හැඳින්වීම
අන්තර්ජාලය ඔස්සේ සමාජ මාධ්‍ය, වෙබ්අඩවි සහ ජංගම දුරකථන යෙදවුම් විද්‍යුත් මාධ්‍ය අතික‍්‍රමණය කරමින් ඩිජිටල් මාධ්‍ය ලෙස ඉස්මතු වීම තුළ සාම්ප‍්‍රදායිකව විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප‍්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ ක‍්‍රියාවලියෙන් ඔබ්බට ගොස් ඩිජිටල් මාධ්‍ය සමඟ සංකලනය කරමින් ප්‍රවෘත්ති ග‍්‍රාහකගත කිරීම ප‍්‍රබල හා මඟනොහැරිය හැකි අවශ්‍යතාවක් බවට පත්වී ඇත. ඒ සඳහා ප්‍රවෘත්ති වෙබ්අඩවියක් ඩිජිටල් මාධ්‍ය වේදිකාවක් ලෙස සංවර්ධනය කළ යුතු වේ.
මෙම ව්‍යාපෘති යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ එවැනි වෙබ්අඩවියක් ඵලදායිව පවත්වාගෙන යමින් විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය භාවිතය ඩිජිටල් මාධ්‍ය වේදිකා තුළ තහවුරු කිරීමේ අරමුණෙනි.
වෙබ්අඩවියේ ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා ඉදිරිපත් කරනු ලබන යෝජනා මාලාව
මෙම යෝජනා මාලාව මූලික අංශ පහක් යටතේ ඉදිරිපත් කෙරේ. මෙම අංශ මඟින් වෙබ්අඩවියේ ඵලදායී සංවර්ධනය ඉලක්ක කර ගත් සියලු ක්ෂේත්‍ර ආවරණය කරනු ලැබේ.
- වෙබ්අඩවියේ අතුරුමුහුණත සහ ව්‍යුහය කේන්ද්‍රකර ගත් යෝජනා (Website Interface and Structure)
- ප‍්‍රවෘත්ති අන්තර්ගතය කේන්ද්‍රකර ගත් යෝජනා (News Contents)
- සමාජ මාධ්‍ය වේදිකා පදනම් වූ ප්රවෘත්ති ප‍්‍රවර්ධනය කිරීම් කේන්ද්‍රකර ගත් යෝජනා (News Promotions on Social Media Platforms)
- සේවක මණ්ඩල ස්ථාපනය සහ ප‍්‍රවෘත්ති සංස්කරණ ක‍්‍රියාවලිය කේන්ද්‍රකර ගත් යෝජනා (Staff fixation and process of news editing)
- වෙබ්අඩවියේ කාර්ය සාධනය ඇගයීම කේන්ද්‍රකර ගත් යෝජනා (Effectiveness evolution)
1. වෙබ්අඩවියේ අතුරුමුහුණත සහ ව්‍යුහය කේන්ද්‍රකර ගත් යෝජනා
1.1 වෙබ්අඩවි තුළ උණුසුම්/ක්ෂණික පුවත් (Breaking news) පළකිරීමට ඉඩක් වෙන්කිරීම.
ප‍්‍රවෘත්ති ක්ෂේත‍්‍රය තුළ අනිවාර්ය හා ප‍්‍රධාන අංගයක් බවට පත්වී ඇති උණුසුම් පුවත් මගින් යාවත්කාලීන වන පුවත් ග‍්‍රාහකයින්ට ක්ෂණිකව ලබාදීම හැකි වේ. විශේෂයෙන්ම නූතන පුවත් වෙබ්අඩවි සන්දර්භය තුළ ග‍්‍රහකයින් අපේක්ෂා කරන මූලික අංගයක් බවට උණුසුම් පුවත් පත්ව ඇති බැවින් ඊට අවශ්‍ය ව්‍යුහාත්මක සංවර්ධනය කිරීම් සිදුකිරීමේ අත්‍යවශ්‍යතාව මෙම යෝජනාව මගින් අවධාරණය කරනු ලැබේ.
