0

“පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන අයිතිය” තහවුරු කළ දිනූ සයිටම් සිසු සටන

ලාංකේය අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව සංධිස්ථානයක් සනිටුහන් කරමින් මෙරට අධිකරණය විසින් ඊයේ සුවිශේෂී තීන්දුවක් ප්‍රකාශයට පත් කරනු  ලැබීය. ඒ වෛද්‍ය උපාධි පිරිනැමීම සඳහා මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලයට නීත්‍යානුකූල හිමිකමක් ඇති බව ඊයේ අභියාචනාධිකරණය විසින් තීන්දු කිරීමත් සමඟිනි. අධිකරණය විසින් මෙම තීන්දුව ලබාදෙනු ලැබුවේ සයිටම් ආයතනයෙන් ලබා ගත් වෛද්‍ය උපාධිය අනුව තමාට වෛද්‍ය වෘත්තියේ නියැලීම සඳහා අවශ්‍ය ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කරන බවට සයිටම් ආයතනයේ සිසුවියක් විසින් ගොනු කර තිබූ පෙත්සමකට අදාළ තීන්දුව ප්‍රකාශ කරමිනි. කෙසේ වුවත් අධිකරණයේ මෙම තීන්දුව දශක ගණනාවක් පුරා මෙරට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල කෙරෙහි එල්ල වූ විරෝධයට එරෙහිව ලබා දුන් ප්‍රබල පිළිතුරකි. මේ මෙරට පෞද්ගලික අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ එම ඓතිහාසික තීන්දුව පිළිබඳ තබන සටහනකි.

විශේෂයෙන්ම මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලය පිළිබඳ පැවති අර්බුදය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ දී පැවසිය හැකි වන්නේ එම අර්බුදය ධනවත් පාන්තිකයින් හා නිර්ධන පාන්තිකයින් අතර උද්ගත වූ අර්බුදයක් වශයෙන් දෘෂ්‍යමාන වුව ද සැබැවින්ම එම අර්බුදය පැවතියේ එකම සමාජ පන්තියක අධ්‍යාපනය ලැබීමට කැමැත්තෙන් පසුවන දෙපිරිසක් අතර වන බවයි. එනම් විදෙස් රටවලට ගොස් වෛද්‍ය උපාධිය හැදෑරීමට හා අවශ්‍ය අනෙකුත් වියදම් දැරීමට හැකි මෙරටේ ධනවත් හා ඉහළ මධ්‍යම පාන්තික දරු දැරියන්ට මෙරටේ සයිටම් වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වී වෛද්‍ය උපාධිය හැදෑරීමට අවශ්‍යතාවයක් නොමැත. මන්ද යත් ඔවුන්ට වියදම් දැරීමට හැකි නිසා වෙනත් විදේශ රටකට ගොස් වෛද්‍ය උපාධිය ලබා මෙරටට පැමිණ වෛද්‍ය වෘත්තියේ නියැලීමට අවකාශය ඇති බැවිනි.

එහෙත් එසේ අධික මුදලක් වියදම් කිරීමට නොහැකි දෙමව්පියන්ගේ දරු දැරියන්ට වෛද්‍ය උපාධිය හැදෑරීමට පමණක් වියදම් වන මුදල ඉඩමක් උකස් තැබීමෙන් හෝ වෙනයම් ක්‍රමයකින් සොයාගෙන සයිටම් වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වී සිය වෛද්‍ය සිහිනය ජය ගැනීමට සයිටම් ආයතනය ඔස්සේ අවස්ථාව උදාවිය. එසේ වුවත් එය පිළිගෙන ඔවුන් වෛද්‍ය වෘත්තිකයන් වශයෙන් මෙරට තුළ ලියාපදිංචි කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව කටයුතු නොකළ බැවින් දෙමව්පියන් දුකසේ සොයා දුන් මුදලින් ලබා ගත් වෛද්‍ය උපාධියට හිමි වෘත්තියේ නියැලීමට ඔවුන්ට මේ දක්වා හැකියාවක් නොලැබුණි. එනිසා ණයවී හෝ වෙනයම් දුෂ්කර ක්‍රමයකින් උපයාගත් මුදල් වියදම් කර ලබා ගන්නා වෛද්‍ය උපාධියට නිසි වටිනාකම ලබා දෙන ලෙස ඉල්ලා එනම් “පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන අයිතිය” ඉල්ලා අරගල කිරීමට ඔවුන්ට සිදුවිය.

