0

වත්මන් ප්‍රවණතා හමුවේ මාධ්‍ය නියාමනයේ අවශ්‍යතාව

“වත්මන් ප්‍රවණතා හමුවේ මාධ්‍ය නියාමනයේ අවශ්‍යතාව” මැයෙන් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය සංවිධාන කළ සංවාදයක් Zoom ඔස්සේ ඉකුත්දා පැවැත්වුණි. පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට මහතා මෙහෙයවූ මෙම සංවාදයට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් හා ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදී මොහාන් සමරනායක, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් වන මහින්ද පතිරණ, ආචාර්ය ටියුඩර් වීරසිංහ හා ආචාර්ය මධුභාෂිණී ගලගෙදරගේ යන මහත්ම මහත්මීහු මෙන්ම ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු, නාලක ගුණවර්ධන හා බිඟුන් මේනක ගමගේ යන ජනමාධ්‍යවේදීහු සම්පත්දායකයෝ ලෙස සහභාගි වූහ. මෙම සටහන එකී කතිකාවේ ප්‍රස්තූතයට විවරණයක් සැපයීම සඳහා තබන ලද්දකි.

“මාධ්‍ය නියාමනය” කාලීන වශයෙන් අතිශය වැදගත්කමකින් යුතු මාතෘකාවකි. එය, මෙරට වත්මන් මාධ්‍ය ක්‍රියාකාරිත්වය හමුවේ එම ක්ෂේත්‍රයේ ඉහළ ප්‍රමිතිය හා ග්‍රාහක අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට මෙන්ම ග්‍රාහක හිතකාමී මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගීම සඳහා ද අත්‍යවශ්‍ය සාධකයකි. ඕනෑම ක්ෂේත්‍රයක පැවැත්ම තහවුරු වන්නේ එය තුළ විධිමත් නියාමන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වුවහොත් පමණි. ජනමාධ්‍ය ක්ෂේත්‍රයට ද මෙම තත්ත්වය අදාළ වේ. විශේෂයෙන්ම ජනමාධ්‍යවේදියාගේ භූමිකාව වර්තමානයේ ඉතා සංකීර්ණ තත්ත්වයකට පත්ව තිබීම හේතුවෙන් හා ඩිජිටල් මාධ්‍ය ක්‍රියාකාරිත්වය හමුවේ ඕනෑම අයෙකුට ජනමාධ්‍යවේදියෙකු ලෙස රූපාන්තරණය වීමට ලැබී ඇති අවස්ථාව හේතුවෙන් මාධ්‍ය නියාමන ක්‍රියාවලිය ද සංකීර්ණ හා පුළුල් වපසරියක් ආමන්ත්‍රණය කළ යුතු ස්වභාවයක් ගෙන තිබේ. මෙම කතිකාව, ජනමාධ්‍ය ක්‍රියාකාරිත්වය හුදෙක් මතුපිටින් විමසා බැලීමෙන් ඔබ්බට යමින් මාධ්‍ය නියාමනය විධිමත් අන්දමින් මෙරටේ ස්ථානගත කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ප්‍රවේශයක් සැපයීමට මාවතක් විවර කළ බව මාගේ අදහසයි.

නියාමනය මූලිකවම ආකාර 02 කි. එනම් තාක්ෂණික සහ අන්තර්ගත නියාමනයයි. වර්තමානයේ මෙම ක්‍රම ද්විත්වයම විවිධ ස්වරූපවලින් මෙරටේ ක්‍රියාත්මක වීම සිදුවේ. එබැවින් වඩාත් වැදගත් වන්නේ එම ක්‍රියාවලිය වඩාත් විධිමත් ස්වරූපයකින් බහුපාර්ශ්වීය එකඟවීමකින් හා අදහස් ලබාගැනීමෙන් යාන්ත්‍රණයක් ලෙස ස්ථාපිත කර ක්‍රියාවට නැංවීමයි. රජය, ජනමාධ්‍ය හා මාධ්‍යවේදී සංවිධාන, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මේ සඳහා මැදිහත්වීමට අමතරව ග්‍රාහකයින්ගේ අදහස් ද සාර්ථක නියාමන ක්‍රියාවලියක් සඳහා දායක කර ගැනීම වැදගත්ය.

