බ්ලොග් විටෙක දැනුම උල්පතකි. තවත් විටෙක සතුට උල්පතකි. එසේම විටෙක මිතුරු උල්පතකි. එසේ බ්ලොග් ලොවෙන් උපන් මිතුරු ඇසුර වඩවඩාත් හදවතට දැනුණු මොහොතක් විඳින්නට පසුගිය දිනයක මා හට අවස්ථාව උදාවිය. මේ ඒ පිළිබඳ තබන සටහනකි.
ඉකුත් 23 වන දා මා හිත මිත්‍ර සහෝදර බ්ලොග්කරුවෙකු මෙන්ම සුන්දර මිනිසෙකු ද වන කොළඹ ගමයා හෙවත් එංගලන්තයේ ජීවත්වන අජිත් ධර්මකීර්තිගේ සියාමා කෘතිය දොරට වැඩීම මරදාන සාමයික කේන්ද්‍රයේදී පැවැත්වුණි. වරක් හමුවී පසුව බ්ලොග් සහ සමාජ මාධ්‍ය අවකාශය තුළින් මෝරා වැඩුණු අජිත් අයියා සමඟ මාගේ හිතවත්කම නිසාම එම උත්සවය සඳහා සහභාගි වීමේ අරමුණින් රැකියා ස්ථානයෙන් තරමක් කල්වේලා ඇතිව මා පිටත්වුණි.
උත්සවය පැවැත්වෙන ශාලාවේ දොරටුව ඉදිරිපිට තවත් මාගේ මිත්‍රයෙකු වන සුමිත් කලණසිරි සහෝදරයා සමඟ සිටි අජිත් අයියා දුරදීම මා හඳුනාගෙන අතක් දිගු කර කලණසිරි සහෝදරයාට මාව පෙන්වූයේ මේ අහවලා යැයි කියමිනි. ඉන්පසු උණුසුම් පිළිගැනීමකින් ඔවුන් මා පිළිගත් අතර ඒ සමඟම උත්සවයේ වැඩ කටයුතු ද ආරම්භ විය.
උත්සවයේ නිවේදන කටයුතු කළේ ද මා හිතමිත්‍ර බ්ලොග් රචිකාවියක් මෙන්ම වෘත්තියෙන් ගුරුවරියක වන තරුරසී අක්කායි. පොත් එළිදැක්වීමේ උත්සවය මුළුමනින්ම බ්ලොග් මිතුරුමිතුරියන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු එකක් බව සනාථ කරමින් උත්සවයේ පිළිගැනීමේ කතාව බ්ලොග් රචක ඉවාන් සොයුරා සිදු කළේය. පොත් දොරට වැඩීමේ උළෙලක සිරිත් පරිදි පැවැත්වෙන පොත් පිළිගැන්වීමේ දී බ්ලොග් සහෝදරත්වය වෙනුවෙන් කලණසිරි සොයුරාට ද අජිත් අයියා අතින් පොතක් පිළිගන්වන ලදි.
විචාරක දීප්ති කුමාර ගුණරත්න සහ මාධ්‍යවේදී නන්දන වීරරත්න උත්සවයේ ප්‍රධාන දේශන පැවැත්වූහ. පැය දෙකක පමණ කාලයක් පැවැත්වුණු උත්සවය අජිත් අයියාගේ කතාවෙන් පසු නිමාවට පත්විය.
එහෙත් මිතුරු හමුව එතෙකින් නිමාකර සමුගැනීමට අවසර නොවීය. ඒ ඉන්පසුව මධු සාදයක් හෝටලයක සංවිධානය වී තිබුණු බැවිනි. බ්ලොග් මිතුරියන් නොමැතිව මිතුරන් පමණක් සහභාගි වූ එම සාදය අතීත වර්තමාන රසබර කතා සපිරි අමතක නොවන හැන්දෑවක් විය.
සාදය පැවැත්වුණේ ප්‍රදීපාගාරයකට මුහුණ ලා ඇති කොළඹ ලයිට්හවුස් ගැලි හෝටලයේ ඉහළ මාලයේය. මීට අවුරුදු කිහිපයකට පෙර එම ස්ථානයේ සිට අඩි කිහිපයක් දුරින් තිබූ මහ මුහුද ගොඩකර වැලි පුරවා තිබුණේ අතීතයේ වැසියන් විඳි සොබාදහමේ සුන්දරත්වය අනාගත පරපුරට සහමුලින්ම අහිමි කරමිනි. ඒ වෙනුවට වලදැමූ අතීත සොඳුරු සිහිවටන මත නව ගොඩනැගිලි ඉදිවෙමින් තිබේ. ඒවා නිකන්ම නිකන් ගොඩනැගිලි මිස ජීවය හෝ සුන්දරත්වය පිරි ස්ථාන නොවේ. මිනිසුන් දහස් ගණනින් අනාගතයේ දී ඒවා තුළ ගැවසුණ ද ඒවා ප්‍රාණ වායුව අහිමි වූ මළවුන් පිරිසක් වැන්න. රාත්‍රියට විදුලි බුබුළු දහස් ගණන් දැල්වුවත් ස්වභාවික පරිසරයේ සුන්දරත්වය, පවිත්‍රත්වය හා අව්‍යාජත්වය ඒවාට කිසිවිටෙකත් ආරෝපණය වන්නේ නැත. අප උඩුමහලේ සිට අපේ දෑස් ඉදරිපිටම වැලලෙන සොබා සිරිය ගැන දුක්වූවෙමු. සුසුම් හෙළුවෙමු.