එහෙත් ඔවුන්ගේ එම අධ්‍යාපන අයිතියට එරෙහිව එනම් තම සමාජ පන්තියේම පිරිසකගේ අධ්‍යාපන අයිතියට එරෙහිව ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීමට මෙරට රාජ්‍ය සරසවි පද්ධතියේ වෛද්‍ය උපාධි අපේක්ෂකයින් ඇතුළු අනෙකුත් බහුතරයක් රාජ්‍ය විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් කටයුතු කිරීම අතිශය පිළිකුල් සහගත ක්‍රියාවක් වන බව පැවසිය යුතුය. ඒ සඳහා ඔවුන් විසින් විසින් ගෙනහැර දක්වනු ලබන පදනම් විරහිත තර්ක පිළිබඳව ද මෙහි දී පෙන්වා දිය හැකිය. එනම් සයිටම් ආයතනය තුළ වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා පවත්නා පහසුකම් හා ප්‍රමිතිය සම්බන්ධයෙන් අර්බුදයක් පවතින්නේ නම් එයට විසඳුම වශයෙන් අනුගමනය කළ යුතු වන්නේ ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කිරීම මිස සයිටම් ආයතනය වසා දැමීමට කටයුතු කිරීම නොවේ. එහෙත් මෙරට රාජ්‍ය සරසවි සිසුන්ගේ ඉල්ලීම වන්නේ සයිටම් ආයතනයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් සෑහීමට පත්විය නොහැකි බැවින් එය අහෝසි කිරීමට කටයුතු කළ යුතු බවයි. එහෙත් එසේ කළ පමණින් වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් මෙරටේ පවත්නා අර්බුදයට විසඳුමක් ලැබෙන්නේ නැත.

මෙරට රාජ්‍ය සරසවි සම්බන්ධයෙන් පවත්නා අර්බුදය වන්නේ ඒවාට ඇතුළත් වීමට හැකියාව ලැබෙන්නේ අතිශය සීමිත පිරිසකට වීමය. එනිසා ඒ සඳහා ප්‍රවේශ වන උසස් පෙළ විභාගය සිසුන් අතර මාරාන්තික සටනක් බවට පත්වන බැවින් එයින් ජය ලැබූවන් සරසවියට ඇතුළත් වීමට වරම් ලබන අතර එසේ සුදුසුකම් නොලබන පිරිසට සිදුවන්නේ උසස් අධ්‍යාපනය ඔස්සේ සිය අනාගතය සාර්ථක කර ගැනීමට දුටු සිහිනවලට තිත තබමින් රැකියා වෙළෙඳපොළට පිවිසීමටය. විශේෂයෙන්ම මෙම තත්ත්වය මෙරට වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් සැලකීමේ දී දැකිය හැකි කනගාටුදායක තත්ත්වයකි. එහෙත් අප විසින් අවධානයට යොමු කළ යුතු කරුණ වන්නේ උසස් පෙළ විභාගයෙන් රාජ්‍ය සරසවිවල වෛද්‍ය පීඨවලට ඇතුළත් වීමට සුදුසුකම් නොලබන, වෛද්‍යවරයෙකු බවට පත්වීමට කැමැත්තෙන් පසුවන හා ඒ සඳහා සුදුසුකම් සැපිරූ එහෙත් විදේශ ගතවී අධික මුදලක් වියදම් කිරීමට නොහැකි පිරිසට එම අවස්ථාව ලබා ගැනීම සඳහා මුදලට වෛද්‍ය උපාධිය ලබා දීමට ආයතනයක් මෙරට පිහිටුවීම යුක්ති සහගත නොවන්නේ ද යන්නයි. එසේම එය අධ්‍යාපනය ලැබීමට ඔවුන්ට ඇති අයිතිය තහවුරු කිරීමක් වන අතරම එයට එරෙහි වීම යනු අධ්‍යාපනය ලැබීමට ඔවුන්ට ඇති අයිතියට එරෙහි වීමක් ද වේ.