පුවත්පත් මණ්ඩලයේ මෙම කතිකාව මෙම සෑම පාර්ශ්වයක්ම නියෝජනය වන ලෙස සංවිධාන කර තිබීම පැසසිය යුත්තකි. එහිදී මුද්‍රිත හා විද්‍යුත් ජනමාධ්‍ය පමණක් නොව වර්තමානයේ වඩාත් බලපෑම් සහගත ස්වරූපයකින් ක්‍රියාත්මක වන සමාජ මාධ්‍ය ද නියාමන යාන්ත්‍රණයකට ඇතුළත් කර ගැනීම සඳහා ඒ පිළිබඳ අදහස් ඉදිරිපත් කිරීමට ද මෙහිදී අවස්ථාව සලසා තිබුණි. වෙනත් රටවල මීට අදාළව ක්‍රියාත්මක වන යාන්ත්‍රණවල අත්දැකීම් සහ එවැනි යාන්ත්‍රණ ක්‍රියාවට නැංවීම සඳහා බලපෑ සමාජ, දේශපාලන සහ ආර්ථික සාධක ද ගැඹුරින් විමසා බැලීම තුළ මෙරටට වඩාත් ගැළපෙන විධිමත් මාධ්‍ය නියාමන ක්‍රියාවලියක් ක්‍රියාවට නැංවිය හැකිය.

විශේෂයෙන්ම මෙම කොරෝනා වසංගත තත්ත්වය මාධ්‍ය නියාමනයේ අවශ්‍යතාව වඩාත් ඉස්මතු කර ඇති සාධකයකි. සමාජ මාධ්‍ය මඟින් මේ පිළිබඳ සිදුකරන වාර්තාකරණයන් මෙන්ම ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය සහ ජනමාධ්‍යවේදීන් වසංගතය සම්බන්ධයෙන් සිදුකරන ප්‍රවෘත්ති වාර්තාකරණයන් සහ ඔවුන් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ද ගැටලු රාශියක් පවතී. ජනමාධ්‍ය ආචාරධර්ම මෙවැනි තත්ත්වයක් කළමනාකරණය කිරීමට ක්‍රියාත්මක වීම අතිශය වැදගත් වන අතර මේ සම්බන්ධයෙන් රජය මීට පෙර මාර්ගෝපදේශ ද නිකුත් කර ඇත. කෙසේ වුවත් ඒවාට නෛතිකව බැඳෙන ක්‍රියාවලියක් හෝ ජනමාධ්‍ය හා ජනමාධ්‍යවේදීන් ඒ සඳහා වගකීමට යොමුකෙරෙන වෙනත් වැඩපිළිවෙලක අවශ්‍යතාවක් පවතී.

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය සංවිධාන කළ මෙම කතිකාව මගින් මාධ්‍ය නියාමනයේ අවශ්‍යතාව පිළිබඳ ප්‍රවේශ ගණනාවක් ඔස්සේ විමසා ලැබීමට අවස්ථාව ලබාදී තිබේ. ඊට සම්බන්ධ සියලු පාර්ශ්වවලට ඒ සම්බන්ධයෙන් අදහස් පළකිරීමට එමඟින් වේදිකාවක් නිර්මාණය කර ඇති අතර මෙම කතිකාව තවදුරටත් ඉදිරියට රැගෙන යාම වැදගත් බව මාගේ අදහසයි. සක්‍රීය පුරවැසියෙකු ලෙස ඒ සඳහා දායක වන ලෙස අවසාන වශයෙන් ඔබ සැමට ආරාධනා කරමි.

මෙම කතිකාව පහතින් නරඹන්න.

 3,480 total views,  1 views today

Comments

comments