1.2 වෙබ්අඩවිය තුළ පුවත් විශේෂාංග ලිපි පළකිරීම සඳහා ඉඩක් වෙන් කිරීම
පුවත් විශේෂාංග මඟින් යම් පුවතකට අදාළ සෑම පැතිකඩක්ම විස්තරාත්මකව ආවරණය කෙරේ. එනම් ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයක් තුළ ඉදිරිපත් කරන ප‍්‍රවෘත්තියක් මගින් යම් මූලික හා සීමිත තොරතුරු ප‍්‍රමාණයක් පමණක් ශ‍්‍රාවකයින් වෙත ගෙනයනු ලබන අතර විශේෂයෙන්ම ගුවන්විදුලි පුවත් ප‍්‍රකාශයක් තුළ රූපවාහිනී සහ මුද්‍රිත මාධ්‍යයට වඩා එම තත්ත්වයේ වඩාත් සීමාකාරී ස්වභාවයක් දක්නට ලැබේ. ගුවන්විදුලි මාධ්‍ය සතු ඊට ආවේණික ශක්‍යතා සහ ගුණාංග ඊට හේතුවයි. එබැවින් යම් සුවිශේෂී පුවත්වලට අදාළව පුවත් විශේෂාංග පළකිරීම මගින් පුවතකට ආදාළ වැඩිදුර තොරතුරු ග‍්‍රාහකයාට ලබා ගැනීම සඳහා අවකාශය සැලසිය හැකිය.
විශේෂාංග ලිපි රචනය සඳහා ඊට උනන්දුවක් දක්වන ප‍්‍රවෘත්ති සංස්කාරකවරුන්ට, වාර්තාකරුවන්ට හෝ ආයතනික කාර්ය මණ්ඩලය තුළ ඊට කැමැත්තක් දක්වන ඕනෑම පුද්ගලයෙකුට අවස්ථාව ලබාදිය හැකි අතර වෙබ්අඩවියේ ප‍්‍රධාන සංස්කාරකවරයාගේ අනුමැතිය සහිතව ඒවා පළකළ යුතුය.
- තව ද විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් ඇතුළු ජනමාධ්‍ය පිළිබඳ අධ්‍යයනයේ නියැලෙන ඕනෑම පාර්ශ්වයකට ද විශේෂාංග ලිපි රචනා කිරීම සඳහා අවස්ථාව ලබාදීමට මෙහිදී යෝජනා කරනු ලැබේ.
1.3 විද්‍යුත් මාධ්‍ය ආයතනයක් නම් ප‍්‍රධාන ප‍්‍රවෘත්ති ප‍්‍රකාශ ශ‍්‍රවණය හෝ නැරඹීම සඳහා වෙබ්අඩවිය තුළින් පහසුකම් සැලසීම.
ප‍්‍රධාන පුවත් විකාශ YouTube වෙත උඩුගත කර හෝ වෙනත් ක‍්‍රමයක් මගින් ඒවා නැවත ශ‍්‍රවණයට හෝ නැරඹීම කිරීම සඳහා පරිශීලකයින්ට අවස්ථාව ලබාදිය යුතුය.
1.4 වෙබ්අඩවියේ පළකරන ප‍්‍රවෘත්ති තුළ පාඨමය අන්තර්ගතය පමණක් යෙදීම වෙනුවට ඡායාරූප හා වීඩියෝ වැනි බහුමාධ්‍ය අංග ඊට ඇතුළත් කිරීම.
ප‍්‍රවෘත්ති අන්තර්ගතයන් ව්‍යුහාත්මකව ග‍්‍රාහක ආකර්ෂණය හා ප‍්‍රවෘත්තියේ අරමුණ වඩාත් සාධනය වන අයුරින් ඉදිරිපත් කිරීමට මෙහිදී යෝජනා කරනු ලැබේ. ඒ අනුව නිදසුන් ලෙස යම් මාධ්‍ය සාකච්ඡාවක ඡායාරූප ප‍්‍රවෘත්තිය තුළ ඉදිරිපත් කළ හැකිය. යම් පුවතකට අදාළව විද්වතෙකු සිදුකරන අදහස් දැක්වීමක් හෝ දේශපාලන පාර්ශ්වයක් ඒ පිළිබඳ දක්වන අදහසක වීඩියෝවක් ප‍්‍රවෘත්ති අන්තර්ගතයට ඇතුළත් කළ හැකිය. ප‍්‍රවෘත්ති විශේෂාංග ස්වරූපයේ වීඩියෝද මෙහිදී ඇතුළත් කළ හැකිය.