කෙසේ වුවත් අභියාචනාධිකරණයේ මෙම සුවිශේෂී හා ඓතිහාසික තීන්දුව ප්‍රකාශයට පත්වී ඇති මෙම මොහොත දක්වාත්, මෙම මොහොතේ දී සහ මින් ඉදිරියටත් රාජ්‍ය සරසවි පද්ධතියේ අතිමහත් බහුතරයක් සිසුන් විසින් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන අයිතියට ඇති අයිතිය අහෝසි කරන ලෙස ඉල්ලමින් විරෝධතා ව්‍යාපාර හා සත්‍යග්‍රහ ව්‍යාපාර ඇතුළු අනෙකුත් සෑම ක්‍රියාමාර්ගයක්ම ගනිමින් සිටියි. තවද එසේ කටයුතු කිරීම සඳහා සරසවිවලට ඇතුළත් වන නවක සිසු සිසුවියන් ද බලහත්කාරයෙන් යොදවා ගනු ලබයි. විශේෂයෙන්ම එය ඔවුන්ගේ නවක වධ කාල සමයේ තවත් එක් අංගයක් වශයෙන් ක්‍රියාත්මක කරමින් පවතින අතර රාජ්‍ය වෛද්‍ය පීඨවල සිසු සිසුවියන් සරසවියට ඇතුළත් වී සිය මුල් මාස කිහිපය ගත කරනු ලබන්නේ ඔවුන් වැනිම සහෝදර සහෝදරියන් පිරිසකගේ අධ්‍යාපන අයිතිය අහෝසි කිරීම සඳහා මෙලෙස අනුගමනය කරනු ලබන “ලජ්ජා සහගත ව්‍යාපාර” වලට ප්‍රතිපාදන සපයා ගැනීම සඳහා කැට ව්‍යාපාරවල කැමැත්තෙන් හෝ අකමැත්තෙන් නියැලෙමිනි.

ඒ අනුව පැවසිය හැකි වන්නේ අධිකරණය විසින් මෙරට පෞද්ගලික අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම සඳහා අතිශය කාලෝචිත හා ඓතිහාසික තීන්දුවක් ලබා දී ඇතත් “පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී සංස්කෘතියක්” මෙරට රාජ්‍ය සරසවි පද්ධතිය තුළ බිහිකළ ඊනියා සරසවි සිසු නායකයින්ගේ මෙහෙයවීම් ඔස්සේ තවදුරටත් සයිටම් විරෝධය ක්‍රියාත්මක වන බවයි. විශේෂයෙන්ම එය පිළිකාවක් වශයෙන් නොකඩවා ශිෂ්‍ය කණ්ඩායම් අතර ව්‍යාප්ත කිරීම ද අතිශය පිළිකුල් සහගත වන බව පෙන්වා දිය යුතු වන අතර ඉතා සුළු සුදුසුකම් අඩුවීමකින් රාජ්‍ය සරසවි පද්ධතියෙන් වෛද්‍ය අධ්‍යාපනය ලැබීමට වරම් නොලබන බහුතරයක් වන පිරිසට වෛද්‍ය අධ්‍යාපනය ලැබීමට පවත්නා අයිතිය අහිමි කිරීමට ඊනියා සරසවි සිසු නායකයින් ඇතුළු කිසිදු බලවේගයකට නොහැකි බව ද අවධාරණය කළ යුතුවේ. එබැවින් දැන් කළ යුතු වන්නේ අධිකරණයේ මෙම තීන්දුව අනුව යමින් සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිදාරීන්ගේ උපාධියට ද අවශ්‍ය පිළිගැනීම ලබා දීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කිරීමය. එය තවදුරටත් කල් මැරීමක් නොවිය යුතු වන අතර මෙතෙක් එම සිසුන්ට අහිමි කළ පෞද්ගලික අධ්‍යාපන අයිතියේ ප්‍රතිලාභ භුක්ති විඳීමට ඔවුන්ට කඩිනමින් පහසුකම් සැලසීමට බලධාරීන් වහා කටයුතු කළ යුතුය.

ආශ්‍රිත ලිපි
මාලඹේ හොර උපාධි කඩයක්ද?
ඊනියා වෛද්‍ය ශිෂ්‍ය සංවිධානවල අවිචාර වැඩ නිසා ජනතාවට තව බදු බරක්..!

 1,292 total views,  1 views today

Comments

comments