1

කුහක සයිටම් විරෝධය හා නූතන ශයිලොක්ලාගේ දේශපාලන නාඩගම

මාලඹේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් මේ වන විට උද්ගත වී ඇති අර්බුදය මෙරට වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් උද්ගත වී ඇති අර්බුදයකින් ඔබ්බට ගියා වූ සෘජු දේශපාලන අරමුණක් ඉස්මතු කරන අර්බුදයක් බවට මේ වන විට පත්වී තිබේ. මෙම තත්ත්වය වඩාත් පැහැදිලි වන්නේ ඉකුත් අප්‍රේල් 7 වන දින රජය විසින් සයිටම් ආයතනය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය පැහැදිලි කිරීමෙන් පසුවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මෙම විස‍ඳුම් හා යෝජනා ප්‍රතික්ෂේප කරමින් ඔවුන්ගේ පටු දේශපාලන අරමුණ ඉටු කර ගන්නා තෙක් රජයේ සරසවිවල සිසු සිසුවියන් ඔවුන්ගේ අතකොළු ලෙස භාවිත කරමින් සිටින බැවිනි. මේ එම සංවිධානවල අත්තනෝමතික ක්‍රියාකලාපය හෙවත් මස් රාත්තලම ඉල්ලන නූතන ශයිලොක්ලා පිළිබඳ තබන සටහනකි.

මෙම සයිටම් අර්බුදය දඩමීමා කරගත් රජයේ වෛද්‍යවරුන් විසින් මෙරටේ අහිංසක රෝගීන් බිලි දෙමින් රට පුරා වැඩ වර්ජන දියත් කරමින් කටයුතු කරන තත්ත්වයක් තුළ රජය මෙම විසඳුම් යෝජනාවලිය ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලදි. එසේම රාජ්‍ය සරසවි සිසුන් මහමඟට කැන්දමින් හා අට්ටාල මත ඔවුන්ගේ අනාගතය දිය වී යාමට සලස්වමින් කටයුතු කරන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ප්‍රමුඛව සෘජු දේශපාලන න්‍යාය පත්‍ර අනුව කටයුතු කරන ඊනියා ශිෂ්‍ය සංවිධානවල ඉල්ලීම් වලට සවන් දීමක් වශයෙන් රජය මෙම විසඳුම් ඉදිරිපත් කිරීමට කටයුතු කළ ද සයිටම් අර්බුදය දේශපාලන අර්බුදයක් දක්වා දිග්ගස්සවමින් එම බොරදියේ සිය පටු දේශපාලන වුවමනාවන් සාධනය කර ගැනීම සඳහා මාන බලමින් සිටින මෙම කණ්ඩායම් මෙම අර්බුදය අවුලෙන් අවුලට පත් කරමින් කටයුතු කරමින් සිටින්නේ සෑම පාර්ශවයකටම සාධාරණක් ඉටු වන අයුරින් රජය විසින් ඉදිරිපත් කරනු ලැබූ මෙම සාධනීය යෝජනා තුට්ටුවකට හෝ මායිම් නොකරමිනි.

රජය විසින් පසුගිය අප්‍රේල් 7 වන දින මෙම සයිටම් අර්බුදයට විසඳුම් වශයෙන් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවලිය මෙසේය. එනම් මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ශික්ෂණ රෝහලක් වශයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය යටතට ගැනීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කර සිටියි. ඒ අනුව එම රෝහල අඛණ්ඩව ශික්ෂණ රෝහලක් වශයෙන් පවත්වාගෙන යාමට කටයුතු කරන බව ද උසස් අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

එසේම සයිටම් වෛද්‍ය විද්‍යාලයේ අවසන් පරීක්ෂණය සමත් වූ සයිටම් වෛද්‍ය ශිෂ්‍යයන් වෛද්‍ය උපාධියට අදාළව සම්පූර්ණ කළ යුතු සායනික පුහුණුව සම්පූර්ණ කිරීම සඳහා හෝමාගම හා අවිස්සාවේල්ල රෝහල් කරා යොමු කරනු ලැබේ. ඔවුන් විසින් එම රෝහල්වලදී ශල්‍ය කර්ම, වෛද්‍ය විද්‍යාව, නාරිවේදය, ප්‍රසව විද්‍යාව හා බාලක විද්‍යාව ආදී විෂය ක්ෂේත්‍රවලට අදාළව සායනික පුහුණුව ලැබීමට නියමිතය.