1.5 ප‍්‍රවෘත්තිවල ශීර්ෂපාඨ ඇතුළත් ප‍්‍රවෘත්ති තීරුවක් (News bar) වෙබ්අඩවියට ඇතුළත් කිරීම.
ප‍්‍රවෘත්ති තීරුව ප‍්‍රවෘත්ති වෙබ්අඩවියක ඇතුළත් විය යුතු අනිවාර්ය අංගයක් වන බැවින් එය වෙබ්අඩවියට ඇතුළත් කළ යුතුය.
1.6 වෙබ්අඩවියේ පළකරන සෑම ප‍්‍රවෘත්තියකටම ප්‍රමුඛ පද (Key words හා Tags) ඇතුළත් කිරීම.
ප‍්‍රවෘත්තිවලට සෙවුම් යන්ත‍්‍ර මගින් පහසුවෙන් පිවිසීම සඳහා Key words හා Tags යෙදීම අත්‍යවශ්‍ය වේ. එනම් ප‍්‍රවෘත්තිය සොයා ගැනීමට අවශ්‍ය ප‍්‍රමුඛ පද ඊට ඇතුළත් කළ යුතුය.
1.7 සංස්කාරකරුවන් පහසුවෙන් සම්බන්ධ කර ගත හැකි තොරතුරු වෙබ්අඩවියේ ඇතුළත් කිරීම.
ප‍්‍රාදේශීය වාර්තාකරුවන්ට සහ පරිශීලකයින්ට පහසුවෙන් සංස්කාරකවරුන් සමග සම්බන්ධ විය හැකි දුරකථන හා ෆැක්ස් අංක, විද්‍යුත් ලිපින හා සමාජ මාධ්‍ය සබැඳි වෙබ්අඩවිය තුළ ඇතුළත් කළ යුතුය.
1.8 ප‍්‍රවෘත්ති වැඩසටහන්, කාලීන සිදුවීම් හා ප‍්‍රවෘත්තිමය වටිනාකමක් සහිත සාකච්ඡාමය වැඩසටහන් වෙබ්අඩවියේ ඇතුළත් කිරීම.
විද්‍යුත් මාධ්‍ය නාලිකාවේ වැඩසටහන් (කාලීන වැඩසටහන් වැනි) වෙබ්අඩවිය මගින් ශ‍්‍රවණය කළ හැකි පරිදි වෙබ්අඩවියට ඇතුළත් කළ යුතුය. ඒ සඳහා එම වැඩසටහන් YouTube වෙත උඩුගත කර වෙබ්අඩවිය මගින් ඒවා නැරඹීමට අවස්ථාව සැලසිය යුතුය.
1.9 ප‍්‍රධාන පුවතක් ඇතුළත් කිරීමට වෙබ්අඩවිය තුළ ස්ථානයක් වෙන් කිරීම.
ජාතික වශයෙන් වැදගත් වන පුවතක් ඉස්මතු කර දැක්වීම සඳහා එය ප‍්‍රධාන පුවතක් ලෙස පළකිරීමට ස්ථානයක් වෙබ්අඩවිය තුළ වෙන් කිරීම.
- ප‍්‍රවෘත්ති අන්තර්ගතය කේන්ද්‍රකර ගත් යෝජනා (News Contents)
ප‍්‍රවෘත්ති වෙබ්අඩවියේ ප‍්‍රවෘත්ති අන්තර්ගතය සංවර්ධනය කිරීම සඳහා වන යෝජනා සහ මාර්ගෝපදේශ මෙහිදී ඉදිරිපත් කෙරේ.
