බව ප්‍රකාශ කරමින් මෙම සටහන අවසන් කරමි.
985 total views, 1 views today