0

වගකීම් විරහිත තොරතුරු වාර්තාකරණය හා අද දෙරණ

කොරෝනා වසංගත තත්ත්වය පිළිබඳ වගකීම් විරහිත හා සාවද්‍ය තොරතුරු මේ මොහොතේ සමාජගත කරමින් සිටින්නේ සමාජ මාධ්‍ය පමණක් නොවේ. මෙරට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ද එය අඩු වැඩි වශයෙන් සිදුකරමින් සිටී. ඉකුත් 12 වැනිදා අද දෙරණ 6.55 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ ඇතුළත් වූ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සේවකයින් 5 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි යන පුවත එවැන්නකි. පස්වරු 6.55 ප්‍රවෘත්ති විකාශයෙන් එම පුවත ප්‍රචාරය වූ පසුව එය සාවද්‍ය බවට ගුවන්විදුලි සංස්ථාවේ සභාපති ජගත් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය එදින අද දෙරණ රාත්‍රී 10.00 ප්‍රවෘත්ති ප්‍රකාශයට ඇතුළත් කර අදාළ පුවත නිවැරදි කිරීමට දෙරණ ප්‍රවෘත්ති අංශය ක්‍රියාකර තිබුණි. එහෙත් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් නරඹන ප්‍රවෘත්ති විකාශයකින් ඉදිරිපත් වූ පුවතක් නිවැරදි කළ පමණින් අදාළ සාවද්‍ය පුවතෙන් සිදුවූ හානිය පූරණය වන්නේ නැත. විය යුතු වන්නේ පුවතක් විකාශය කිරීමට පෙර මූලාශ්‍ර ගණනාවකින් එය තහවුරු කර ගැනීමයි. එහෙත් “ලංකාවේ විශ්වසනීයම පුවත් විකාශය” බවට ස්වයං වර්ණනාවක යෙදෙන අද දෙරණට මෙම මූලික ප්‍රවෘත්ති සංකල්පය අමතක වීම කණගාටුවට කරුණකි. කොරෝනා ආසාදනය වී මහ මග පුද්ගලයින් මියයන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නවා මෙන්ම ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල හැසිරීම් නියාමනයට ද නීතියක් අත්‍යවශ්‍ය වේ. ධනය හා බලය විසින් සියලු සමාජ වගකීම් උල්ලංඝනය කරමින් පවතින විට එසේ නොමැති පාර්ශ්වවලට එරෙහිව නීතිය අකුරටම ක්‍රියාත්මක වීමෙන් පමණක් කොරෝනා වසංගතය හමුවේ සාවද්‍ය තොරතුරු සමාජගතවීම වැළකෙන්නේ නැත. එනම් රටේ සියලු ජනමාධ්‍යවලට බලපැවැත්වෙන නිවැරදි තොරතුරු පමණක් ප්‍රචාරය කිරීමට බලකෙරෙන සක්‍රීය නීතියක් අත්‍යවශ්‍යය. එසේ නොවුණහොත් කොරෝනා පාලනයට රජය ප්‍රමුඛ සියලු පාර්ශ්ව දරන උත්සාහය ග‍ඟට කැපූ ඉනි සේ ව්‍යර්ථවීම නොවැළැක්විය හැකිවනු ඇත.

(අදාළ පුවත නිවැරදි කළ 2020.11.12 අද දෙරණ රාත්‍රී 10.00 ප්‍රවෘත්ති විකාශය https://www.youtube.com/watch?v=WRDKKsJDs34&feature=share)

 1,611 total views,  1 views today

Comments

comments