2.1 ප්රවෘත්ති සඳහා යොදන ශීර්ෂපාඨ කෙටි කිරීම.
වෙබ්අඩවියේ පළකරන ප‍්‍රවෘත්තිවල ශීර්ෂපාඨ ප‍්‍රවෘත්තිමය කුතුහලය ආරක්ෂා වන පරිදි කෙටිකළ යුතුය. පුවත් ප‍්‍රකාශවල ඇතුළත් ප‍්‍රවෘත්තිවල මුල් වාක්‍යය අදාළ පුවත වෙබ්අඩවියේ පළකරන විට සිරස්තලය ලෙස යෙදීම සුදුසු නොවේ. මන්ද යත් විද්‍යුත් මාධ්‍ය සඳහා ප‍්‍රවෘත්ති රචනය සහ වෙබ්අඩවි හෙවත් ඩිජිටල් මාධ්‍ය සඳහා ප‍්‍රවෘත්ති රචනය යනු ආකෘතිමය වශයෙන් ආකාර ද්විත්වයකි. එම නිසා ඩිජිටල් මාධ්‍ය සඳහා ප‍්‍රවෘත්ති රචනා කිරීමේ ආකෘති හා අරමුණු මත පදනම්ව ප‍්‍රවෘත්ති සඳහා සිරිස්තල යෙදීම කෙරෙහි වෙබ්පුවත් සංස්කාරකවරුන්ගේ දැඩි අවධානය යොමු කළ යුතු බව අවධාරණය කරනු ලැබේ.
2.2 පුවත් අන්තර්ගතය ලිහිල් භාෂාමය ස්වරූපයකින් ඉදිරිපත් කිරීම.
ලිහිල් භාෂා ස්වරූපයකින් වෙබ්අඩවිය තුළ පුවත් ඉදිරිපත් කිරීමට මෙහිදී යෝජනා කෙරේ. ඒ ඔස්සේ පුවත් ග‍්‍රාහකගත කිරීම වඩා පහසුවනු ඇත.
2.3 එකිනෙකට සම්බන්ධ පුවත් සඳහා සබැඳි යෙදීම සහ එක් පුවතක් අවස්ථා ගණනාවකදී යාවත්කාලීන කරමින් ග‍්‍රාහකයාට ඉදිරිපත් කිරීම. (Related News and News Updates)
එක සිදුවීමක් හෝ කරුණක් පිළිබඳ වන පුවත්වලට පහසුවෙන් පිවිසීම සඳහා එම එක් එක් පුවතට අදාළ පුවත් සඳහා සබැඳි යෙදීමට මෙහිදී යෝජනා කෙරේ. තවද එකම පුවත යාවත්කාලීන කිරීමේදී ශීර්ෂපාඨයේ Update ලෙස සඳහන් කර අදාළ පුවත ඊට පෙර පුවතේ යාවත්කාලීන කිරීමක් බව ඉස්මතු කර දැක්විය යුතුය.
2.4 ප‍්‍රවෘත්තිවල හඬපටයේ ඇතුළත් කරුණු ප‍්‍රවෘත්ති අන්තර්ගතයට ඇතුළත් කිරීම.
විද්‍යුත් මාධ්‍ය ප‍්‍රවෘත්ති ප‍්‍රකාශ තුළ ඉදිරිපත් කරන ප‍්‍රවෘත්ති සඳහා භාවිත කරන හඬපටවල ඇතුළත් කරුණු ප‍්‍රවෘත්ති පිටපත තුළ සඳහන් නොවන බැවින් එම කරුණු අදාළ ප‍්‍රවෘත්තිය වෙබ්අඩවියේ පළ කිරීමේදී ප‍්‍රවෘත්ති අන්තර්ගතයට ඇතුළත් කළ යුතු බව අවධාරණය කෙරේ. මන්ද යත් හඬපටයේ ඇතුළත් වන ප‍්‍රවෘත්තියට අදාළ වැදගත් කරුණු ඊට අදාළ පුවත වෙබ්අඩවියේ පළ කිරීමේදී ගිලිහී යන බැවිනි.