saitm2

තවද මෙම රජයේ යෝජනාවලිය තුළ අන්තර්ගත වූ වඩාත් වැදගත් වන අනෙක් යෝජනාව වන්නේ මෙම සායනික පුහුණුවෙන් පසු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ඒකාබද්ධ අධීක්ෂණය යටතේ පවත්වනු ලබන්නා වූ පරීක්ෂණයක් තුළින් සයිටම් වෛද්‍ය ශිෂ්‍යයන් වෛද්‍යවරු වශයෙන් මෙරට තුළ පිළිගන්නවාද නැද්ද යන්න තීරණය කිරීමය. මෙම පරීක්ෂණය තුළින් වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් සයිටම් සිසුන් ලබා ඇති දැනුම ප්‍රමාණවත්ද නැතිද යන්න තහවුරු වන අතර ඒ ඔස්සේ වෛද්‍යවරයෙකු බවට පත්වීම සඳහා සැපිරිය යුතු සුදුසුකම් නිසි පරිදි සම්පූර්ණ කළ ශිෂ්‍යයින් පමණක් අවසානයේ දී වෛද්‍ය වෘත්තිය සඳහා පිවීසීමට සුදුසුකම් ලබයි. එමෙන්ම නීතිපතිවරයාගේ අනුමැතිය සහිතව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ඉදිරිපත් කරනු ලබන ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය සඳහා වූ අවම ප්‍රමිතීන් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ගැසට් නිවේදනයක් ඔස්සේ ප්‍රකාශයට පත් කිරීමට ද නියමිත වේ.

එහෙත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ අන්තරය ඔවුන්ගේ කුහකත්වය ප්‍රදර්ශනය කරමින් මස් රාත්තලම ඉල්ලන ශයිලොක්ලා බවට පත් වී මේ දක්වා තිරෙන් පිටුපසට වී රඟදක්වමින් සිටි දේශපාලන නාඩගම දැන් ප්‍රසිද්ධ වේදිකාවේ රඟදැක්වීම ආරම්භ කර තිබේ. විශේෂයෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් මෙම සයිටම් ප්‍රශ්නය මූලික කර ගනිමින් හැසිරෙන ආකාරය තුළ හා විවිධ අවස්ථාවලදී සිදු කරන ලද ප්‍රකාශ ඔස්සේ ඔවුන්ගේ පටු දේශපාලන අරමුණ හෙළිදරව් වී තිබේ. එසේම මෙම ක්‍රියාකලාපය තුළ වෛද්‍යවරුන් පිළිබඳව සමාජය තුළ පවත්නා ගෞරවනීයත්වය පවා හෑල්ලුවට ලක්වී ඇති අතර වෘත්තීය සංගමයකින් ඔබ්බට ගියා වූ දේශපාලන පක්ෂයක ස්වභාවයක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තුළින් දෘෂ්‍යමාන වෙමින් පවතින බවද පැවසිය යුතුය.  එබැවින් මෙම තත්ත්වය තුළ ඔවුන්ගේ සයිටම් විරෝධය  කිසිසේත් මෙරටේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් පවතින අර්බුදයක් නොව එක් එක් අසාර්ථක දේශපාලන ව්‍යාපාරවල අරමුණු සාධනය කිරීම සඳහා පෙරටු කරගනු ලැබූ පදනමක් නොමැති සටන් ව්‍යාපාරයක් පමණක් වන බවද අවධාරණය කළ යුතුය.