මුහුදු සුළං සමඟ අපේ මධු සාදයේ වීදුරු ගැටෙන හඬ, සතුටු සිනා රස කතා මැද මධුවිත උගුරෙන් උගුර පානය කරමින් බොහෝ දෑ අපි කතා කළෙමු. දේශපාලනය, කලාව, ඉතිහාසය ඇතුළු බොහෝ මාතෘකා මධුවිත අතර අපේ මානසික කටගැස්ම බවට පත්විය. විවිධ මාතෘකා ගැන බ්ලොග් ලිපි ලියන රචකයින් පිරිසක් එක්වූ තැනක කතා කළ හැකි මාතෘකා සිය ගණනකි.
මධු සාදයේ අවසානය සනිටුහන් වූයේ අනපේක්ෂිතව කඩාහැලුණු වර්ෂාවක් නිසාය. අකුණු හඬ නංවමින් ක්‍රමයෙන් ධාරාණිපාත වර්ෂාවක් බවට එය පරිවර්තනය විය. වර්ෂාව ක්‍රමයෙන් තුරල් වත්ම අපි එකිනෙකාගෙන් සමුගත යුතු මොහොත ද එලඹී තිබුණි. අතීතය, සතුට, මිත්‍රත්වය මැද ගෙවුණු සොඳුරු සන්ධ්‍යාවක අවසානය සනිටුහන් කරමින් අජිත් අයියා ඇතුළු බ්ලොග් සහෝදරත්වයෙන් සමුගෙන මාගේ නවාතැන්පළට පැමිණීමට බස් නැවතුම්පළකට යාමට කලණසිරි සොයුරාගේ මෝටර් රථයට මා ගොඩවුණි. මා සමඟ මාගේ හිතමිත්‍ර කොලොම්පුරේ අසංග සොයුරා ද රථයට ගොඩවුණි. 2016 වසරේ නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙලේ දී හමුවී ඇතිවුණු මිතුදම් අනපේක්ෂිත දවසක නැවත දළුලෑවේ එලෙසිනි. අජිත් අයියා තව දින කිහිපයකින් ඔහුගේ පවුලේ සාමාජිකයින් සමඟ නැවතත් එංගලන්තය බලා පිටත්ව යනු ඇත. ඉන්පසු නැවතත් අජිත් අයියා ඇතුළු බ්ලොග් මිතුරු කැල අන්තර්ජාලය තුළදී අප එකිනෙකා මුණගැසෙනු නියතය. නමුත් අපට සහෝදරත්වයෙන් එක මේසයක වාඩිවී රස කතා බෙදා ගන්නට දිනයක් නැවත කවදා උදාවේවිදැයි කියන්නට කිසිවෙකුටත් නොහැකිය.
2,004 total views, 1 views today
හමුවීම සතුටක් බොක්කා
කොලොම්පුරේ අසංගත්, ප්‍රදීප් රණතුංගත් ඊයේ හැන්දෑවේ කෝඩු බ්ලොග්කරුවකු වන මා බලන්නට ආ වෙලාවෙත් ‘සියාමා’ ගැන කීවා! ජයවේවා! (නිදිගෙ පංච තන්තරේ – නිදි)
විරෝධතාවයන් හින්දා හිරවුන පාරවල් වල වාහන තදබදයන් මැද්දේ දාහඩිය වගුරවමින් ඇවිත් ඉරංග, තරුරසි, ඉයන්, රන්දිනි, අනිත්කොන, ඉවාන්, ඔනමැන්ටල්, ඇනෝපිලිස්, ප්‍රා, කමි, කොළඹ ගමයා ඇතුලු සියල්ලන්ව කොළාම්පුරයේ වැහිබර අදුරු අහසයට හමුවුනු අපුරු සියාමා සැන්දෑවක්. ස්තූතියි හැමොටම
+++++++++++++++++++++++++
ලයිට් හවුස් ගැලි ලෙස නිවැරදි විය යුතුයි .. නවුකාවක galley ලෙස හඳුන්වන්නේ මුළුතැන්ගෙයයි.. ඇත්තෙන්ම සොඳුරු පැය කිහිපයක්.. ස්තුතියි ඉරංග.
අනිවාරයෙන්ම සහෝදරයා.
ස්තූතියි නිවැරදි කිරීමට. නිවැරදි කළා.
ලස්සන සටහනක් බොහොම ස්තූතියි මල්ලි