2.5 ප‍්‍රවෘත්ති රචනා කිරීමේදී නිවැරදි අක්ෂර වින්‍යාසය සහ ව්‍යාකරණ රීති අනුගමනය කිරීම.
වෙබ්අඩවියේ ප‍්‍රවෘත්ති පළ කිරීමේදී විශේෂ අවධානයක් දක්වමින් සෑම විටම නිවැරදි භාෂා රීති අනුගමනය කළ යුතුය.
2.6 පාර්ලිමේන්තු රැස්වීම්වල තොරතුරු එසැනින් වාර්තා කිරීම සඳහා වෙබ්අඩවියේ සංස්කාරකවරයෙකු පාර්ලිමේන්තුවට යැවීම.
පාර්ලිමේන්තු පුවත් වෙබ්අඩවිය මඟින් එසැනින් වාර්තා කිරීම සඳහා වෙබ් සංස්කාරකවරයෙකු පාර්ලිමේන්තු රැස්වීම් වාර්තා කිරීම සඳහා යොමු කළ යුතුය.
- සමාජ මාධ්‍ය වේදිකා පදනම් වූ ප්රවෘත්ති ප‍්‍රවර්ධනය කිරීම් කේන්ද්‍රකර ගත් යෝජනා (News Promotions on Social Media Platforms)
සමාජ මාධ්‍ය වේදිකා යනු ඩිජිටල් මාධ්‍ය තුළ ප‍්‍රවෘත්ති ප‍්‍රවර්ධනය කිරීම සඳහා භාවිත කළ හැකි පුළුල්ම, ප‍්‍රමුඛතම හා ඵලදායීම ප‍්‍රවර්ධන අවකාශයයි. එම නිසා ප‍්‍රවෘත්ති වෙබ්අඩවියකට ඉහළ ග‍්‍රාහක ආකර්ෂණයක් ලබාගැනීමේදී සමාජ මාධ්‍ය වේදිකාවල ශක්‍යතාවන් අත්‍යවශ්‍යයෙන්ම භාවිත කළ යුතු වන අතර ඒ සඳහා වන යෝජනා සහ මාර්ගෝපදේශ මෙහිදී ඉදිරිපත් කෙරේ.
3.1 News Promotions Template එකක් සකස් කර භාවිතයට ගැනීම.
සමාජ මාධ්‍ය වේදිකා තුළ ප‍්‍රවෘත්ති ප‍්‍රවර්ධනය කිරීමේදී News Promotions Templates භාවිතය අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා ආකර්ෂණීය News Promotions Template එකක් නිර්මාණය කර භාවිත කිරීමට යෝජනා කෙරේ.
3.2 සෑම පුවතක්ම Facebook හා Twitter තුළ හුවමාරු කිරීම.
සෑම පුවතක්ම Facebook හා Twitter සමාජ මාධ්‍ය තුළ හුවමාරු කළ යුතුය. ඒ ඔස්සේ ඉතා පහසුවෙන් ග‍්‍රාහකයින්ට ඩිජිටල් මාධ්‍ය වේදිකා ඔස්සේ ප‍්‍රවෘත්ති වෙත ප‍්‍රවේශ වීමට අවස්ථාව සැලසිය යුතුය.
3.3 ප‍්‍රධාන ප‍්‍රවෘත්ති ප‍්‍රකාශ YouTube වෙත උඩුගත කර ඒවා සමාජ මාධ්‍ය තුළ හුමවාරු කිරීම.
දෛනිකව විකාශය කරනු ලබන ප‍්‍රධාන පුවත් විකාශ YouTube වෙත උඩුගත කර ඒවා Facebook හා Twitter සමාජ මාධ්‍ය තුළ හුවමාරු කළ යුතුය.
3.4 ප‍්‍රවෘත්ති වැඩසටහන්, කාලීන සිදුවීම් හා ප‍්‍රවෘත්තිමය වටිනාකමක් සහිත සාකච්ඡාමය වැඩසටහන් YouTube වෙත උඩුගත කර ඒවා සමාජ මාධ්‍ය තුළ හුමවාරු කිරීම.