එසේම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ මෙම දේශපාලන නාඩගම තුළ තමන්ට හිමි පංගුව වෙන් කර ගැනීම සඳහා බොර දියේ මාළු බාමින් සිටින අනෙක් සංවිධානය වන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය හෙවත් අන්තරය මුක්කුවක් බවට පත් කර ගනිමින් කටයුතු කරමින් සිටින උපන්ගෙයිම අසාර්ථක දේශපාලන ව්‍යාපාරය සම්බන්ධයෙන්ද මෙහිදී යමක් පැවසිය යුතුය. එනම් ජනතා විමුක්ති පෙරමුණෙන් කැඩී ගොස් පෙරටුගාමී සමාජවාදී පක්ෂය නමින් කටයුතු කරමින් ලහිරු වීරසේකර නැමැති රූකඩයේ රූකඩ නටවන්නා බවට පත්වී සිටින මෙම පක්ෂය ඊනියා සයිටම් අර්බුදය යොදා ගනිමින් තම අසාර්ථක දේශපාලන ව්‍යාපාරය සමඟ රාජ්‍ය සරසවි සිසුන් බහුතරයක් එකතු වී සිටින බවට තමන්වම රවටා ගනිමින් සිටින කණ්ඩායමකි. ජවිපෙන් කැඩී ගිය පසු අන්තරය ද ඔවුන් සමඟ ජවිපෙන් වෙන්වූ නිසා ඔළු ගෙඩි පමණක් වැඩිවූ දෘෂ්‍යමාන බලයක් මෙම පක්ෂයට හිමිවිය. එහෙත් සැබැවින්ම මෙම දේශපාලන පක්ෂයේ බලය ඉකුත් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සමඟ හෙළිදරව් වූයේ මෙම පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළ දුමින්ද නාගමුව නැමැති අපේක්ෂකයා ඡන්ද  9,941 ක් හෙවත් 0.08% ක ඡන්ද ප්‍රතිශතයක් පමණක් ලබා ගැනීමට සමත් වූ හෙයිනි. එනම් අවම තරමින් එම දේශපාලන ව්‍යාපාරයේ අතකොළුව වන අන්තරයේ කීම අනුව දිනපතා මහමඟ හා අට්ටාල මතට වී මෙරටේ අහිංසක ජනයාගේ බදු මුදල් වලින් සිය උපාධිය සම්පූර්ණ කරමින් සිටින රාජ්‍ය සරසවි සිසුන් පවා මෙම අසාර්ථක දේශපාලන පක්ෂයේ අපේක්ෂකයා සඳහා ඡන්දය භාවිතා කර නැත. එසේනම් ඊනියා සයිටම් විරෝධයට නාමික දේශපාලන බලයක් සපයන බව පවසමින් සයිටම් විරෝධී බොරදියේ තම පටු දේශපාලන වාසි පිණිස කටයුතු කරමින් සිටින මෙම අසාර්ථක දේශපාලන ව්‍යාපාරයට ද අවශ්‍ය වී ඇත්තේ සයිටම් විරෝධය දඩමීමා කර ගනිමින් කටයුතු කිරීමට මිස සැබැවින්ම නිදහස් අධ්‍යාපනය නමින් පෙනී සිටීමට හෝ එහි උන්නතිය උදෙසා කටයුතු කිරීමට නොවේ.

ඒ අනුව පැවසිය යුතු වන්නේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් උද්ගත වූ අර්බුදයට රජය විසින් වඩාත් සාධනීය විසඳුම් හා යෝජනා ඉදිරිපත් කර ඇතත් බොරදියේ මාළු බාමින් අසාර්ථක දේශපාලන අතකොළු බවට පත්වී සිටින කණ්ඩායම්වලට එම යෝජනා ඔස්සේ සිය කුහක දේශපාලන අරමුණු සාධනය කර ගැනීමට නොහැකි වී ඇති බැවින් ඔවුන් තවදුරටත් මෙම ඊනියා සයිටම් අර්බුදය සිය ජීවිකාව බවට පත්කර ගනිමින් කටයුතු කරමින් සිටින බවය. මෙරටේ රාජ්‍ය සරසවි තුළ පිළිලයක් බවට පැතිර පවත්නා අන්තරය නැමැති දේශපාලන අතකොළුවේ ලහිරු වීරසේකර නැමැත්තා විසින් පසුගිය දිනයක දෙරණ රූපවාහිනී නාලිකාවේ අලුත් පාර්ලිමේන්තුව නැමැති වැඩසටහනට පැමිණ සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ද මා විසින් කරණු ගෙනහැර දැක්වූ අතර (දෙරණේ “අලුත් පාර්ලිමේන්තුව” ට ඇවිත් අන්තරේ ළහිරු රෙදි ගලවා ගැනීම) ඒ අනුව ඔවුන් මෙම ඊනියා සයිටම් අර්බුදය ඉතා සැලසුම් සහගතව මෙහෙයවමින් සිටින බව පැහැදිලි වේ.  එබැවින් අවසාන වශයෙන් සඳහන් කළ යුතු වන්නේ මෙම කුහක සයිටම් විරෝධය හා නූතන ශයිලොක්ලාගේ දේශපාලන නාඩගම දැන් සමාජය ඉදිරියේ හෙළිදරව් වී ඇති බැවින් බොර දියේ සිය පටු දේශපාලන අරමුණු කර ගැනීමට ඔවුන් දුටු සිහින දහවලේ දුටු සිහින බවට පමණක් පත්වී ඇති බවය.

 1,817 total views,  1 views today

Comments

comments