“හෙලෝ සර්..”
“ඔව් ඉරංග කියන්න, කොහොමද ඉතින් වැඩ කටයුතු..”
මේ, සිය ධූර කාලය අවසන් කර මණ්ඩපාධිපති ධූරයෙන් සමුගත් මහාචාර්ය රන්ජන් හෙට්ටිආරච්චි මහතා සමඟ වසර 08 ක් පමණ මා පැවැත්වූ සමීප සම්බන්ධතාව හේතුවෙන් එතුමා මා ආමන්ත්‍රණය කළ ස්වරයයි. ඉකුත් බ්‍රහස්පතින්දා මා එතුමාව දුරකථයෙන් ආමන්ත්‍රණය කරන විට එතුමා සිටියේ මණ්ඩපයේ සිය කාර්යාලයෙන් සමුගෙන යාමට සූදානම් වෙමිනි. මීට සති දෙකකට පමණ පෙර එතුමා සමඟ සම්මුඛ සාකච්ඡාවක් වීඩියෝගත කිරීමට සැලසුම් කළ ද එම අවස්ථාව මඟහැරුණි. ඉන්පසු දවසක එය යොදාගැනීමට කතිකා කර තිබුණ ද සිය ධූරයෙන් එතුමා සමුගන්නා දිනය මෙතරම් ඉක්මනට උදාවෙනු ඇතැයි මම කිසි විටෙකත් අපේක්ෂා නොකළෙමි.
මහාචාර්ය රන්ජන් හෙට්ටිආරච්චි මහතා කතිකාචාර්යවරයෙකු ලෙස සමීප වූ භූමිකාවට වඩා මට එතුමා වඩාත් සමීප චරිතයක් බවට පත්වුණේ උපාධියෙන් බාහිර ශාස්ත්‍රීය කටයුතුවලදී සහ වෙනත් සමාජ වැඩ කටයුතුවලදීය. 2014 වසරේ මා මණ්ඩපයේ ජනමාධ්‍ය සංගමයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන අවධියේ අප සංවිධාන කළ සියලු වැඩවලට එතුමාගේ පූර්ණ සහයෝගය හිමිවූ අතර ඒ නිසාම නිතර එතුමා හමුවීමට ද මට අවස්ථාව හිමිවුණි.
2016 වසරේදී මා සරසවි අධ්‍යාපනය නිමාකළ පසු මහාචාර්ය රන්ජන් හෙට්ටිආරච්චි මහතාගේ ඇසුර ලැබීමට මා හට හැකි වන්නේ මාගේ “ශිලාලිපි සංඥාර්ථවේදය” කෘතියේ වැඩකටයුතුත් සමඟය. එතුමා ඊට අගනා පෙරවදනක් ලියාදුන් අතර එවැනි ශාස්ත්‍රීය කටයුතු සඳහා එතුමා නිරන්තරයෙන් සිය නිර්ලෝභී සහයෝගය ලබාදුන්නේය. එපමණක් නොව එය එළිදැක්වීමේ උත්සවයේදී ආරාධිත දේශනයක් ද පැවැත්වීය. මීට පෙර මා එළිදැක්වූ “සමාජ මාධ්‍ය සංස්කෘතිය” කෘතිය ද එතුමාගේ නොමඳ ප්‍රශංසාවට ලක්විය. එසේම සරසවියේ මාගේ අධ්‍යයන කණ්ඩායමේ මුද්‍රිත මාධ්‍ය විශේෂවේදී විද්‍යාර්ථින් සිය අවසන් වසර නිෂ්පාදනය ලෙස ප්‍රකාශයට පත්කළ “සමකාලීන මාධ්‍ය පර්යේෂණ ප්රවණතා” කෘතිය එළිදැක්වීමේ උත්සවය සංවිධාන කිරීමේදී ද එතුමාගේ පූර්ණ සහයෝගය හිමිවිය.
එතුමා පිළිබඳ මට අවසන් වශයෙන් සටහන් කළ හැක්කේ මෙපමණකි. එනම් ඕනෑම අයෙකුට දැනුම රැස්කර ගත හැකි නමුත් මනුස්සකම් රැස්කර ගත හැකි වන්නේ අතළොස්සකට පමණි. රන්ජන් හෙට්ටිආරච්චි මහතා එම අතලොස්සට අයත් දුර්ලභ මිනිසෙකි. ඔහුගේ දැනුම මෙන්ම මනුස්සකම ද ශ්‍රී පාලි භූමියට වඩවඩාත් අවැසි මොහොතක එතුමා ඉන් සමුගැනීම කණගාටුවට කරුණකි. එහෙත් එතුමා මා සමඟ පැවසූ පරිදි මාස තුනක පමණ කෙටි විවේකයකින් පසු යළිත් මණ්ඩපයේ ශාස්ත්‍රීය කටයුතුවලට එක්වනු ඇත. මණ්ඩපයෙන් සිය ධූර කාලය නිමා කර සමුගත්තද ඉදිරියේදී වෙනත් කොහේ හෝ තැනක එතුමාගේ ඇසුර ලැබීම මාගේ අපේක්ෂාවයි. ඉදිරියටත් ශාස්ත්‍රීය ඥානාලෝකයෙන් ශ්‍රී පාලි මණ්ඩපය අලෝකමත් කළ හැකි නිරෝගී දිවියක් එතුමාට ප්‍රාර්ථනා කරමි.
1,226 total views, 1 views today