කාලීන වැඩසටහන් ඇතුළු ප‍්‍රවෘත්තිමය වටිනාකමක් සහ අන්තර්ගතයක් සහිත වැඩසටහන් YouTube වෙත උඩුගත කර ඒවා Facebook හා YouTube සමාජ මාධ්‍ය තුළ හුවමාරු කළ යුතුය.
3.5 විශේෂ මාධ්‍ය සාකච්ඡා Facebook හෝ YouTube මගින් සජීව විකාශය කර ඊට අදාළ ප‍්‍රවෘත්තිය වෙබ්අඩවියේ පළකළ යුතුය.
ඉහළ ප‍්‍රවෘත්තිමය වටිනාකමක් සහිත ප‍්‍රවෘත්ති සාකච්ඡා Facebook සමාජ මාධ්‍ය මගින් විකාශය කිරීමට මෙහිදී යෝජනා කෙරේ. එසේම ඊට අදාළ ප‍්‍රවෘත්තිය වෙබ්අඩවිය තුළ පළකර එම සමාජ මාධ්‍ය විකාශය වෙබ්අඩවිය මගින් ද නැරඹීමට අවස්ථාව සැලසිය යුතුය.
3.6 තෝරාගත් ප‍්‍රවෘත්ති Facebook සමාජ මාධ්‍ය තුළ මුදල් ගෙවා ප‍්‍රවර්ධනය කිරීම. (News Posts boosting)
දිනකට තෝරාගත් පුවත් කිහිපයක් Facebook සමාජ මාධ්‍ය තුළ මුදල් ගෙවා ප‍්‍රවර්ධනය කිරීමට මෙහිදී යෝජනා කෙරේ. ඒ ඔස්සේ එම පුවත් සඳහා විශාල ග‍්‍රාහක ආකර්ෂණයක් ලබා ගැනීමට කටයුතු කළ හැකිය.
3.7 සමාජ මාධ්‍ය ප‍්‍රවර්ධන පිටු නිසි පරිදි යාවත්කාලීන හා කළමනාකරණය කිරීම.
ප‍්‍රවෘත්ති වෙබ්අඩවියේ Facebook සමාජ මාධ්‍ය ප‍්‍රවර්ධන පිටුව, Twitter ගිණුම හා Youtube නාලිකාව නිසි පරිදි යාවත්කාලීන කරමින් ඒවා කළමනාකරණය කිරීමට කටයුතු කළ යුතුය. ජාතික වශයෙන් වැදගත් වන දිනයක් සැමරීම පිළිබඳ ඡායාරූප සහ වෙනත් රූපමය හා පාඨමය අන්තර්ගතයන් ඊට භාවිතා කළ හැකිය. විශේෂයෙන්ම මෙම සමාජ මාධ්‍ය ප‍්‍රවර්ධන අවකාශ ප‍්‍රවෘත්ති ප‍්‍රවර්ධනය කිරීමේ අවකාශ ලෙස පමණක් භාවිත නොකරමින් ප‍්‍රවෘත්ති සන්නාමය ග‍්‍රාහකයින් අතර තහවුරු කිරීමේ මාධ්‍ය වේදිකා ලෙස ඒවා යොදා ගත යුතුය.
3.8 සෑම Youtube උඩුගත කිරීමක් සමග ඊට අදාළ Tags හා කෙටි විස්තරයක් ඇතුළත් කිරීම.
සෑම YouTube උඩුගත කිරීමක් සමඟ ඊට අදාළ Tags හා කෙටි විස්තරයක් ඇතුළත් කිරීමට යෝජනා කෙරේ. ප‍්‍රවෘත්තියකට අදාළ උඩුගත කිරීමක් නම් ප‍්‍රවෘත්තියට පිවිසීම සඳහා සබැඳියක් ඇතුළත් කළ යුතුය. එසේම ඊට සම්බන්ධිත වදන් Tags ලෙස ඇතුළත් කළ යුතුය. තව ද ප‍්‍රවෘත්ති සන්නාමය ප‍්‍රවර්ධනය වන වැකියක් ආදීවූ විස්තරද සෑම YouTube උඩුගත කිරීමක් සමඟ ඇතුළත් කළ යුතුය.
