0

සයිටම් විරෝධී භීෂණයක් අත ළඟද…?

මේ දිනවල සමාජයේ දැඩි කතාබහට ලක් වී ඇති සයිටම් ආයතනය හෙවත් මාලඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව භීෂණයක් ආරම්භ කර ඇති බවට ඉඟියක් පළ කරමින් පසුගිය 6 වන දින එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයාට නන්නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබුණි. මෙම ප්‍රහාරයෙන් ඒ මහතාගේ ජීවිතයට හානියක් සිදුවී නොමැත. එසේම එතුමාගේ ජීවිතයට තර්ජන ඇති බවට එතුමා විසින් ඊට පෙර පොලීසියට පැමිණිලි කර තිබූ බවද වාර්තා විය. කෙසේ වුවද එම තත්ත්වය යටතේ ඒ මහතාගේ නිවසට පොලිස් ආරක්ෂාව සැපයීමට ද පියවර ගෙන තිබුණි.

සයිටම් ආයතනයේ මෙම නිලධාරියාට වෙඩි තැබීම පිටුපස රජයේ නිලධාරීන්ගේ සංගමය හා අන්ත වාමාංශික කණ්ඩායමක් සිටින බව ඒ පිළිබඳව ඊට පසු දින පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් සයිටම් ආයතනයේ සභාපති ‍වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා පවසා සිටියේය. එසේම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පිළිබඳ තමාට කිසිදු විශ්වාසයක් නොමැති බවත් සයිටම් ආයතනයේ සිසුන් සඳහා වෛද්‍ය සභාව විසින් විභාගයක් පැවැත්වුවහොත් සියලුම සිසුන් අසමත් කරනු ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේය.

ඒ අනුව මෙම සිදුවීම හා ඒ සම්බන්ධයෙන් පළවූ අදහස් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ දී මාලඹේ සයිටම් ආයතනයට එරෙහිව එක්තරා පිරිසක් විසින් භීෂණයක් ආරම්භ කර ඇත්දැයි යන සැකය මතුවේ. විශේෂයෙන්ම වෛද්‍ය උපාධි පිරිනැමීම සඳහා මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලයට නීත්‍යානුකූල හිමිකමක් ඇති බවට අභියාචනාධිකරණය විසින් ලබා දුන් තින්දුවට පසු සයිටම් විරෝධීන් විසින් විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටීම තුළ මෙම වෙඩි තැබීමේ සිද්ධිය හුදෙකලා සිදුවීමක් වශයෙන් අර්ථ දැක්විය නොහැකි තත්ත්වයක් ඉස්මතු වී තිබේ.

මෙම සිදුවීමට බොහෝ දුරට සමානව සිදුවූ සිදුවීමක් ද මෙහි දී සිහිපත් කළ හැකිය. එනම් ටෙලිකොම් ආයතනයේ මෑන් පවර් ගැටළුවට අදාළව එම ආයතනයේ මෑන් පවර් සේවකයින් විසින් දිගු කාලයක් පුරා පැවැත්වූ විරෝධතාවයට නායකත්වය ලබා දුන් පුද්ගලයා නිවසට යමින් සිටින අතරතුර කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් පසුව නිදහස් කර තිබුණි. මාධ්‍ය විසින් මෙම තත්ත්වය කළු වෑන් සංස්කෘතියක් රට තුළ ඇති වීමේ තත්ත්වයක් වශයෙන් පෙන්වා දී තිබුණේ ඒ මහතා පැහැරගෙන යනු ලැබූ වෑන් රථය කළු පැහැති වෑන් රථයක් වූ බැවිනි.

මෙසේ සැලකීමේ දී පැහැරගෙන යෑම් හා විරොධය පා වෙඩි තැබීමේ සිදුවීම් මෙරට තුළ දුලභ සිදුවීම් නොවුණ ද එම සාමාන්‍ය අර්ථයෙන්ම මෙම සයිටම් ආයතනයේ නිලධාරියා ඉලක්ක කර ගනිමින් සිදු කළ වෙඩි තැබීම සැලකිය නොහැකිය. මන්ද යත් එක්තරා අතකින් මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධ අර්බුදය ලාංකේය අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂී කඩයිමක් සලකුණු කිරීමට හේතු වී ඇති තත්ත්වයක් බැවිනි. එසේම තවත් අතකින් මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ කිසිසේත් නොසලකා හැරිය නොහැකි පෞද්ගලික අධ්‍යාපන ආයතන ඇතුළු සමස්තය මෙම සයිටම් ආයතනය ඔස්සේ එක් සුවිශේෂී සංධිස්ථානයකට නතු වන බැවිනි. මෙම තත්ත්වය තවදුරටත් මෙසේ පැහැදිලි කළ හැකිය.

