0

Iranga.lk අඛණ්ඩව 7 වැනි වසරට පා තබයි

  • September 29, 2022

අදින් වසර 7 කට පෙර, එනම් 2015 වසරේ සැප්තැම්බර් 30 වැනිදා මා සරසවි සිසුවෙකු ලෙස සිටි අවධියේ හොරණ ශ්‍රී පාලි මණ්ඩපයේ ශිෂ්‍ය සංගම් කාර්යාලයේ දී “Iranga.net – නිදහස් සිතුවිලි අවකාශය” වෙබ්අඩවිය අන්තර්ජාලය⁣ට මුදාහැරිණි. එවකට ෆේස්බුක්හි මා පළකර තිබූ ලිපි කිහිපයක් ඇතුළත් කර මෙය ආරම්භ කළ අතර ඊට වසර ගණනාවක සිට මා විසින් රැස්කර ගෙන තිබූ වෙබ්අඩවි තැනීම පිළිබඳ දැනුම ඒ සඳහා මා හට උත්තේජනය සැපයූ සාධකයක් විය. එතැන් සිට අද දක්වා අඛණ්ඩව වසර 7 ක් පුරා ශාස්ත්‍රීය ලිපි ඇතුළු විවිධාකාර ලිපි රාශියක් පළකරමින් පවත්වාගෙන ආ මෙම වෙබ්අඩවිය මීට දෙවසරකට පමණ පෙර Iranga.lk නමින් ශ්‍රී ලාංකේය නිල වෙබ්අඩවි නාමාවලියට ද ඇතුළත් කර ගැනීමට ද හැකිවුණි.

වසර 7 ක් පුරා අඛණ්ඩව වෙබ් අඩවියක් පවත්වාගෙන යෑමට බලපාන එකම කාරණය හුදු තාක්ෂණික හැකියාව පමණක් නොවේ. ඒ සඳහා ගුණාත්මක අන්තර්ගතයන් ඇතුළත් කිරීමට මෙන්ම එම අන්තර්ගතයන් කරා ග්‍රාහකයින් ආකර්ෂණය කර ගැනීමට ද ශක්‍යතාව පැවතිය යුතුය. විශේෂයෙන්ම මෙම කාලය පුරා මා විසින් රචනා කරන ලද ලිපිවල ගුණාත්මකභාවය පවත්වාගෙන යාමට ද මා විසින් කටයුතු කිරීම මාගේ වෙබ්අඩවිය කරා දෛනිකව පාඨකයින් පැමිණීමට හේතුවූ මූලික සාධකය ලෙස මෙහිදී සඳහන් කළ යුතුය. ඒ සඳහා ජනමාධ්‍ය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයේදී මා ලැබූ දැනුම මෙන්ම ජනමාධ්‍ය ආයතනවල සේවය කිරීමෙන් මා ලැබූ අත්දැකීම් ද සුවිශේෂී පිටිවහලක් විය.

සමාජ මාධ්‍ය පිළිබඳ ශාස්ත්‍රීය වශයෙන් අධ්‍යයනයේ යෙදෙන විද්‍යාර්ථීන් උදෙසා විධිමත් ශාස්ත්‍රීය ලිපි සැපයීම මාගේ මෙම වෙබ්අඩවියේ මූලික අරමුණ ලෙස සලකා මම කටයුතු කළෙමි. විශේෂයෙන්ම එවැනි ශාස්ත්‍රීය ලිපිවල දැඩි අවශ්‍යතාවක් පවතින මෙවන් අවධියක එම අඩුව යම් තරමින් හෝ සැපිරීමට ගතවූ වසර 7 පුරා මා හට හැකිවූ බව මම විශ්වාස කරමි. මාගේ වෙබ්අඩවියට පැමිණෙන පාඨකයින් විසින් ඒ පිළිබඳ දක්වන ප්‍රතිචාර ඒ සඳහා සාක්ෂි දරන අතර එම ප්‍රතිචාර මෙම වෙබ්අඩවිය මෙවැනි දීර්ඝ කාලයක් පුරා පවත්වාගෙන යෑමට ශක්තිය සැපයූ බලවේගය වූ බව ද නිහතමානීව සඳහන් කරමි.

බ්ලොග් අඩවියක් ලෙස 2015 වසරේදී මෙම වෙබ්අඩවිය ආරම්භ කරන අවධියේ බ්ලොග් කියවීමට පැවති පාඨක උනන්දුව මේ වන විට සමාජ මාධ්‍ය මඟින් යටපත් කර තිබේ. බ්ලොග් වෙනුවට YouTube ඔස්සේ Vlog ආරම්භ කර පවත්වාගෙන යෑමට මේ වන විට බොහෝ දෙනෙකු කටයුතු කරන අතර එම නාලිකා වටා මිලියන ගණනින් ග්‍රාහකයින් ඒකරාශී කරගැනීමට ද ඒවායේ නිර්මාණකරුවෝ සමත්ව සිටිති. මෙම තත්ත්වය පුරවැසි මාධ්‍යකරණයේ සුවිශේෂී පිබිදීමක් ලෙස පෙන්වාදිය හැකි වුවත් මීට කලකට පෙර බ්ලොග් මඟින් ගොඩනැඟූ සංස්කෘතිය Vlog මඟින් ප්‍රතිස්ථාපනය කළ හැකි ද යන්න සංවාදයට බඳුන්විය යුතුය. කෙසේ වෙතත් බ්ලොග් නිර්මාණය කිරීම හා පවත්වාගෙන යාම මඟින් අප එකල ලැබූ පන්නරය නූතන Vlog සම්ප්‍රදාය මඟින් ලබාගත හැකිද යන්න ප්‍රශ්නාර්ථයකි. එබැවින් මීට වසර කිහිපයකට පෙර බ්ලොග් මඟින් අප ලබාගත් අත්දැකීම් පිළිබඳ මා විසින් මෙම වෙබ්අඩවියට රචනා කර ඇති ලිපි කියවීමට බ්ලොග් පිළිබඳ උනන්දුවක් දක්වන පාඨක ප්‍රජාවට මා ආරාධනා කරන අතර ඒ ඔස්සේ ඔබ සතු දැනුම සහ චින්තනය ලෝකයට විවර කිරීමට බ්ලොග් ඔබට නව දොරටුවක් විවර කරනු ඇත.

වසර 7 ක් පුරා Iranga.lk පැමිණි ගමන් මඟ තුළ මා දිනාගත් බොහෝ දෑ ගැබ්ව ඇති බව සඳහන් කළ යුතුය. විශේෂයෙන්ම එය මාගේ ශාස්ත්‍රීය ජීවිතයට ලබාදුන් ආලෝකය මෙන්ම මාගේ වෘත්තීය ජීවිතයේ කඩයිම් ජයගැනීමට හේතුවක් වූ බව ද පැවසිය යුතුය. නිදහස් අධ්‍යාපනයෙන් මා ලබාගත් දැනුම තවත් බොහෝ මාර්ග ඔස්සේ ලැබූ අවබෝධය සමඟ මුසු කරමින් උත්පාදනය කළ නව දැනුම ලබාදෙමින් මා දුටු නොදුටු තවත් දහස් ගණනකගේ ජීවිත ආලෝකමත් කිරීමට මෙම වෙබ්අඩවිය තුළින් හැකියාව ලැබීම ගතවූ වසර 7 පිළිබඳ යළි සිහිපත් කිරීමේදී මා උපයාගත් එකම වත්කම බව අවසාන වශයෙන් සඳහන් කරමි.

 2,074 total views,  1 views today

Comments

comments