3.9 සෑම සමාජ මාධ්‍ය පළ කිරීමක් තුළම නිවැරදි අක්ෂර වින්‍යාසය සහ භාෂා රීති අනුගමනය කිරීම.
සෑම සමාජ මාධ්‍ය පළකිරීමක්ම නිවැරදි අක්ෂර වින්‍යාසය පිළිබඳ අවධානය යොමු කරමින් ඉදිරිපත් කළ යුතු බව අවධාරණ කෙරේ. නිවැරදි භාෂා රීති අනුගමනය කිරීම ද එහිදී අතිශයින් වැදගත් වේ.
අතිශය වැදගත්
වෙබ්අවඩියේ සහ සමාජ මාධ්‍ය වේදිකා තුළ ආචාරධර්ම අනුගමනය
ප‍්‍රවෘත්ති වෙබ්අඩවිය තුළ පළකරන ප‍්‍රවෘත්ති සහ ඒවාට අදාළ ඡායාරූප සහ වීඩියෝ අන්තර්ගතයන් සෑමවිටම ජනමාධ්‍ය ආචාරධර්මවලට අනුකූල විය යුතුය. එසේම සමාජ මාධ්‍ය වේදිකා තුළ සිදුකරන සියලු පළකිරීම් ද ආචාරධර්මවලට අනුකූල විය යුතු බව මෙහිදී අවධාරණය කෙරේ. ඒ සඳහා,
- කර්තෘ සංසඳයේ ආචාරධර්ම සංග‍්‍රහය – 2014 සංශෝධනය (Code of
Professional Practice – Editors’ Guild ) - වෙබ් මාධ්‍ය ආචාරධර්ම සංග‍්‍රහය (Web Media Ethics Code)
- ෆේස්බුක් ප‍්‍රජා ප‍්‍රමිති මාලාව (Facebook Community Standards)
- සමාජ මාධ්‍ය ප්‍රකාශනය – කොළඹ 2019 (Social Media Declaration)
ආදී ප‍්‍රකාශනවල ඇතුළත් මාර්ගෝපදේශ ඒ සඳහා භාවිත කළ යුතුය.
- සේවක මණ්ඩල ස්ථාපනය සහ ප‍්‍රවෘත්ති සංස්කරණ ක‍්‍රියාවලිය කේන්ද්‍රකර ගත් යෝජනා (Staff and news editing process)
වෙබ්අඩවිය පවත්වාගෙන යෑම සඳහා කාර්ය මණ්ඩල ස්ථාපනය සහ වෙබ්අඩවියේ ප‍්‍රවෘත්ති සංස්කරණ ක‍්‍රියාවලිය පිළිබඳ යෝජනා මෙහිදී ඉදිරිපත් කෙරේ.
4.1 සේවක මණ්ඩල ස්ථාපනය
වෙබ්අඩවිය පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය සේවක මණ්ඩල සථාපනය සම්බන්ධයෙන් මෙහිදී යෝජනා ඉදිරිපත් කෙරේ. ඒ අනුව වෙබ් අඩවියේ සමස්ත කටයුතු අධීක්ෂණය කිරීම සඳහා ප‍්‍රධාන වෙබ් සංස්කාරකවරයෙකු (Chief Web Editor) පත්කළ යුතුය. හෙතෙම ප‍්‍රවෘත්ති සංස්කරණය පිළිබඳ දැනුමෙන් මෙන්ම වෙබ්අඩවියේ තාක්ෂණික කටයුතු සහ සමාජ මාධ්‍ය හැසිරවීම සම්බන්ධයෙන් ද පළපුරුදු හා මනා දැනුමක් සහිත පුද්ගලයෙකු විය යුතුය. ඒ අනුව මෙම තනතුර යටතේ වෙබ්අඩවියේ සංස්කරණ සහ තාක්ෂණික ආදී අංශ ද්විත්වයම මනා කළමනාකාරිත්වයකින් පවත්වාගත යුතුය.