එනම් බොහෝ පිරිසක් විසින් සයිටම් ආයතනයට විරුද්ධව අදහස් දක්වමින් සිටින අතර ඔවුන්ගේ එම තර්කවල පදනම වී ඇත්තේ නිදහස් අධ්‍යාපනය හෙවත් රාජ්‍ය අධ්‍යාපනය සුරැකීමේ අරමුණ බව ප්‍රකාශ වේ. එහෙත් ඔවුන් විසින් තවදුරටත් රාජ්‍ය අධ්‍යාපනය පමණක් එනම් විශේෂයෙන්ම රජයේ වෛද්‍ය විද්‍යාලවලින් පමණක් මෙරටට අවශ්‍ය වෛද්‍යවරුන් බිහිකළ යුතු බවට වන පදනමේ රැඳී සිටිමින් කටයුතු කිරීම තවදුරටත් වලංගු ප්‍රකාශයක් නොවන බව පැවසිය හැකිය. මන්ද යත් එම අවශ්‍යතාව සැපිරීමට කිසිසේත් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ පහසුකම් ප්‍රමාණවත් නොවීම තුළ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය කරා යොමුවීම හැර වෙනත් විකල්පයක් නොමැති බැවිනි. එම නිසා එම අවශ්‍යතාව සැපිරීම පිණිස මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පවත්වාගෙන යාම වාණිජ අරමුණකින් ඔබ්බට ගියා වූ මෙරට අධ්‍යාපනය සම්බන්ධයෙන් උද්ගත වී ඇති ප්‍රබලතම අවශ්‍යතාව පූරණය කිරීම පිණිස යොදා ගත යුතු තත්ත්වයක් වශයෙන් සැලකිය යුතුය. එබැවින් මාලඹේ වෛද්‍ය විද්‍යාලයට විරුද්ධ වීම ඔස්සේ රාජ්‍ය සරසවිවලට සැපිරීමට නොහැකි වන අධ්‍යාපන අවශ්‍යතාව තවදුරටත් උග්‍ර අර්බුදකාරී තත්ත්වයකට පත්කිරීමට මෙම විරෝධය හේතු වන බව සඳහන් කළ හැකිය.

එසේම මාලඹේ වෛද්‍ය විද්‍යාලයට පක්ෂ පාර්ශවය විසින් නියෝජනය කරනු ලබන්නේ මෙරට උසස් අධ්‍යාපනය පෞද්ගලීකරණය විය යුතු බව විශ්වාස කරන සහ ඒ වෙනුවෙන් පෙනී සිටින පිරිස පමණක් නොවේ. විශේෂයෙන්ම ජාත්‍යන්තර පාසල් නියෝජනය කරනු ලබන සිසුන් හා ඔවුන්ගේ දෙමව්පියන් ඇතුළු මෙරටේ පෞද්ගලික අධ්‍යාපන ආයතන සමඟ ගනුදෙනු පවත්වන පිරිස සැලකීමේ දී නිදහස් අධ්‍යාපනය සුරැකීම පෙරටු කර ගනිමින් සයිටම් විරෝධී සටනට පෙළ ගැසී සිටින පිරිස මෙන් ඔවුන් වීදි විරෝධතාකරුවන් නොවෙතත් පෞද්ගලික අධ්‍යාපනය සම්බන්ධයෙන් ඔවුන්ගේ මතය ශක්තිමත්ය. එබැවින් ඔවුන් සමඟ සයිටම් විරෝධීන් ගැටුමකට අවතීර්ණ වුවහොත් එම තත්ත්වය අතිශයින්ම භයානක තත්ත්වයක් බවට පත් විය හැකිය. එනිසා විරෝධතා, සත්‍යග්‍රහ මෙන්ම පන්ති වර්ජන ඇතුළු කවර ක්‍රියාමාර්ගයකින් වුවද සයිටම්වාදී අරගලය නතර කළ හැකි බව සයිටම් විරෝධීන් විශ්වාස කරන්නේ නම් එය  විහිළු සහගත වන බව ද පෙන්වා දිය යුතුය.

