කොරෝනා වසංගතය මෙරට ව්‍යාප්ත වීම පිළිබඳ අවධානය යොමු කිරීමේ දී ජනමාධ්‍ය ඊට එරෙහිව කටයුතු කළා මෙන්ම එය ව්‍යාප්තිය සඳහා ද ජනමාධ්‍යවල භූමිකාව හේතු වූ බව මාගේ අදහසයි. මා ද වෘත්තියෙන් ජනමාධ්‍යවේදියෙකු වුව ද ශාස්ත්‍රීය වශයෙන් ජනමාධ්‍ය පිළිබඳ අධ්‍යයනය කරන්නෙකු වශයෙන් ජනමාධ්‍ය වඩාත් මහජන හිතකාමී මෙවලමක් ලෙස භාවිතයට ගැනීම සම්බන්ධයෙන් මෙවැනි අදහස් පළකිරීම මාගේ යුතුකමක් හා වගකීමක් ලෙස මම සලකමි.
මෙම වසංගත තත්ත්වය හමුවේ ද මාධ්‍යකරුවෝ ප්‍රවෘත්ති හඹායාම සඳහා නොනිමි කුතුහලයෙන් ක්‍රියාකළහ. එහිදී ඇතැම් අවස්ථාවවල ආචාරධර්ම පසෙකලා ප්‍රවෘත්ති අලෙවිකරණය පමණක් අරමුණු කර ගනිමින් ඔවුන් කටයුතු කළ බව මාගේ විශ්වාසයයි. කොරෝනා ආසාදනය වූ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවිය පිළිබඳ සිදුවීමේ දී විද්‍යාමාන වූ මාධ්‍යකරුවන්ගේ හැසිරීම ඉතා පිළිකුල් සහගතය. ඇය පසුපස කැමරා අටවාගෙන ගොස් කළ වාර්තාකරණය සමාජ මාධ්‍ය අවකාශයේ දැඩිව හෙළාදැකීමට ලක්වූ බැවින් එවැනි සිදුවීම් වාර්තාකරණය පිළිබඳ නිවේදනයක් නිකුත් කිරීමට පවා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාට සිදුවිය. එහෙත් එම නිවේදනය ද ඉල්ලීමක් මිස ජනමාධ්‍යවලට සිදුකළ නියෝගයක් නොවුණි. එය මෙරට ජනමාධ්‍ය භූමිකාවේ ආධිපත්‍යමය ස්වරූපය ප්‍රකට කළ භාවිතයක් වූ බව මාගේ අදහසයි.කොරෝනා ආසාදිතයෙකු බවට පත්වීම කෙසේ වෙතත් PCR පරීක්ෂණවලට මුහුණදීමට පවා ජනතාව තුළ ජනිත වූ භීතියට ජනමාධ්‍යවල මෙම හැසිරීම හේතු වූ බව සඳහන් කළ හැකිය. පවුලේ කෙනෙකු PCR පරීක්ෂණයකට මුහුණදුන් බව පවා අසල්වැසි නිවෙස්වලින් රහසක් ලෙස තබාගැනීමට බොහෝ දෙනා පෙළඹුණේ මෙම තත්ත්වය නිසා බව බැහැර කළ නොහැකිය. මෙය අපේ රටේ ජනමාධ්‍යකරුවන්ගේ පිළිකුල් සහගත හැසිරීමේ උත්කර්ෂය පෙන්නුම් කළ මොහොතකි.
මේ අනුව පැවසිය යුතු වන්නේ ජනතාවගේ පුද්ගලිකත්වය හා ප්‍රවෘත්ති අතර පැවතිය යුතු පරතරයේ සීමාව සලකුණු කර ගැනීමට හා එය අවබෝධ කර ගැනීමට මාධ්‍යකරුවන් පෙළඹවීම සඳහා ප්‍රබල මැදිහත්වීමක් අත්‍යවශ්‍ය බවයි. මාධ්‍ය සංවිධානවල සහයෝගය ද ඊට අවශ්‍ය වේ. නිර්දේශ හෝ ආචාරධර්ම පද්ධතියක් මඟින් පමණක් මීට අවශ්‍ය සක්‍රීය මැදිහත්වීමක් සිදුනොවන බැවින් ඒ සඳහා නීති පද්ධතියක් ගෙනඒම කාලීන අවශ්‍යතාවකි. එසේ නොවුණහොත් ජනමාධ්‍ය මහජන විරෝධී භාවිතයක් පමණක් බවට පත්වන දිනය නුදුරේදීම උදාවනු ඇත.
1,225 total views, 1 views today