වෙබ්අඩවියේ සංස්කරණ ක‍්‍රියාවලිය සඳහා භාෂා ත‍්‍රිත්වයට සංස්කාරකවරු තිදෙනෙක් හා ඔවුන් යටතේ සහය සංස්කාරකවරුන් තිදෙනෙකු පත්කළ යුතුය. ඒ අනුව,
- වෙබ් පුවත් සංස්කාරක (සිංහල)
- වෙබ් පුවත් සංස්කාරක (දෙමළ)
- වෙබ් පුවත් සංස්කාරක (ඉංග‍්‍රීසි)
වශයෙන් සංස්කාරකවරුන් පත්කළ යුතුය. සංස්කරණ ක‍්‍රියාවලියට සහය වීම සඳහා ඒ ඒ භාෂාවලට අදාළව සහකාර සංස්කාරකවරුන් තිදෙනෙක්ද පත්කළ යුතුය.
තවද වෙබ්අඩවියේ තාක්ෂණික සංවර්ධන කටයුතු සඳහා වෙබ් සංවර්ධන නිලධාරීවරයෙකු (Web Development Officer) ද පත්කළ යුතුය.
ප්‍රවෘත්ති වෙබ්අඩවියේ මූලික සේවක සැකැස්ම පහත රූප සටහන ඔස්සේ දැක්විය හැකිය.
5. වෙබ්අඩවියේ කාර්ය සාධනය ඇගයීම කේන්ද්‍රකර ගත් යෝජනා (Effectiveness evolution)
5.1 වෙබ්අඩවියේ පළකරන සෑම ප‍්‍රවෘත්තියක් පිළිබඳවම විස්තර සඳහන් දෛනික වර්තාවක් ප‍්‍රධාන වෙබ් සංස්කාරකවරයා මගින් ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාට ඉදිරිපත් කළ යුතුය. ඊට පහත විස්තර ඇතුළත් විය යුතුය.
- ප‍්‍රවෘත්තියේ සිරස්තලය
- ප්‍රවෘත්තිය පළකළ වේලාව
- ප‍්‍රවෘත්තිය පළකළ සංස්කාරකවරයාගේ නම සහ අත්සන
- ප‍්‍රවෘත්තිය අනුමත කළ බවට ප‍්‍රධාන වෙබ් සංස්කාරකවරයාගේ අත්සන
5.2 එක් එක් ප‍්‍රවෘත්තියට පිවිසෙන ග‍්‍රාහකයින්ගේ සංඛ්‍යාව විශ්ලේෂණය කරමින් ප‍්‍රවෘත්ති සඳහා වැඩි ග‍්‍රාහක පිරිසක් ආකර්ෂණය වන පරිදි ඒවායේ සිරස්තල හා ඡායාරූප යෙදීම පිළිබඳ අවධානය යොමුකළ යුතුය.
5.3. දෛනිකව, සතිපතා සහ සමස්තයක් ලෙස මාසිකව වෙබ්අඩවියට පිවිසෙන ග‍්‍රාහකයින් සංඛ්‍යාව පිළිබඳ දත්ත Google Analytics ඇසුරෙන් ලබාගෙන ග‍්‍රාහකයින් සංඛ්‍යාව ඉහළ නංවාගැනීම සඳහා අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතුය.
මේ අනුව ප්‍රවෘත්ති වෙබ්අඩවියක් සංවර්ධනය සඳහා ඉහත යෝජනා පදනම් කරගත හැකිය.
ආශ්‍රිත ලිපි
ප්‍රවෘත්ති සංවර්ධන ක්‍රියාවලියේ මූලධර්ම
ගුවන්විදුලි ප්‍රවෘත්ති සංස්කරණයේ මූලධර්ම, කාර්යභාරය සහ වගකීම්
ආපදා වාර්තාකරණයේ මූලධර්ම
ජනමාධ්‍ය සහ ප්‍රකාශන නිදහස සඳහා බලපාන නීති පිළිබඳ විමසුමක්
1,593 total views, 1 views today