තවද වෛද්‍ය සභාව ඇතුළුව මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය දක්වන පිරිස් විසින් එම ආයතනයට පමණක් ප්‍රබල විරෝධයක් දැක්වීමද මෙහිදී සැලකිල්ලට භාජනය කළ යුතු තත්ත්වයකි. එනම් කොතලාවල වෛද්‍ය පීඨය සම්බන්ධයෙන් මෙම පිරිස් වෙතින් මෙවැනි විරෝධයක් එල්ල වන්නේ නැත. එසේම මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පමණක් ඉලක්ක කර ගනිමින්, නොඑසේනම් සයිටම් ආයතනය පමණක් මෙසේ කටගැස්මට ගනිමින් දියත් කරනු ලබන මෙම විරෝධතා සම්බන්ධයෙන් මෙවැන්නක් ප්‍රකාශ කළ හැකිය. එනම් මුදලට ඉංජිනේරු උපාධි ලබා දීම සඳහා ද පෞද්ගලික විශ්වවිද්‍යාල ගණනාවක් මෙරටේ ක්‍රියාත්මක වෙමින් පවතී. මෙහි දී වෛද්‍යවරයාගේ වෘත්තියේ හා ඉංජිනේරුවරයාගේ වෘත්තියේ ස්වභාවය සැලකීමේදී වෛද්‍යවරයා විසින් තමා වෙත පැමිණෙන රෝගීන් සුවපත් කිරීම සිදු කළ යුතු වන අතර ඉංජිනේරුවරයා විසින් සිදු කරනු ලබන්නේ පුද්ගලයින්ට ජීවිතය පවත්වා ගැනීම පහසු කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ඉදිකිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීමය. සයිටම් ආයතයෙන් බිහිවන වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබා ගත හොත් එයින් රෝගීන්ගේ ජීවිතවලට හානියක් සිදු වීමට ඉඩ ඇති බව පෙන්වා දෙන සයිටම් විරෝධීන් මුදලට ලබා දෙන ඉංජිනේරු උපාධිවල ප්‍රමිතිය සම්බන්ධයෙන් හෝ එසේ ප්‍රමිතියෙන් තොරව ඉංජිනේරු උපාධි ලබා දෙන්නේ නම් එම ඉංජිනේරු උපාධියේ දැනුම භාවිත කර කරනු ලබන ඉදිකිරීමකින් නිරෝගී පුද්ගලයින්ගේ ජීවිතවලට සිදුවිය හැකි හානි සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්නේ නැත. එනම් නිදසුනක් වශයෙන් මෙරටේ පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් ඉංජිනේරු උපාධියක් ලබා ගත් නැතැත්තෙකුගේ උපදෙස් මත ඉදිකරන පාලමක් කඩා වැටීමෙන් නිරෝගී පුද්ගලයින්ගේ ජීවිතවලට සිදුවිය හැකි අනතුරු සම්බන්ධයෙන් සයිටම් විරෝධීන් ප්‍රශ්න නොකරයි. ඒ අනුව සයිටම් ආයතනයට විරුද්ධව රාජ්‍ය සරසවිවල සිසුන් පෙරටුකර ගනිමින් ඔවුන් විසින් මෙසේ මෙහෙයවනු ලබන්නේ අතිශය කුහක හා රජයේ වෛද්‍ය විද්‍යාලවලින් උගත් වෛද්‍යවරුන් සතු ඒකාධිකාරිය ආරක්ෂාකර දීමේ පටු අරමුණ සහිත ව්‍යාපෘතියක් බව පැහැදිලිය.

ඒ අනුව පැවසිය යුතු වන්නේ සයිටම් ආයතනයේ නිලධාරියාට සිදු කළ මෙම වෙඩි තැබීම සැබැවින්ම සයිටම් විරෝධී පාර්ශවයක ක්‍රියාවක් වන්නේ නම් එයට විරුද්ධව පෙළ ගැසීමට සූදානමින් සිටින පිරිස කිසිසේත් දුබල පාර්ශවයක් වශයෙන් අවබෝධ කර නොගත යුතු වන බවය. එසේම සයිටම් ආයතනයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ප්‍රශ්න පවතින්නේ නම් එම ප්‍රශ්න නිරාකරණය කර ගැනිම සඳහා කටයුතු කළ යුතු වන අතර සයිටම් ආයතනයට එරෙහිව මෙසේ භීෂණයක් ඇති කිරීමට උත්සාහ කිරීම මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ කාලීන අවශ්‍යතාවක් බවට පත්ව ඇති පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය මෙරටට අත්‍යවශ්‍ය බවට පිළිගන්නා සහ ඒ වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයින් විසින් දැඩිව හෙළා දැකිය යුතු වන බව ද අවසාන වශයෙන් අවධාරණය කළ යුතුය.

ආශ්‍රිත ලිපි
“පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන අයිතිය” තහවුරු කළ දිනූ සයිටම් සිසු සටන
පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහි විරෝධය සාධාරණද?

 1,108 total views,  1 views today

Comments

comments